කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු ශ්‍රී ලංකේය සිනමාව මේ වෙද්දී පහු කරන්නේ එහි සය වෙනි දශකයයි. වසර 70කට ආසන්න කාලයක් තිස්සේ විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය වුණු චිත්‍රපට මඟින්, ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ හදවත් ස්පර්ශ කරන්නට ඔවුන් සමත් වුණා. ගොවිතැන් බතින් දවස සරි කරගත් ගැමියන්ගේ අල්පේච්ඡ ජීවන රටාවේ සිට, උපන්දා පටන් දුවිලි පොදක්වත් පය නොගැටුණු, මහා මැදුරුවල ජීවත් වෙන ලක්ෂපතියන්ගේ සුපිරි ජීවන රටාව දක්වා, ඔවුන්ගේ හපන්කම්, මෝඩකම්, සහ පුරසාරම් මෙවන් චිත්‍රපටවල කතා සාරයන් අතර තියෙනවා.
ලංකාවේ චිත්‍රපට ඉතිහාසය ඇතුලේ ජාත්‍යන්තරයට පවා පය තියපු අග්‍රගණ්‍ය නිර්මාණ වගේම, වාණිජ පරමාර්ථයෙන්ම හදපු බාල තත්වයේ චිත්‍රපටත් බිහිවුණේ නැතුවම නෙවෙයි. ඒත් එදා වගේම අදටත්, අඩුවක් නැතුව එක වගේ රස විඳින්න පුළුවන් නිර්මාණ ගණනාවකුත් මේ අතර තියෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තැබූ මේ චිත්‍රපට සේරම වගේ බිහිවුණේ මීට දශක තුන හතරකට උඩදී.
1. රේඛාව
එතෙක් කල් ස්ටුඩියෝ ආශ්‍රිතව නිර්මාණවලින් මිදිලා, එළිමහනේ රූගත කරපු පළමු චිත්‍රපටය විදියට සැළකෙන්නේ රේඛාවයි. ග්‍රාමීය පරිසරයත් එක්ක බැඳිලා තියෙන ගුප්ත විශ්වාසයන් පාදක කරගෙන තමයි මේ සිනමාපටය ගොඩ නැගුනේ. මාටෙල් ප්‍රනාන්දු නම් රංගන ශිල්පිනිය පණ පොවපු අනුලා කියන ළමා චරිතය වටා තමයි මේ කතාව ප්‍රධාන වශයෙන්ම ගෙතිලා තිබුණේ. ඒ හැරුනාම අයිරාංගනී සේරසිංහ, ආනන්ද වීරකෝන්, සෝමපාල ධර්මප්‍රිය වගේ නළු නිලියන් බොහොමයක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්නා. 1956 වසරේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මය අතින් අධ්‍යක්ෂණය වෙච්ච රේඛාව, 1957 අවුරුද්දේ කෑන්ස් සිනමා උළෙලේදී පවා ප්‍රදර්ශනය වුණා.
2. ගම්පෙරලිය
නන්දා සහ පියල්ගේ ආදර කතාව අපි ඇහුවේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරලිය පොතෙන්. ඒත් මේ කතාව ඇහින් දකින්න අපට අවස්ථාව ලැබුනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නිර්මාණය කරපු ගම්පෙරලිය චිත්‍රපටයෙන්. අනාදිමත් කාලයක ඉඳන් ලාංකීය සමාජයේ දකින්න තියෙන කුල භේදය පිලිබඳ මාතෘකාව ගැන තමයි මේකෙන් සාකච්ඡා වුණේ. 1963 අවුරුද්දේ බිහිවුණු මේ චිත්‍රපටයේ නන්දාගේ චරිතයට පුන්‍යා හීන්දෙනිය මහත්මියත්, පියල්ගේ චරිතයට හෙන්රි ජයසේන මහත්මයාත් පණ පෙව්වා.
3. පරසතුමල්
බටහිර අහසේ රතු සිත්තම් මැකුණා වේ
දෙණි පෙත හඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුවග නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ
ගාමිණී වික්‍රමසිංහ මහත්මයාගේ කටහඬින් ගැයෙන මේ ලස්සන කවිය අපට අහන්න ලැබෙන්නේ පරසතුමල් චිත්‍රපටයේ අන්තිම ජවනිකාවෙන්. මේ සිනමා පටයේ කතා නායකයා වන වැලිහේනේ බොනී මහත්තයාගේ චරිතයට ජීවය ලබා දෙන්නේත් ඔහුමයි. ඒත් මේකට පාදක වුණු පී.කේ.ඩී සෙනවිරත්නයන්ගේ පරසතුමල් නවකතාවදී ඒ චරිතය දැක්වෙන්නේ ඩැනී මහත්තයා නමින්. සුරාව, සංගීතය වගේම කාන්තාව කියන දේවල් තමන්ගේ ජීවිතයේ කොටස් බවට පත් කරගත්ත බොනීගේ ජීවිතය එයින්ම විනාශ වෙන හැටි මේ චිත්‍රපටයෙන් කියවුණා. ගාමිණී ෆොන්සේකාගේ අද්විතීය රංගන කෞශල්‍යය වගේම අධ්‍යක්ෂණ හැකියාවත් මේ සිනමා පටයෙන් මනාව දිස්වුණා. 1966 අවුරුද්දේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ.
4. සත් සමුදුර
සිනිඳු සුදු මුදු තලාවේ – පිපෙන පෙණ පිඩු සිනාසේ
සැලෙන රළ මත ගිලී ඉපිලී – ගලන සිතුවිලි මුලා වේ
මහගම සේකරයන්ගේ අතින් ලියවිලා, ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ගැඹුරු කටහඬින් ඇහෙන මේ ගීතය අදටත් අපි අතර බොහොම ජනප්‍රියයි. මේක 1967 අවුරුද්දේ බිහිවුණු සත් සමුදුරු චිත්‍රපටයේ ගීතයක්. මොහොතින් මොහොත වෙනස් වෙන මුහුදත්, ඒකත් එක්ක ගැටෙන ධීවරයාගේ ජීවන බෝට්ටුව ගැන කියවුණු මේ චිත්‍රපටය එවකට සිටි උත්කෘෂ්ට කලාකරුවන්, කලාකාරියන් රාශියක් එකට එකතු කරපු එකක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දකුණු පළාතේ ධීවරයන්ගේ ජීවිතය පදනම් කරගෙන තමයි මේ සිනමා පටය සිත්තම් වුණේ. සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවාරච්චි, දෙනවක හාමිනේ වගේ නළු නිළියන් රැසක් මේකේ රංගනයට දායක වුණා. මේ චිත්‍රපටය අධ්‍යෂණය කලේ සිරි ගුණසිංහ මහත්මයා.
5. තුංමංහංදිය
ලොකු මාමාගේ ජීවිතය සිය බෑණන්ඩියගේ දෑසින් කියා පෙන්වන තුංමංහංදිය පොත පාදක කරගෙන 1970දී බිහිවුණු තුංමංහංදිය චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයේ තවත් ස්වර්ණමය සළකුණක්. තුංමංහංදිය රචනා කරපු මහගම සේකරයන් විසින්ම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වුණෙත්. නවකතාවෙන් අපි කියවපු බොහොම කලාත්මක මනසක් ඇති, නිහඬ මිනිසෙක් වන ලොකු මාමා, එහෙමත් නැත්තම් අබිලිංගේ චරිතය ඒ විදියටම දකින්න අපට අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ට රංගනයෙන්.
6. වැලිකතර
ගාමිණී ෆොන්සේකාගේත්, ජෝ අබේවික්‍රමයන්ගේත් රංගන ප්‍රතිභාව හොඳින්ම ඉස්මතු කරපු චිත්‍රපට අතරින් එකක් වන වැලිකතර බිහිවුණේ 1971 අවුරුද්දේ. ඒ ඩී. බී. නිහාල්සිංහයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය විදියට. දේශීය සිනමා වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍ය විදියටත් මේක නම් කරන්න පුළුවන්. ඒකට හේතුව, ලංකාවේ මුල්ම සිනමාස්කෝප් චිත්‍රපටය වන්නේ වැලිකතර නිසා. මේ සිනමා පටයේ ප්‍රධාන චරිත දෙක වන ගෝරිං මුදලාලි, හා වික්‍රම රන්දෙණිය ඩී. බී. නිහාල්සිංහයන් තමන්ගේ පෞද්ගලික ජීවිතයේදී අහපු, දැකපු චරිත දෙකක්. මේ චරිත දෙක එක්කාසු කරලා මේ චිත්‍රපටයේ පිටපත ලිව්වේ තිස්ස අබේසේකරයන්.
7. නිධානය
නිධානයක් ගන්න දෙන බිල්ල විදියට තමන්ගේ බිරිඳව ඝාතනය කරන විලී අබේනායකගේ පාපොච්චාරණය දැක්වෙන නිධානය චිත්‍රපටය, 1972 වසරේ බිහිවුණු එකක්. මේක ජි.බී සේනානායකයන්ගේ නිධානය කෙටි කතාව ඇසුරින් තමයි නිර්මාණය වුණේ. මේ සිනමා පටයත් අධ්‍යක්ෂණය වුණේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අතින්. ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා දෙපළගේ රංගනයෙන් හැඩ වුණු නිධානය චිත්‍රපටයට එකතු වුණු ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය, මේ සිනමා පටය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක්.
8. බඹරු ඇවිත්
ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා……
හඳුනාගත්තොත් ඔබ මා
සුනිලා අබේසේකරයන්ගේ මේ හඬ ඇහෙද්දී අපට මැවිලා පේන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි, පරක් තෙරක් නොපෙනෙන මුහුද දිහා බලන් ඉන්න සොඳුරු මාලනී ෆොන්සේකාවන්ගේ මුහුණ.ප්‍රේමසිරි කේමදාසයන් යන උත්කෘෂ්ට සංගීතඥයා තනු නිර්මාණය කල මේ ගීතය, බඹරු ඇවිත් චිත්‍රපටය ජනප්‍රිය වෙන්න තවත් එක හේතුවක්.. ධීවර ගම්මානයකට නගරයෙන් එන පිරිසක් නිසා ඒ ගැමියන්ගේ ජීවන රටාවන්ගේ සිද්ධවෙන වෙනස තමයි මේ චිත්‍රපටයෙන් දැක්වුණේ. මාලනී ෆොන්සේකා පණ පොවන හෙලන්ගේ චරිතය ඉන් එකක් පමණයි. විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ වගේ රංගන ශිල්පීන්ගේ රඟපෑමත් මේ සිනමා පටන් අපට දැකගන්න ලැබුණා. 1978 අවුරුද්දේ නිකුත් වෙච්ච බඹරු ඇවිත් අධ්‍යක්ෂණය වුණේ ධර්මසේන පතිරාජයන් අතින්.
9. දඩයම
1984 වසර බිහිවුණු දඩයම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක්. වසන්ත ඔබේසේකරයන්ගේ අධ්‍යක්ෂණය යටතේ, ස්වර්ණා මල්ලවාරච්චි, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ වගේ නළු නිළියන් රැසකගේ රංගනයන් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුණා. සල්ලාලයෙකුට රැවටෙන ගැමි කාන්තාවක්ගේ ශෝකාන්තය තමයි මේ කතාවෙන් අපට දැකගන්න ලැබුණේ. ඒ කාන්තාවගේ චරිතය රඟ දක්වන ස්වර්ණා මල්ලවාරච්චිගේ අද්විතීය රංගන ප්‍රතිභාව, රසිකයන්ගේ හදවත සසල කරන්නට තරම් සමත් වුණා.
10. විරාගය
සිංහල නවකතා ඇසුරු කරන හැදුණු සිනමාපටවල ඉඳපු චරිත අතරින්, විරාගයේ අරවින්ද තරම් විවේචනයට ලක්වුණු තවත් චරිතයක් නැති තරම්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව පදනම් කරගෙන, මේ චිත්‍රපටය අධ්‍යෂණය කලේ තිස්ස අබේසේකරයන්. කතාවේ කතා නායකයා වන අරවින්දගේ ස්වයං ආත්ම කථනය තමයි මේ සිනමාපටයෙන් පෙන්වනු ලැබුවේ. ඒ චරිතයට ජීවය දුන්නු සනත් ගුණතිලකයන්ගේ රඟපෑම ගැනත් මෙහිදී වචනයක් නොකියම බැහැ. තමාගේ ජීවිතයේ අන්තිම කාලයේ සිතින් වගේම කයින් දුර්වල වන අරවින්දගේ චරිතය සාර්ථකව රඟ දක්වන්න, සනත් ගුණතිලකයන් සති කිහිපයක්ම කෑමෙන් තොර වෙලා ඉඳපු බව නොරහසක්. ඔහු ඒ තරම් කැපවීමක් ලබා දුන් මේ චිත්‍රපටය තිරගත වුණේ 1987 වසරේ.
69 වසරක ලංකා සිනමා පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තියෙන්නේ මේ ටික විතරක්මයි කියලා කියන්න බැහැ. මොකද ඒ තරම් විශිෂ්ට නිර්මාණ ගණනාවක්ම මේ ගොන්නට අයත් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි අපි ඒ අතරින් මේ දහය තෝරාගත්තේ. ඔයාලගේ මතකයට එන ඒ වගේ චිත්‍රපට පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද?