බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර පැවැත් වුනු මෙවර ඔලිම්පික් උළෙල ලංකාවෙ අපිට එච්චර දැනුනෙ නැත්තෙ අපේ කට්ටියගෙ දක්ෂතා ඒ හැටි පේන්න තිබුනෙ නැති නිසා. ඒ වුනාට අනිත් රටවල් වලට නම් එහෙම ප්‍රශ්නයක් තිබුනෙ නැති පාටයි. ඔලිම්පික් බලපු කට්ටිය දන්නව ඇතිනෙ එයාලා ජයග්‍රහණ සමරපු හැටි.
කොහොම වුනත් අපි මේ කියන්න ලෑස්ති වෙන්නෙ ඔලිම්පික් උත්සවයෙ දිනපු ඒව, පැරදුණු ඒව ගැන නෙවෙයි. ඒ දිනුම් පැරදුම් අතරට මුහු වුනු අපූරු සිද්ධි ටිකක් ගැන. වීඩියෝත් දාලා තියෙන නිසා ඔයාලට හොඳ හැටි රස විඳින්න පුළුවන් වෙයි. හැබැයි ඔයාල දන්න අපි නොදන්න සිද්ධි ඔය අතරෙ තියෙනව නම් ඒවත් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද අපිත් ආසයි දැකල බලල රස විඳින්න.
1. ක්වින් කායිගෙ මංගල යෝජනාව
ක්වින් කායි කියන්නෙ චීන ඩයිවින්ග් ශූරයෙක්. එයාගෙ පෙම්වතිය තමයි මේ පාර ඔලිම්පික් උළෙලෙ මීටර තුන ස්ප්‍රින්ග් බෝඩ් තරඟයෙන් රිදී පදක්කම දිනපු හේ සි. දන්නවද? හේ සි රිදී පදක්කම දිනපු වෙලාවෙ ක්වින් කායි එයාගෙ ඉස්සරහට ආවෙ එයාලගෙ මගුල් මුද්දත් අරගෙනමයි. ඒ වෙලාවෙ හේ සිගෙ මූණෙ තිබුණු ආදර හිනාව! ඔන්න තියෙනව වීඩියෝව, ඔයාලම බලාගන්නකො.
2. අහංකාර එල් ෂෙහාබි
තරඟයක් දින්නත් පැරදුණත් අවසානයෙදි අතට අත දෙන එක අපිට නම් පොඩි කාලයෙ ඉඳන්ම පුරුදු දෙයක්. ඒත් ඔලිම්පික් එන්න තරම් දක්ෂතාවයක් තිබිලත් ඒ ගති ගුණ නැති මනුස්සයෙක් තමයි ඊජිප්තුවෙ එල් ෂෙහාබි. රියෝ ඔලිම්පික් උළෙලෙ ජූඩෝ තරඟයකදි ෂෙහාබ්ගෙ ප්‍රතිවාදියා විදියට ඉන්නෙ ඊශ්‍රායලයෙන් ආපු සේසන්. මේ තරඟයෙදි ෂෙහාබි පරාද වෙනව. ඒත් සේසන්, ජය පරාජය අමතක කරල ප්‍රතිවාදියට අතට අත දෙන්න යන්නෙ හොඳ සුහදත්වයකින්. ඒත් උඩඟු ෂෙහාබි සේසන්ගෙ මිත්‍රත්වය එපා කියනව, හරිම පිළිකුල් විදියට.
3. නිකීගේ මනුස්සකම
මීටර 5000ක් දුවනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. අනික ඔලිම්පික් කියන්නෙ ලේසි තරඟයකුත් නෙවෙයි. එහෙම තියෙද්දිත් තරඟය අත ඇරල අහම්බෙන් හමුවුන මිතුරෙක්ට උදව් කරනව කියන්නෙ?
නවසීලන්තයෙ නිකී හැම්බ්ලින් අන්න එහෙම කෙනෙක්. රියෝ ඔලිම්පික් වල මීටර 5000 තරඟයෙදි කකුල පැටලිලා ඇදන් වැටෙන නිකී නිසා පිටිපස්සෙන් ආපු ඇමරිකාවෙ ඇබී ඩි ඇගොස්ටිනෝත් ඇදන් වැටෙනව. ඒ වෙලාවෙ ඇබීට කකුලේ ආබාධයක් ඇති වෙනව. ඒත් නිකී නෙවෙයි ඇබීව අත ඇරල එක පාරටම දුවන්න පටන් ගන්නෙ. මොකද වුනේ කියල බලල ප්‍රථමාධාරත් එනව කියල දැක්කට පස්සෙ තමයි නිකී ආයත් තරඟයට පිවිසෙන්නෙ. කොහොම හරි ප්‍රථමාධාර වලින් පස්සෙ ඇබීත් තරඟයට පිවිසිලා ඒක ඉවර කරනව. කොහොම හරි අන්තිම මොහොතෙ නම් ඇස් වලට කඳුළු උනන ගාණයි.
4. මිලර්ගේ දිනුම් පිම්ම
මීටර් 400 කාන්තා තරඟයෙදි තමයි මේ සිද්ධිය වෙන්නෙ. ජයග්‍රහණය වෙනුවෙන් මිනිස් සිතේ ඇති වෙන හැඟීම හොඳ හැටි විදහා පාන සිද්ධියක්. කොටින්ම කියනව නම් මොනව කරල හරි දිනන්න ඕන කියන කාරණාවෙ උච්චතම අවස්ථාවක්.
බහාමාස් ක්‍රීඩිකාව,ශෝනි මිලර් මිලි තත්පර 7කින් තමයි ඇලිසන් ෆෙලික්ස්ව පහු කරන්නෙ. හැබැයි දුවල නම් නෙවෙයි, දුවන තරඟයකදි අන්තිම මොහොතෙ දිනුම් කණුවට පැනල. ඔන්න බලන්නකො සිද්ධිය…
5. උසේන් බෝල්ට්ගෙ හිනාව
කට්ටිය දැනටමත් දන්නව ඇතිනෙ, ෆේස් බුක් එකෙන් එහෙම දැකල. සිද්ධිය ඇත්ත. මීටර 200 තරඟයෙදි බෝල්ට් එක්ක කරට දුව ගෙන එන කැනඩාවෙ ඩි ග්රැසේට අන්තිම තප්පර 2,3දි ලීඩ් තියන බෝල්ට් තරඟෙ දිනන්නෙ ගේමක් නැතුව. හැබැයි ඒක නෙවෙයි හොඳම සිද්ධිය. දිනුම් කණුව පහු වෙද්දිම ඇඟිල්ල වනල ලස්සන හිනාවකුත් දාලා බොල්ට්, ග්රැසේට කියන කතාව, ''එව්වා හරියන්නෑ මල්ලි''
6. මාරක ලිඳේ බයිසිකල් පැදීම
ට්‍රැක් සයික්ලින් තරඟයක් අතරෙදි සිද්ධ වුනු අනතුරක් නිසා, සිද්ධ වෙන්න ගියපු අනතුරක් වළක්ව ගත්ත මේ ගෑණු ළමය නෙදර්ලන්තයෙන් ආපු කෙනෙක්. නම ලෝරීන් වැන් රිසේන්. අනතුර වළක්ව ගන්න මෙයා කරන දේ දන්නවද? බයිසිකල් ට්‍රැක් එකේ බැම්ම දිගේ හරියටම පොළවට සමාන්තරව තප්පර 4ක් 5ක් බයිසිකලේ පදිනව. අනිත් තරඟ කාරියගෙ ඇඟේ ගෑවී නොගෑවි පැදල කොහොම හරි පරිස්සමට තරඟය ඉවර කරනව. වෙච්ච දේ හරියටම බලා ගන්න මේ වීඩියෝව බලන්න.
7. කකුලක් දෙකඩ වෙන්න තරම්
ප්‍රංශයේ සමීර් ඒට් කියන්නෙ ජිම්නාස්ටික් ශූරයෙක්. ඒත් හරිම අවාසනාවන්තයෙක්. රියෝ ඔලිම්පික් ජිම්නාස්ටික් තරඟයකදි පනින පිම්මක් නිසා සමීර්ගෙ කකුල දෙකට කැඩෙනව. ඇත්තටම ඒ සිද්ධිය නම් බලන්නත් අමාරු තරම්. හැබැයි සමීර්ගෙ හිතේ හයිය කොයි තරම්ද කියනව නම් ප්‍රථමාධාර වලින් පස්සෙ ''මම හොඳින්, ඔලිම්පික් ඉවර වෙනකම්ම මම ඉන්නව'' කියන්න තරම්!
8. අයියෝ අත!
අපේ කට්ටියටත් මේව හොඳ පාඩම්. ජිම් ගියා වගේ නෙවෙයි හොඳට හොයල බලල තමයි ඔය බර උස්සන ඒව කරන්න ඕන. රියෝ ඔලිම්පික් යන්න තරම් දක්ෂ ආර්මේනියානු ක්‍රීඩක ඇන්ඩ්රනික්ගෙත් අත පනින්නෙත් සමබරතාවය නැතිව යන නිසා. කිලෝ 195ක් උස්සන්න ගිහින් තමයි ඇන්ඩ්රනික් මේ අනතුරට මුහුණ පාන්නෙ. මොනව කරන්නද ඉතින්, පුහුණු කරුවෙක් තියා තරඟ කරුවෙක් වත් හිතන්නෙ නෑනෙ ඔය වගේ දෙයක් වෙයි කියල. ඔන්න වීඩියෝව තියෙනව පහතින්, බලන්නකො.
ඔය සිද්ධි 8 හැරුණාම තව සාමාන්‍ය සිද්ධි තියෙනව. හැබැයි අපි හිතන විදිය හැංගුණ සිද්ධිත් ඇති. පොඩ්ඩක් හොයල බලන්න. මේව හරිම රසවත්.