යමු එකේ අපි සත්තුන්ට හරි ආදරෙයි. මෙහෙම කිව්වෙ අපේ අතින් වැරදිලා හරි, නොදැනුවත්කම නිසා හරි අපේ සුරතල් සතුන්ට වස විස දෙන අවස්ථා ගැන අපිට දැනගන්න ලැබුන හින්ද. හරියට අර බල්ලෝ පුසෝ වෙජිටේරියන් කරන්න හදනවා වගේ. සත්තු කන්න ඕනේ ඩයට් එකක් තියෙනවා. ඒක ගැන අපි දැනුවත්ව ඉන්න ඕනේ අපි ඒගොල්ලෝ රැකබලාගන්නවා නං.
මේවා බල්ලන්ට, පුසන්ට කටේ තිබ්බොත් අගුණයි.
චොක්ලට්
හොඳ චොක්ලට් නං අපිට දිව්‍ය අමෘත වගේ. ඒ වුනාට ඒකේ රස අපේ සුරතල් සත්ත්ව මිත්රයින්ටත් දෙන්න නිකං වත් හිතන්න එපා. චොක්ලට් ඒ අයට අන්තිම විසයි. චොක්ලට්වල තියෙනවා තියෝබ්රොමීන් කියල රසායනයක්. මේක මිනිස්සුන්ට බෙහෙතක් හැටියටත් පාවිච්චි කළාට සුරතලුන්ට හරි භයානකයි. කුඩා ප්‍රමාණවලින් අතික්රියාශ්රීලී තත්වයක් ඇති කරන්න පුළුවන් අතර වැඩි සාන්ද්‍රණ හෝ ප්‍රමාණවලින් හදවත් ප්‍රශ්න, වෙව්ලීම්, අපස්මාරය වැනි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. චොක්ලට් විතරක් නෙමෙයි පැකට් කරපු පැණිරස කෑම වුනත් අගුණ වෙන්න පුළුවන්. මොකද සමහර රසකාරක වර්ගත් විස වෙනවා. තව චොක්ලට්වල කැෆීන් තියෙනවා. එ්කත් අගුණයි.
තේ, කෝපි, ශක්තිජනක පාන
කලින් කැෆීන් ගැන කියපු හින්ද අපි තේ, කෝපි ගැනත් බලමු මොකද තේ, කෝපිවල තියෙන්නෙ කැෆීන් නෙ. දැකල තියෙනවද බොන තේ කෝප්පෙන් පොඩ්ඩක් පිරිසියට පොඩ්ඩක් දාල බිමින් පුසට බොන්න තියන මිනිස්සු? ලඟට ගන්න එපා, ඔය පූසගේ කලින් ආත්මේ තරහකාරයෙක් වෙන්න ඇති. සුරතලුන්ට කැෆීන් පෙවුනොත් හුස්ම ගැනීම වේගවත් වීම, හදවත තිගැස්සීම, මාංශ පේශි වෙව්ලීම් ඇතිවෙන්න පුළුවන්.
සැර බිම ජාති
ඔය තනියෙන් බීගත්තු වෙලාවක ගෙදර බල්ලත් එක්ක සෙට් වෙන්න නං හිතන්න එපා. මධ්‍යසාර සුරතලුන්ගේ අක්මාවටයි, මොලයටයි සෑහෙන්න හානි කරනවා. මේස හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් ඇති ලොකු හානියක් කරන්න. ඒක හින්ද ඕව පොවන්න විතරක් නෙමෙයි, කෑම දෙනකොට මධ්‍යසාර අඩංගුද කියල පරික්ෂා කරල බලන්න.
ලූනු, සුදු ලූනු
ලූනු පවුලේ සාමාජිකයෝ එකක්වත් බල්ලෝ පුසොන්ට කන්න දෙන්න හොඳ නැහැ. පොඩ්ඩක් එහෙං මෙහෙන් කෑවට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ, ඒත් බැහැගෙන සෑහෙන්න කාල තිබුනොත් බඩේ අමාරු හැදෙනවා. කාලයක් තිස්සේ ළූනු කැවිලා තිබුනොත් ලේ අඩුවීම වෙන්න පුළුවන්. මධ්‍යසාර එක්ක වගේම ළූනු තියෙන ආහාර ගැන හොයලා ඒවා පුසට නොදී ඉන්න වග බලාගන්න.
මිදි, වියලි මිදි
පුදුමෙකට මිදිත් අගුණ කෑමක් තමයි. බල්ලෝ තමයි වැඩිපුර මිදි විස වෙන්නෙ කියල ආරංචි, එ්ත් පුසන්ටත් විස වෙන්න පුළුවන්. අක්මාවට තමයි බලපාන්නේ. හැබැයි විස වුණා කියල පේන්න දවසක් දෙක තුනක් යන්න පුළුවන්.
අමු බිත්තර
අමු බිත්තර එහෙං මෙහෙන් එකක් දෙකක් දුන්නට කමක් නැහැ එත් ගොඩක් දෙන එකෙන් බල්ලන්ට විටමින් B සංකුලතා ඇතිවෙලා ලොම් හැලෙන්න පුළුවන්
අමු මාළු
අමු මාළුවල තියෙන පුළුවන් විෂබීජ හෝ කුඩා පරපෝෂිත සතුන්. ඒ සත්තු ඔබේ සුරතලාට ආසාදනය වෙන්න පුළුවන්. ඒක නිසා මස් මාළු දෙනකොට තම්බලා දෙන්න. නැත්තං කුරුල්ලන්ටම කාගන්න කියන්න.
ලුණු
ලුණු විස වෙන්නත් පුළුවන්. ලුණු විසවීමෙන් මොලේ ඉදිමිලා, අපස්මාරය වගේ තත්ව ඇතිවෙන්න පුළුවන්. ඒක හින්ද ලුණු ගොඩක් තියෙන කෑම දෙනකොට පරිස්සමෙන්. කොටින්ම කියනවනං ඔබේ සුරතලාව මුහුදු වෙරළට එක්කං ගියොත් වැඩිය මුහුදු වතුර පෙවෙන්න දෙන්න එපා.
කිරි
බොරු නෙමයි, ඇත්තමයි කියන්නෙ. කිරිත් ඔබේ සුරතලාට අගුණ වෙන්න පුළුවන්. පොඩි කාලෙයි, තරුණ කාලෙයි කිරි හොඳට බොන්න පුළුවන් වුනාට වයසට යනකොට කිරි දිරවන්න අපහසු වෙන්න පුළුවන්. එහෙම වුනොත් බඩේ අජිර්ණ තත්ව වෙනවා.
වෙදකම්
වෙව්ලන ගතිය, කටින් කෙල බේරෙන ගතියක්, පණ නැතුව ඉන්නව නං, අසාමාන්‍ය හැසිරීමක් එහෙම තියෙනවනං සමහර විට ඔබේ සුරතලා විස වීමකට ලක්වෙලා වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ දේ ඉක්මනට පශු වෛද්‍යවරයෙකුට පෙන්වන එකයි. සුරතලට වමනය කරවන්න උත්සහ කරන්න එපා. සමහර විට එකෙන් වෙන සංකුලතා ඇතිවෙන්න පුළුවන්.
පශු වෛද්‍යවරයා හුඟක් විට බඩෙන් කෑම පොම්ප කර ඉවත් කරන්න උත්සහ කරයි, නැත්නං සේලයින් දීල වකුගඩුවලට තියෙන හානිය අවම කරන්න උත්සහ කරයි.
අපි ගාව නං දැනට විශ්වාසවන්ත පශු වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් නං නැහැ, ඒත් මේ අයට කතා කරල බලන්න: Pet Vet, PetsVCare, Best Care Animal Hospital. ඔබ හොඳ පශු වෛද්‍යවරු දන්නවනං පල්ලෙහා සඳහන් කලානං ගොඩක් පිං.
මේ ඔක්කොටම වැඩිය හොදයි ඔබේ සුරතලාව ප්‍රවේසමෙන් බලාගන්න එක. පස්සෙ බෙහෙත් කරනවට වැඩිය හොඳයි නේ නිවාරණය. සුරතෙලෙක් බලාගන්න එක ළමයෙක් බලාගන්නවා වගේ වගකීමක්. ඒක බාරගන්නව නං හරියට කරන්න ඕනේ.