ගෙදර ඉන්න වෙලාවට නම් දවල් කෑමෙන් පස්සෙ අපි අඩුම තරමෙ කෙසෙල් ගෙඩියක් හරි බඩට දාගන්නව. නැත්නම් චොකලට් කෑල්ලක්, පොඩි කේක් කෑල්ලක් වුනත් වෙන්න පුළුවන්. ඇත්තටම මේක අපේ කෑම රටාවෙ පුරුද්දක්. බඩ කට පිරෙන්න බත් ටිකක් කෑවට පස්සෙ අතුරුපසක් නම් ඕනෙමයි.
ගෙදර ඉන්නකොට එහෙම කළාට ඔෆිස්වල ඉන්න අපේ යාළුවන්ට කොහෙන්ද අතුරුපස? මේකට අපි ළඟ තියෙනව නියම විසඳුමක්. බලන්නකො මේ කඩ ටික කොහොමද කියල. මෙයාලා ළඟ තියෙනව අතුරුපසට කියාපු කෑම ජාති ටිකක්: කප් කේක්, ඉක්ලෙයාස්, අයිස් ක්රීම් වගේ. හැබැයි මෙයාලගෙ විශේෂත්වය ඒක නෙවෙයි; ඔයාල කැමති අතුරුපස ජාතියක් එක කෝල් එකකින් ලඟටම ගෙන්න ගන්න පුළුවන් එක. එහෙමයි කියල කෑම කාලා ඉවර වෙලා කෝල් කරන්න එපා. එයාලා ඒව හදන්නත් ඕනනෙ. ඒ නිසා උදෙන්ම හරි කලින් දවසෙ හරි කෝල එකක් දීලා ඇණවුම් කරන්න මතක තියාගන්න.
1. Oshella
මේක තමයි සුපිරිම තැන. රසම රස අතුරුපසක් විතරක් නෙවෙයි ඔයාට ඕන නම් දවල් කෑම එකක් වුනත් ගෙන්න ගන්න පුළුවන්. කෙසේ වෙතත් ඔෂෙලා එකේ ඉක්ලෙයාස් වල රසට ගහන්න වෙන ඉක්ලෙයාස් එකක් නැති තරම්. චොකලට් රසින් අනූන මේ ඉක්ලෙයාස් එකක් රු. 110යි. හොඳ ඝනකමට උඩින් අතුරපු චොක්ලට් තට්ටුව හැරුණාම මැද්දට පුරවල තියෙන මෙලෙක් චොකලට් පිරවුමෙන් එන රස මතක් වෙද්දි කටට කෙලත් උනනවා. අඩු ගාණට රසම රස අතුරුපසක් හොයනව නම් YAMU අපි තක්සේරු කරන්නෙ ඔෂෙලා ඉක්ලෙයාස් තමයි.
2. Ambrosia
චොකලට්, කැරමල්, වැනිලා, රෙඩ් වෙල්වට්, දොඩම් වගේ රස ජාති හත අටකින් ඔයාල ලඟට එන රසම රස කප් කේක් සෙට් එකක් තියෙනව බොරැල්ලෙ ඇම්බ්රෝසියා එකේ. එකක් රු. 100ක් වගේ තමයි වෙන්නෙ. හැබැයි තනියෙන්න නම් කන්න වෙන්නෙ නෑ. මොකද ඇම්බ්රෝසියාලගෙන් කප් කේක් ඇණවුම් කරනව නම් එක සැරේකට අඩුම තරමෙ 6ක් වත් ඇණවුම් කරන්න ඕන. එහෙමයි කියල අවුලක් ගන්න එපා. ඔෆිස් එකේ යාළුවො ටික එකතු වෙලා සල්ලි දාලා ඇණවුම් කරන්න. මොකද කප් කේක් කන්න අකමැති අය ඉන්නව කියලද?
3. Sits
ගාණ පොඩ්ඩක් විතර වැඩි වුනාට කිරුලපන සිට්ස් එකෙත් තියෙනව රස වෑහෙන කප් කේක් සෙට් එකක්ම. ඒ හැරුණාම චොක්ලට් බේරෙන ඉක්ලෙයාස් ටිකකුත් තියෙනව. හැබැයි ඇණවුම් කරද්දි අඩුම තරමෙ 5ක් වත් ඇණවුම් කරන්න ඕන. එකක් රු. 140ක් වගේ වෙන නිසා කට්ටිය එකතු වෙලා සල්ලි දාලා ගෙන්න ගන්න එක තමයි හරියන්නෙ.
4. Cremalato
අතුරු පසට රස අයිස් ක්රීම් එකක් තිබුණොත් කොහාමද? නියමයි නේ? හැබැයි මේව නිකන්ම අයිස් ක්රීම් නෙවෙයි. ස්වාභාවික පළතුරු වලින් හදපු අයිස් ක්රීම්. රු. 100ක් වගේ වෙන්නෙ. නියම වැඩේ කියන්නෙ අලිගැට පේර, අඹ, අනෝදා, දොඩම්, ස්ට්රෝබෙරි වගේ රස හත අටකින්ම ඔයාට මේ අයිස් ක්රීම් ගෙන්න ගන්න පුළුවන් එක. ඇත්තටම කොල්ලුපිටියෙ ක්රෙමලාටෝ එකේ අයිස්ක්රීම් වල රස නම් අමතක නොවෙන රසක් කියල කට ඇරල කියන්න පුළුවන්.
5. Bakes by Bella
රුපියල් සීයක් දෙසීයක් වගේ පොඩි ගාණකට පට්ට රස අතුරුපස තොගයක් ගෙන්න ගන්න කියාපු තැනක් තමයි රාජගිරියෙ බේක්ස් බයි බෙලා එක. චොකලට් රස බේරෙන කප් කේක් එකක් රු. 80ක් 100ක් වගේ වෙන්නෙ. එතකොට චොකලට් කුකී එකක් රු. 100යි. වැනිලා බේක්ස් කියල වැනිලා රස ඉතිරෙන අතුරුපසකුත් තියෙනව රු. 130කට. ඔය විදියට තව සෑහෙන්න අතුරුපස ජාති ටිකක් තියෙනව. හොඳම වැඩේ තමයි කෝල් එකක් දීලා ඔයාලම දැනගන්න එක. ඊට පස්සෙ කැමති ජාතියකින් කැමති ප්රමාණයක් ගෙන්න ගන්න.
6. Decadence
ඔන්න අන්තිමටත් අපි කියන්න යන්නෙ අතුරුපසත් එක්ක දවල් කෑම එකකුත් ගෙන්න ගන්න පුළුවන් තැනක් ගැන. නාවල ඩෙකඩන්ස් එකේ නියමම ලම්ප්රයිස් එකකුයි බිරියානි එකකුයි තියෙනව රු. 400ක් 500ක් වගේ ගාණකට. අතුරුපසට ගන්නව නම් මෙයාලගෙ චොකලට් කප් කේක් එකයි බටර් කප් කේක් එකයි තමයි නැගලම යන්නෙ. රුපියල් 100ක් වත් වෙන්නෙ නැති මේ කප් කේක් දෙකේ රස නම් උපරිමයි. චොක්ලට් කප් කේක් එකේ තියෙන පොඩි පොඩි චොකලට් කෑලි ටික මතක් වෙද්දි කටට කෙලත් උනනව.
ඔය විදියෙ රස අතුරුපස තොගයකින් ඔයාලට කැමති කැමති ජාති ඕන ඕන වෙලාවට ගෙන්න ගන්න පුළුවන් කඩ ටිකක් තමයි අපි කිව්වෙ. මේ වගේ තව කඩ ටිකකුත් තියෙනව. ඒවයෙ ගාණ පොඩ්ක් වැඩි නිසා වෙනමම දවසක කියන්නම්. එතකන් දැනට මේ කඩ ටිකෙන් අතුරුපස ආසාව සංසිඳුවා ගන්නකෝ.