ලංකාවෙ අපිට හොඳටම පුරුදු ප්ලේන්ටියක් ගහන ගමන් පොඩි කයියක් දාන්න වුනාට දැන් දැන් නම් පොඩි කයියට කෝපි උගුරක් මුහු කර ගන්න අයත් ඕන තරම් ඉන්නව. වෙන දෙයක් නිසා නෙවෙයි, ඔය කෝපි කඩවල් වල,කෝපි රසට පෑහෙන්න හැදෙන පොඩි පොඩි කෑම ජාති නිසා. අනිත් කාරණය තමයි හොඳ තේ කහට උගුරකුත් ගොඩක් වෙලාවට මිලෙනුත් වැඩියිනෙ.
කොහොම වුනත්, වැඩ ඇරිලා ගෙදර යන ගමන් හරි ඔෆිස් එකේ තේ වෙලාවට හරි කෝපි උගුරක් තොල ගාන්න එළියට යන එකෙත් අමුතු ගතියක් තියෙනව. පොඩි බඩ ගින්නක් වගේ තියෙනව නම් ඔය ෂෝටීට්ස් මොනව හරි කන්නත් පුළුවන්නෙ. හැබැයි ඉතින් ඒ අතරට රසවත් කතාබහක් නම් අනිවා එකතු වෙන්න ඕන. එතකොට තමයි කෝපි බොන එක අර්ථවත් වෙන්නෙ.
අපිත් එක්ක ඉන්න ඔෆිස් යාළුවොත් ගොඩදෙනෙක් හවසට කෝපි බොන්න පුරුදු වෙලා ඉන්නවනෙ. කොටින්ම කියනව නම් අපේ සෙට් එකෙත් වැඩි දෙනෙක් ඔය ගොඩේමයි. අන්න ඒ නිසයි මම හිතුවෙ අපේ අයටයි, ඔයාලටයි දෙගොල්ලන්ටම දැනගන්නත් එක්ක අඩු ගාණට රස කෝපි උගුරක් බොන්න පුළුවන් කෝපි කඩ ටිකක් කියන්න. එහෙනම් අද හෙටම ගිහිල්ල බලන්නකො. බලල නිකම් ඉන්න එපා හොඳ නරක ගැන කමෙන්ට් එකකුත් දාන්න.
1. Hansa
තිඹිරිගස්යාය ෆයිෆ් පාරෙ තියෙන හන්ස එක කෝපි බොන්න විතරක් නෙවෙයි කෝපි කන්නත් කියාපු තැනක්. එහෙම කිව්වාම කට්ටිය බලයි කෝපි කන කතාව මොකක්ද කියල. මේකයි, හන්සා එකේ තියෙන අතුරුපස වර්ග අතරෙන් ගොඩක් ඒව එයාල හදන්නෙ කෝපි දාලා. හරිම රසයි. ඒ හැරුණාම පට්ට රස චොකලට් අතුරුපස ජාතිත් තියෙනව. කොහොම වුනත් රස ජාති ගොඩකින් ගන්න පුළුවන් මෙයාලගෙ උණු කෝපි වීදුරුවක රස නම් පුංචි කතා බහකට කියාපු. රු. 200ක්, 300ක් වගේ වෙන නිසා පොකට් එකටත් වාසියිනෙ.
2. Whight & Co.
පට්ට රස කැපුචිනෝ කෝප්පයක් රු. 320කට රස බලන්න, කොල්ලුපිටිය ඇලෝ ඇවිනියු එකේ වයිට් ඇන්ඩ් කෝ එක තරම් ගැලපෙන කඩයක් තවත් නැතුව ඇති. ඒ විතරක් නෙවෙයි මකියාටෝ, එස්ප්රෙසෝ, කැෆේ ලැටේ, ඇමරිකානෝ වගේ රස වෑහෙන කෝපි ජාති හැම එකක්ම වගේ රු. 320යි. අවාසනාවට වයිට් ඇන්ඩ් කෝ එකේ සැන්ඩ්විච්, බර්ගර් ජාති නම් සෑහෙන්න ගණන්. රු. 500න් එහා පැත්තෙ. ඒ නිසා ඔන්න මතක තියා ගන්න කෝපි රස බලන්න මෙතනට ගියාට අඩු ගාණට ෂෝටීට්ස් පාරක් බඩට දාගන්න නම් මෙතන ගැලපෙන්නෙ නෑ.
3. Dolce Italia
ඉටෑලියානෝ ෂෝටීට්ස් රස බලන ගමන් ඇමරිකානෝ කෝපි වීදුරුවක් තොල ගාන්න, යන්න පොලිස් පාර්ක් ඉස්සරහ ඩොල්චෙ ඉටාලියා එකට. වෙනස්ම අත් දැකීමක් වේවි. මොකද ඉටෑලියන් කෑම වල වගේම අතුරුපස වලත් රස සෑහෙන්න වෙනස්නෙ. මෙයාල ලඟත් රස වෑහෙන කැපුචිනෝ තියෙනව. රු. 300ක් වගේ වෙන්නෙ. එස්ප්රෙසෝ එකක් රු. 220යි. ඒ හැරුණාම එස්ප්රෙසෝ වල තිත්ත ගතියට, නියමෙට පෑහෙන්න ක්රීම් එකතු කරල හදන කොන් පන්නා කෝපි වීදුරුවක් රු. 250ක් වගේ වෙන්නෙ. ඒ නිසා ඩොල්චෙ ඉටාලියා ගියොත් කොන් පන්නා එකක් නම් රස බලන්න අමතක කරන්න එපා.
4. Macchiato
අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කඩේ නමත් කෝපි ජාතියක නමක්මනෙ. කොල්ලුපිටිය ලිබර්ටි ආර්කේඩ් එකේ තියෙන මකියාටෝ එක කෝපි රස බලන්න වගේම ෂෝටීට්ස් කන්නත් නියම තැනක්. ඒ හැරුණාම මෙයාල ලඟ ප්රධාන කෑම ජාතිත් තියෙනව. අවුල තියෙන්නෙ ගණන් වැඩි එක තමයි. සැන්ඩ්විච් නම් රු. 300න් එහා පැත්තෙ. කෝපි තමයි අඩු ගාණට ගන්න තියෙන්නෙ. මකියාටෝ එකක් රු. 350යි. කැපුචිනෝ රු. 250යි. හැබැයි රසේ කිසිම අඩුවක් නෑ. හවස වැඩ ඇරිලා යන ආදරණීයයන් දෙන්නෙක්ට පුංචි කතා බහකට සෙට් වෙන්න වගේම පොඩි ෂොපින් පාරක් දාන්නත් කියාපු තැනක්නෙ ලිබර්ටි ආර්කේඩ් එක.
රස කෝපි වීදුරුවක් තොල ගාන්න, නිදහස් කතා බහක් දාන්න ඕන තරම් තැන් තිබුණට පොකට් එකටත් වාසි ගාණකින් ඔය වැඩේ කරගන්න පුළුවන් තැන් සෑහෙන්න අඩුයි. අන්න ඒ නිසා යාළුවනේ ඔයාල දන්න තැනුත් කමෙන්ට් කලා නම් තමයි වටින්නෙ.