යුද්ධයෙන් පසු සමයේ කොළඹ දැවැන්ත විපර්යාසයක් වෙලා. එයට ප්‍රධාන හේතුව ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම. කුරුඳුවත්ත පොලිසිය ආසන්නයේ තාප්ප බිඳදැමීමෙන් ඇරඹුණු එය නිදහස් චතුරස්‍රය තිරිහන් කිරීම, පදික මාර්ග ඉදිකිරීම, බත්තරමුල්ලේ හා නුගේගොඩ උද්‍යාන විවෘත කිරීම ආදී ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට ගියා.
පසුගිය දිනෙක අපි බ්‍රිතාන්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමය අමතා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් රොහාන් සෙනෙවිරත්න කොළඹ නාගරික සැලැස්ම හා අදාළව පැවැත්වූ කතාවක් අසා සිටියා. අපට මතක ආකාරයෙන් ඒ ඇසුරින් තැබූ සටහනකුයි මේ.
මොනවද එකතු වෙන්න යන්නේ?
නගරශාලා චතුරස්‍රය (PDF): නගර ශාලාව හා විහාරමහාදේවි උද්‍යානය ආශ්‍රිතව කෙරෙන ඉදිකිරීම් දැන් ඔබට දැකගන්න පුළුවන්. ඒවා කෙරෙන වේගය අනුව මේ වසරේ අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුළුවන්.
මැරීන් ඩ්‍රයිව්හි සක්මන් මළුව: මැරීන් ඩ්‍රයිව් කියන්නේ වැඩිදෙනෙක් ඇලුම් කරන පාරක්. ඒත්, එය පදිකයන් සඳහා නොවෙයි. ඔවුන් වැල්ලවත්ත පැත්තේ සක්මන් මළුවක් ඉදිකරමින් සිටිනවා. අප යන්තමින් වගේ ඒ සැලසුමේ දුටු හැටියටනම් මුහුදින් කොටසකුත් ගොඩකරලායි එය කරන්නේ. හොඳ පැත්තකට හොඳ එකත් කිරීමක්.
ඩුප්ලිකේෂන් පාරේ පදික මාර්ග: මෙහිද අරමුණ ගාලු පාරේ වගේම පදිකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි කරවීම
බේර වැව උද්‍යානය: මධ්‍යම බේර වැව වටා ඇවිදීමේ හා විවේකගැනීමේ උද්‍යානයක් නිමැවෙමින් පවතිනවා. යුද සමයේදී බේර වැව මැරුණු මාළුන්ගෙන් පිරුණු ගඳගහන කුණු දිය වලක්. එය යන්තම් සුව කරගත්තා විතරයි. බේර වැවේ නැගෙනහිර හා බටහිර පෙදෙස් යා කරමින් ප්‍රදේශය නවීකරණය කරන්න සැලසුම් තිබෙනවා.
කොල්ලුපිටියේ හා බම්බලපිටියේ මාර්ගය උඩින් පදික පාලම්: සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන පරිදි චීනයේ තිබෙන එවැනි පදික පාලම්වලටත් වඩා හොඳ මට්ටමින් ආවරණ හා සෝපානත් සහිතව ඒවා ඉදිවේවි.
බත්තරමුල්ලේ ජලචර ගුවන් යානා තොටුපල හා රෙගාටා බෝට්ටු රේස් පිටිය: සෙනෙවිරත්න මහතා බත්තරමුල්ලේ තෙත්බිම් උද්‍යානයේ හෙවත් දියත උයනේ දර්ශනත් පෙන්නුවා. එහි ජලතලය ජලචර ගුවන් යානා ගොඩබැස්විය හැකි හා ජාත්‍යන්තර බෝට්ටු තරග පැවැත්විය හැකි ලෙස පුළුල් කරනබව සඳහන් වුණා.
කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයe (PDF): බත්තරමුල්ලේ තවත් තෙත්බිම් උද්‍යාන සංරක්ෂණය සඳහා යෝජිතයි. ගංවතුර පාලනය කිරීමත්, තෙත්බිම්වල වැදගත්කම මතු පරපුරට හඳුන්වා දීමත් එහි අරමුණු වෙනවා.
කෝට්ටේ කොටුපවුර සංරක්ෂණය: කෝට්ටේ රාජධානියේ නටබුන් සංරක්ෂණය කර තිබෙන්නේ ඉතාම නරක විධියට. අතීතයේ එහි නියම බලකොටුවක් පිහිටා තිබුණා. එය සංරක්ෂණය කරන්නට යන බව අසන්නට ලැබීම සතුටක්.
කොළඹ උතුරේ කාක දූපතේ ජලාභිමුඛ උද්‍යානය: උතුරු කොළඹ මට්ටක්කුලිය ආසන්නයේ පිහිටා තිබෙන සුන්දර වෙරළ තීරය ඉතා කණගාටුදායක ලෙස දූෂණය වෙලා. එය පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීම ගැන අපි හා විශේෂයෙන්ම ඒ අවට වැසියන් ස්තුතිවන්ත විය යුතුයි. මේ පිළිබඳ විස්තර Sunday Observer ලිපියකත් තිබෙනවා.
නොපෙනෙන, එහෙත් අතිශය වැදගත් සංවරධනයන් (?)
කාණු පද්ධති
කොළඹ අගනාගරික සංවරධන ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 223ක් අතරින් වැඩි ප්‍රමාණයක් වැයවෙන්නේ කාණු පද්ධතියට හා ගංවතුර වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට. කොළඹ ආදිකල්පික කාණු හා ඇල පද්ධතිය නිතර අවහිරවන හා ඇතැම්විට මිනිසුන්ට මරු කැඳවපු එකක් නිසා මෙය ඉතා හොඳ පියවරක්. තරුණ කාන්තාවක් දිය පාරකට අසු වී, කොළඹ හතේ කාණුවක ගිලී මිය ගියේ වැඩි ඈතක නොවෙයි.
වැඩිදියුණු කිරීම්වලට අඩංගු වෙනවා ජලය රැස්කිරීම සඳහා තවත් ඉඩම් ලබාගැනීමත්. එමගින් තෙත්බිම් සංරක්ෂණය වෙමින් ජලාශත් පුළුල් වෙනවා. ඔවුන් ඇලමාර්ගත්, ඒවාට යොමු වූ කාණු පද්ධතිත් පිරිසිදු කරනවා. උමං දිය මාර්ග හා පොම්පාගාරත් ඉදිවෙන්න නියමිතයි. කලකට ඉහතදී විනාඩි 30ක වැස්සෙනුත් කොළඹ යටවුණා. දැන් වුණත් පැය දෙක තුනක වැස්සකින් ඒ දේම වෙනවා. අනාගතයේදී වැස්ස නිසා ගෙවල්, වාහන විනාශ නොවෙයි කියා හා මහා මාර්ග තදබද ඇති නොවෙයි කියා බලාපොරොත්තු වන්න පුළුවන්.
පොදු නිවාස
කොළඹ උතුර හා බේර වැව ආශ්‍රිත ප්‍රදේශ ආදිය විශාල වශයෙන් අනවසර ජනාවාසවලින් පිරිලා. අනවසරකම කෙසේ වෙතත් ඒවා දශක ගණනාවක්ම මේ මිනිසුන්ගේ වාසස්ථාන. දැන් රජය ඔවුන් වෙනුවෙන් භූමිය අඩුවෙන් පාවිච්චි වන තට්ටු නිවාස හදන්නයි යන්නේ. එවිට දැන් මිනිසුන් පදිංචි ඉඩම් වැඩි ඵලදායිතාවකින්ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
පර්චස් එකක, දෙකක විශාල ජනකායක් ජීවත් වන කොම්පඤ්ඤවීදිය තවත් විශේෂ ප්‍රදේශයක්. ඒ ඉඩම්වලට ඔවුන්ට නීත්‍යානුකූල අයිතිය තිබෙනවා. දැන් ආණ්ඩුව ඔවුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා ඒ ඉඩම් මිළ දී ගන්න. ඔවුන්ට නව ව්‍යාපෘතිවල ඉඩ ලැබේවි. ඒ ඉඩම් වඩා ඵලදායී ආයෝජන සඳහා යොදාගත හැකි වේවි.
පොදු වැසිකිලි
ඉහළ තත්වයේ පොදු වැසිකිලි 14ක් ඉදිවෙන්න නියමිතයි.
නොලැබෙන දේ
පොදු ප්‍රවාහනය
පොදු ප්‍රවාහනය නම් එතරම් මූලික කාරණාවක් වී තිබෙන ආකාරයක් දකින්න නැහැ. සෙනෙවිරත්න මහතා කියන පරිදි අපට තවමත් උමං දුම්රිය සේවාවක් වැනි දෙයකට මුදල් නැහැ. එහෙත්, ඔහු පැවසුවා ඉදිරි වසර 10 තුළ කොළඹ නගරය ජාඇලට, කොට්ටාවට හා පානදුරට විහිදිය හැකි බව. ඒ වනවිට මිලියන 2.5ක 3ක අගනාගරික ප්‍රදේශයක් ඇති වේවි. ඒ සඳහා වඩා හොඳ පොදු ප්‍රවාහන සේවාවක් අවශ්‍ය වේවි.
දැනටනම් සංවර්ධන සැලසුම්වල මූලික අවධානය යොමු වී තිබෙන්නේ කොළඹ වඩා ඇවිදියහැකි තැනක් බවට පත් කරන්නයි.
සාරාංශය
මෙය හොඳ වැඩක්. අපි සුබපතනවා. සෙනෙවිරත්න මහතා කීවේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම වි තිබෙන්නේ මුලින් වඩා කැපීපෙනෙන දේවල් ටිකක් කිරීමයි. වඩා මැදිකාලීන හා දීර්ඝකාලීන සංවර්ධන සැලසුම්වලට මහජන සහයෝගය දිනාගත්හැක්කේ එවිටයි. ‘යමු’හි අපි කොළඹ සිදුවන මේ නවෝදය ගැන ඉතා උනන්දුවෙන් පසුවෙනා. අපි සියලු දෙනා මේ සිදුවන විපර්යාසය සාර්ථක එකක් වන්න දායක විය යුතුයි.