ඉන්දියාවෙන් ආවත් පර්සියාවෙන් ආවත් බිරියානි කියන්නෙ දැන් අපේම කෑමක් වගේ. ලොකු බැදපු චිකන් පළුවක්, තම්බපු බිත්තරයක් විතරක් නෙවෙයි රසම රස රසම් හොද්දක් එක්ක මේසෙට එන බිරියානි බත් පිඟානක සුවඳ දැනුනත් ඇති කටට කෙල උනන්න.
ඇත්තටම බිරියානි කියන්නෙ රෑ කෑමට වගේම දවල් කෑමටත් කියාපු බත් ජාතියක්. හරි බිරියානි එකක් නම් එක්කෙනෙක්ට කාගන්නත් බැරි තරමට ලොකුයි. බාස්මතී හාලෙන් හරි කීරි සම්බා හාලෙන් හරි හැදෙන මේ බිරියානි වල විශේෂත්වය තමයි මේකටම ආවේණික සුවඳයි, පාටයි. කොහොම වුනත් අපේ කොල්ලො කෙල්ලො නම් මේ සුවඳට, පාටටත් වැඩිය බිරියානි එකට එන රස වෑහෙන බැදපු චිකන් පළුවටයි තම්බල බැදපු බිත්තරේටයි තමයි ආස කරන්නෙ.
ඉතින් මට හිතුණා පොකැට් එකත් බේරගෙනම අන්න ඒ බිරියානි ආසාව පිරිමහගන්න පුළුවන් රසම රස බිරියානි එකක් කන්න තියෙන කඩ ටිකක් ගැන ඔයාලට කියන්න. මේ තැන් ටිකෙන් බිරියානි වල රස බලල නිකන්ම යන්නද හදන්නෙ. එහෙම කරන්න එපා, හොඳ නරක ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
1. Arabian Knights
YAMU අපි නම් බිරියානි වලට ඉස් ඉස්සෙල්ලාම කියල තක්සේරු කරන්නෙ කොල්ලුපිටියෙ ඇරබියන් නයිට්ස් එක තමයි. ඇත්තටම නියම අරාබි බිරියානි එකක් ලොකුම ලොකු ග්‍රිල්ඩ් චිකන් පළුවක් එක්ක රස බලන්න ඔයාට වියදම් වෙන්නෙ රු. 400ක් වගේ ගාණක්.
2. Mr. Biriyani
අළුත්කඩේ පැත්තෙ කරක් ගහන අය නම් මිස්ට බිරියානි කිව්වාම හොඳට දන්නව. මෙයාල ලඟ තියෙන බිරියානි බත් එක නම් ටිකක් ඉන්දියන් පැත්තට තමයි බර. මොකද ලොකු ග්‍රිල්ඩ් චිකන් පළුවක් බත් එකට ආවට බිත්තරේ තම්බල විතරයි. බැදල නෑ. හැබැයි ඉතින් රස පදමට ගලප ගන්න චිලී පේස්ට් ටිකකුයි මීකිරි ටිකකුයිත් එක්ක තමයි මිස්ට බිරියානිගෙ බිරියානි පිඟාන මේසෙට එන්නෙ.
3. Sultan Palace
සුල්තාන් කෙනෙක් කන බිරියානි එකක රසටම බිරියානි එකක් කන්න පුළුවන් තැනක් තමයි කොළඹ 07 කන්නන්ගර පාරෙ තියෙන සුල්තාන් පැලස් එක. ලොකු බැදපු චිකන් පළුවක්, තම්බපු බිත්තරයක් එතකොට මින්චි කොළ සම්බෝලයක් වගේම රස මස් හොද්දකුත් එක්ක මේසෙට එන සුල්තාන් පැලස් එකේ ඔරිජිනල් ම ආරාබි බිරියානි එකක් උපරිම වුනොත් රු. 400ක් වෙයි.
4. Raheema Hotel
කොළඹ 07 තර්ස්ටන් හංදියෙ තියෙන රහීමා හෝටලෙත් බිරියානි කන්න කියාපු තැනක්. මෙයාලගෙ බිරියානි එකට එන්නෙ හිතාගන්නවත් බැරි තරම් ලොකු බැදපු චිකන් පළුවක්. තම්බපු බිත්තරේට එච්චර හිත නොගියට රහීමා එකේ බිරියානි බත් එකට දෙන මීකිරි, ලූණු සම්බෝලෙ නම් බිරියානි එකේ රස දෙගුණ තෙගුණ කරන්නෙ හෙමින් නෙවෙයි. දන්නවද. මෙච්චර රස බිරියානි එකක් රු. 350යි වෙන්නෙ කියල?
5. Big Bite
ගල්කිස්සෙ, බම්බලපිටියෙ, රාජගිරියෙ, නුගේගොඩ කොහුවල වගේ තැන් ගොඩක තියෙන මේ කඩේට කාලයක් කිව්වෙ බිග් බයිට් බිරියානි කියල. ඒ තරම් මේ කඩේ බිරියානි වලට ප්‍රසිද්ධයි. වැඩිය ඕන නෑ කොයි වෙලේ ගියත් ලොකු මුට්ටියක රත් වෙන බිරියානි හැලියක් තියෙනව. ලෝභ නැතුව බත් බෙදන බිග් බයිට් එකෙන් ඔයාගෙ බිරියානි එකට ඕන කුකුල් මස් පළුව බාබකියු රසයෙන් ගන්න පුළුවන් වගේම ඔනනම් චිකන් නැතුව මට්න් ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ මස් හොද්දත් හරිම රසයි. දෙන්නෙක්ට බඩ පුරවගන්න පුළුවන් තරමෙ බිග් බයිට් බිරියානි එකක් රු. 300ක් 400ක් වගේ ගාණක් තමයි වෙන්නෙ.
6. Chana's
ඔන්න වැල්ලවත්තෙ චානාස් එකේ නම් තියෙනව ශ්‍රී ලංකන් බිරියානි එකක්. එහෙමයි කියල රසේ නම් ඒ හැටි අඩුවක් නෑ. මේකට එන ග්‍රිල්ඩ් චිකන් කෑල්ල ලොකුම ලොකු එකක් නොවුනට නියම රසම් එකක් නම් එනව. පොඩි දීසියකට එන මීකිරි ටිකත් බිරියානි එකට කියාපු. ඔයාලට ඕනෙම නම් රු. 50ක් 100ක් වැඩි පුර දීලා පොඩි ග්‍රිල්ඩ් චිකන් කෑල්ල වෙනුවට සුපිරි බාබකියු චිකන් කෑල්ලක් ගන්නත් පුළුවන්. ඔය මොන දේටත් චානගෙ ගාණ රු. 350ක් 400ක් වගේ තමයි වෙන්නෙ.
7. New Banana Leaf
පංකාදු පහට තියෙන කෙහෙල් කොලේට බෙදෙන බනානා ලීෆ්ලගෙ බිරියානි එක නම් පට්ටම පට්ටයි. ඉන්දියානු බිරියානි එකක් වුනත් රසේ කිසිම අඩුවක් නෑ. ලොකු දීසියට එන කීරි සම්බා හාලේ බිරියානි බත් එකේ සුවඳට නියමෙට පෑහෙන ලොකු ග්‍රිල්ඩ් චිකන් කෑල්ල කෙහෙල් කොළේ උඩින් තියා ගත්තාම කෙහෙල් කොළේ තව ඉඩ නැති තරම්. රස ඩබල් කරන තම්බල බැදපු බිත්තරයකුත් බනානා ලීෆ් එකේ බිරියානි එකට එනව. ඒ හැරණාම රස මස් හොද්දක්, මී කිරි සම්බෝලෙ එතකොට… ඕනම නම් බටු මෝජු ටිකකුත් ඉල්ල ගන්න පුළුවන්. රු400ක් 500ක් වුනාට මේ බිරියානි එක කාපු කෙනෙක්ට නම් ආයෙ අමතක වෙනව බොරු.
මේ වගේ සුපිරි බජට් බිරියානි කඩ අතරෙ අපිට මග ඇරුණු වගේම ඔයාලට හුරු පුරුදු කඩත් සෑහෙන්න තියෙනව කියල අපි දන්නව. අපිත් ආසයි ඒ තැන් වලින් රස බලන්න. ඒ නිසා මතක ඇතුව ඒවත් කමෙන්ට් කරගෙනම යන්න.