සති අන්තය කියන්නෙ අපි කවුරුත් රිලැක්ස් වෙන්න මාරම ගේමක් දෙන දවස් දෙකක්. ඇත්තටම ඔය දවස් දෙක ගෙවිලා යනව තේරෙන්නෙවත් නැති තරම්. සමහරු යාළුවොත් එක්ක සෙට් වෙලා පුරුදු විදියට පොඩි පාටියක් දාන අතරෙ තවත් කට්ටියක් එයාලගෙ ආදරණීයයන් එක්ක එහෙම නැත්නම් පවුලෙ උදවියත් එක්ක විනෝදයෙන් ගත කරන්න සති අන්තය යොදා ගන්නව. ඔය අතරෙ තවත් සුළු පිරිසක් ඉන්නව ආතක් පාතක් නැතුව සති අන්තය ඔහේ කාලා දාන.
කොහොම වුනත් YAMU එකේ අපි හිතුවා ඔය හැමෝටම මේ සති අන්තය අර්ථවත් වගේම සතුටින් ගෙවන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්න. මේ වෙනකනුත් සති අන්තය ප්ලෑන් කලේ නැත්නම් බලන්න අපේ ප්ලෑන් අතරෙ ඔයාට හරියන එකක් තියෙනවද කියල.
1. Colombo Food Festival
කොච්චර කෑවත් ලාවට හරි බඩගින්න කියන එක තියෙන අයට ඔන්න තියෙනව ඒ බඩගින්නත් නැති වෙනකන්ම කන්න කෑම පොළක්. මේක තියෙන්නෙ ජුනි 12 ඉරිදා උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් විහාරමහාදේවී එළිමහන් රංග පීඨයෙ. රස වෑහෙන කෑම ජාති තොගයක් තියෙනව මේ පොළේ. මතක ඇතුව ගිහිල්ල කාලා එන්න හොඳේ.
2. ඇගේ ඇස අග
කූල් බියර් එකක් එක්ක නයිට් ෂෝ එකක් බලන්න යන්න. 'ඇගේ ඇස අග' අශෝක හඳගම මහත්තයගෙ නවතම සිනමා පටය. මේ සිකුරාදයි සෙනසුරාදයි දවස් දෙකේම රෑ 10ට රීගල් සිනමාහලේ ප්‍රදර්ශනය වෙනවා. ටිකට් එදින දොරටුවෙන් මිලදී ගන්න පුළුවන්.
3. Master Sir, Live in Concert
විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ 'මාස්ටර් සර්' සත්සර ප්‍රසංගය, මේ සෙනසුරාදා හවස 6ට හොරණ ශ්‍රී පාලි ශ්රවණාගාරයෙදි පැවැත්වෙනව. රු. 500, 1000, 1500, 2000 ගණන් වලට තියෙන මේ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර වලින් ලොකු ගාණක් බැර වෙන්නෙ හොරණ තක්ශිලාවෙ බටහිර තූර්ය වාදක කණ්ඩායම බල ගන්වන්න. ඉතින් සංගීතයට හිතැති ඔයාලට ඔන්න තියෙනව හොඳ වින්දනයක් තුලින් පින් වැඩකුත් කරගන්න අවස්ථාවක්.
4. A Helping Hand (Donation Program)
පහුගිය මාසෙ ලොකු ගංවතුරක් ආවා මතකයිද. ඒ ගංවතුරෙන් අවතැන් වුනු අය තාම දෙපයින් නැගී හිටින්නෙ කොහොමද කියල දස අතේ කල්පනා කරනව. ගංවතුර ආපු දවස් ටිකේ නම් අපේ හැමෝම එකා වගේ වැඩ කලා, අවතැන් වුනු අයට උදව් කරන්න. ඒත් දැන්? ඔන්න ඔය කාරණාව මතක් වෙලා තියෙනව අපේ 'ඇවිදින්නො' කණ්ඩායමට. ඉතින් එයාලා ලැහැස්ති කරල තියෙනව මල්වාන, වල්ගම පැත්තෙ ඉන්න ගංවතුරෙන් අවතැන් වුනු පවුල් 10කට උදව් කරන්න. මේ ඉරිදා තමයි ඇවිදින්නො සෙට් එක මේ වැඩේට යන්න ඉන්නෙ. ඉතින් ඔයාලටත් පුළුවන් අලුත් ඇඳුම්, වියළි ආහාර, සෙල්ලම් බඩු, පාසල් උපකරණ වගේ දේවල් ලබා දීලා පින් අතේ වැඩක් කරගන්න. කතා කරන්න මේ නොම්මර වලට. 077 6206220, 071 7731001, 077 9204234.
5. Rock Climbing
ත්‍රාසජනක වැඩ කරන්න කැමතියිද? හැබැයි ඊට කලින් ඒව ගැන හරියට දැන කියා ගන්න ඕන. හරියට ඒ ගැන දැන කියා ගන්න, යන්න හෙට උදේ 8.30 වෙන්න කලින් යක්කල හංදියෙ ඔරලෝසු කණුව ලඟට. ගෙනියන්න තියෙන්නෙ පොතක් පෑනක්, පහසු ඇඳුමක්, වතුර බෝතලයක්, අතුරු ආහාර ටිකක්, පොඩි ප්‍රථමාධාර ද්‍රව්‍යය ටිකක් විතරයි. අනිත් හැම දෙයක්ම කඳවුර කරගෙන යන අය සපයනව. මුළු වියදම රු. 2000යි. මේ ගාණට කවුද කියල දෙන්නෙ outdoor වැඩ කිඩ ටික. ඇත්තටම ත්‍රාසජනක ක්‍රියා ලෝලීන්ට නම් මේක නියමම අවස්ථාවක්.
6. Summer Rise Beach Party
පදමට ගහල එළි වෙනකම් නටන්න පුළුවන් ටොප් චාන්ස් එකක් තියෙනව හෙට (ජුනි 11) රෑට. කරන්න තියෙන්නෙ මෙච්චරයි. යාළුවො ටිකත් එක්ක සෙට් වෙලා ඔයාලා කැමති ජාතියෙන් කැමති බීම ටිකකුත් අරගෙන හවස 7 වෙද්දි ගල්කිස්සෙ 'මරීනා' බීච් එකට යන්න. කෑම බීම, බයිට් ජාති ටික එතනින් ගන්න පුළුවන්. එළි වෙනකම්ම දුවන මේ පාටිය DJ මියුසික් වලින් හැඩ කරන්න එදාට සුපිරි DJ වැඩ්ඩො ටිකකුත් එනව. DJ Michael, DJ Darren, DJ MJ සමහර විට ඔයාලත් දන්නව ඇති. ඒක නෙවෙයි, විශේෂයෙන්ම කියන්න ඕන මේ පාටියට කාන්තා පාර්ශවයට ඇතුල් වීම නොමිලේ.
ඔය ටික හැරුණාම ඔයාල දන්න කියන ඒව තියෙනවනම් ඒවත් ඉක්මනටම කමෙන්ට් කරන්න. එතකොට අපේ යාළුවන්ට නියමෙට වීක් එන්ඩ් එක ප්ලෑන් කර ගන්න පුළුවන්.