අලුත් තාලෙට මොන තරම් සිංදු ආවත් වැඩක් නෑ, පොඩි ආතල් එකක් දාන වෙලාවට ඇඟට අල්ලන තාලයක් නැත්නම්. ඇත්තටම ඇයි ඒ?
ඒකට උත්තර හොයන්න ගියොත් ලොකු කතා බහකට සෙට් වෙන්න වෙනව. කෙටියෙන් කිව්වොත් නම් ඔය අතට අහුවෙන දෙයකට තට්ටු කර කර අලුත් සිංදුවලට තාලයක් දෙන්න සෑහෙන්න අමාරුයිනෙ. අනිත් කාරණය තමයි විනෝද වෙන වෙලාවකට විරහ ගීතයක් කිව්වත් ඒකට තියෙන්න ඕන ඇඟට දැනෙන රිද්මයක්.
දෙයියනේ කියල අන්න ඒ ඇඟට දැනෙන ගතිය එකෙන්ම දෙන්න පුළුවන් සුපිරි සිංදු සෙට් එකක් අපේ පැරණි සංගීත පරම්පරාවෙන් අපිට උරුම වෙලා තියෙනව. ඒනම් අහල බලමුද ඒ වගේ නියම වේදිකා නාට්‍ය සිංදු 10ක්.
1. ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්
දික්තල කාලගෝල නාට්‍යයෙ එන මේ සිංදුවෙන් කියවෙන්නෙ දික්තලාව කරකාර ගන්න අවුරුදු ගාණක් බැලමෙහෙවරකම් කරපු කාලගෝල, දික්තලාව කරකාර බැඳගෙන ගමට යන ගමනෙදි දෙන්න අතරෙ ඇති වෙන දෙබසක්. හරිම රසවත් වගේම වේග රිද්මයට කියල හොඳට විනෝද වෙන්න පුළුවන් මේ සිංදුව නිර්මාණය කරන්නෙ එම්. ඩී. චන්ද්‍රපාල මහත්තය.
2. හනික වරෙව් කොල්ලනේ
හිරු දෙවියන්ගෙ නැතිවුනු හරක් රැළ හොයල දෙන්න අපේ රටේ ඉඳපු යක්ෂ ගෝත්‍රිකයො පිරිසකට බාර දෙන අවස්ථාවෙ එළඹෙන එකඟතාවයක් ගැන තමයි මේ සිංදුවෙ කියවෙන්නෙ. ගිවිසුමේ තියෙන වාසි ටික යක්ෂ නායකයා අනික් යක්ෂයින්ට කියන වචන ටික ඇඟ නැටවෙන ඩොල්කි තාලයකින් සිංදුවකට නගන්නෙ රොඩ්නි වර්ණකුල මහත්තය. මේ වේදිකා නාට්‍යයෙ නමත් 'බෙර හඬ'මයි.
3. පොම්බුලේ මගේ පොම්බුලේ
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ සක්විති රාවණ වේදිකා නාට්‍යයෙ එන මේ සිංදුව හැදුවෙ කවුද කියන එක ගැන නම් හරි හමන් විස්තරයක් නෑ. කොහොම වුනත් සීතා දේවි බේර ගන්න එන හනුමන්තා, වැඩේට බහින්න කලින් ගහන ප්ලෑන් එක ගැන තමයි මේ විදියට ලස්සන ඩොල්කි රිද්මයකින් සංගීතවත් වෙන්නෙ.
4. යස ඉසුරු පිරුණු තැනා
රොඩ්නි වර්ණකුල මහත්තය ගායනා කරන මේ සිංදුවෙ පද පේලිය ලියවෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තයගෙ අතින්. අපූරු ඩොල්කි තාලයක් එකතු කරල ඇඟට දැනෙන සංගීතයකින් මේ සිංදුව හැඩ කරන්නෙ ඔස්ටින් මුණසිංහ මහත්තය. රතු හැට්ටකාරි නාට්‍යයෙ එන මේ සිංදුවෙ විශේෂත්වය තමයි පද පේලියෙන් කියවෙන කතාව. යස ඉසුරින් පිරිච්ච අපේ රටේ ඉතිහාසය වගේම ඒ ඉතිහාසයෙ පෞඪත්වයත් ඒ දේවල් රැක ගන්න අපේ මුතුන් මිත්තො ගත්තු උත්සාහයත්, වර්තමාන තත්වයත් හරිම උපහාසාත්මක විදියට මේ සිංදුවෙ විස්තර වෙලා තියෙනව.
5. සුවඳ සබන් ඇඟ ගාලා
රට පුරාම ඉන්න ලස්සන ගෑණු ළමයින්ට මෙන්න නියම අවස්ථාවක්. රජතුමාට අග මෙහෙසියක් තෝරන්න රාජ සභාවෙ කට්ටිය එනව. ඒ පණිවුඩය දෙන්න එන අණබෙර කාරය කියන පද පේලිය තමයි රාජ කපුරු නාට්‍යයෙ 'සුවඳ සබන් ඇඟ ගාලා' කියල සිංදුවකට නැගෙන්නෙ. රවීන්ද්‍ර යසස් මහත්තය ගායනා කරන මේ සිංදුවත් ඩොල්කි රිද්මෙට කියාපු නැටිල්ල.
6. සෝබාව දේ
ලූෂන් බුලත්සිංහල මහත්තයගෙ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙ එන සිංගප්පූරු වර්ණනාව නියම සංගීත තාලයකින් ගායනා කරන්නෙ යූ. ආරියවිමල් සහ ගාමිණී සමරකෝන් කියන මහත්තුරු දෙන්න.
7. හා හා ලඳේ
බිසෝ වේදිකා නාට්‍යයෙ එන රජ බිසවගෙ රූප සුන්දර වර්ණනාව තමයි රොඩ්නි වර්ණකුල මහත්තය හරි ලස්සන තාලයකට මේ විදියට ගායනා කරන්නෙ. මේ වර්ණනාවෙ පද පේලිය ලියවෙන්නෙ හෙක්ටර් කුමාරසිරි මහත්තයගෙ අතින් වුනාට සංගීතවත් කෙරෙන්නෙ නම් ඔස්ටින් මුණසිංහ මහත්තය අතින්.
8. පරසිඳු කරලියද්ද
මේ සිංදුවෙ විශේෂත්වයක් තියෙනව. ඒ තමයි මේක නාට්‍ය ගීතයක් නොවුනට මේ සිංදුවෙන් නාට්‍යයක් කියවෙන එක. සිහශක්ති සංගීත කණ්ඩායම සුපිරි කැලිප්සෝ තාලයකට ගායනා කරන මේ සිංදුව තියෙන්නෙ එයාලගෙ ඕරයිරේ කියන ගීත ඇල්බමයෙ.
9. සිරි සඟ බෝධි මාලිගාවෙදි
වෙස්සන්තර ජාතක කතාව අපි ගොඩ දෙනෙක් හොඳට දන්නවනෙ. අන්න ඒ කතාවට සම්බන්ධ වෙස්සන්තර නූර්තිය් එන ගීයක් තමයි නිස්සංක දිද්දෙනිය, ජයලත් මනෝරත්න, රත්නා ලාලනී මහත්ම මහත්මීන් අතින් මේ විදියෙ වෙනස් වගේම අපූරු තාලයකින් රසවත් වෙන්නෙ.
10. ගෝවේ ගෑණු පරාදයි
ඉන්දියාවෙ ගෝව, පෘතුගීසීන්ගෙන් නිදහස් කරගන්න කාලෙ ලංකාව පැත්තට ආපු පෘතුගීසි හමුදා කාරයෙක් අපේ රටේ කාන්තාවන්ගෙ ලස්සන දැකල හිතට ආපු සිතුවිලි ටික තාලයකට එළියට දානව. ඇහුණත් ඇති නැටවෙන්න, කියන්න පුළුවන් විදියෙ පට්ට සංගීත තාලයකින් එන මේ සිංදුව ගායනා කරන්නෙ සඳුන් විජේසිරි මහත්තය.
ඔය සිංදු 10 හැරුණාම තව ගොඩක් සිංදු තියෙනව, එක පාර කියන්න බැරි තරම්. ඇරත් අපි මේ කියපු විස්තරවල වැරදි තියෙන්නත් පුළුවන්. ඒ නිසා කාලෙකට පස්සෙ එළියට ආපු මේ සිංදු ටික රස විඳල ඔයාලා දන්න දේවලුත් අපිට කියල, වැරදි නිවැරදි කරල යන්න නම් අමතක කරන්න එපා.