දහසක් වැඩ රාජකාරි මැද්දෙ බොන උදේ තේක උගුරෙන් පහළට ගියාද නැද්ද කියලවත් මතක නැති එකේ නරකද හවසට බොන තේකවත් පොඩ්ඩක් රස කරකර බිව්වොත්. නිකම් නෙවෙයි, යාළුවො කට්ටියත් එක්ක පොඩි කයියක් දදා, උණු කහට රසට නියමෙට කැපෙන කට ගැස්මක් එහෙමත් රස බල බල.
ආස හිතෙනව නේ… ඒකනෙ කියන්නේ…
එහෙනම් අහගන්නකො, ප්ලේන්ටියක් ගගහ රස බලන්න කියාපු කෑම අතරෙ උඩින්ම තියෙන කෑමක් තමයි ඔය සමෝසා කියන්නෙ. ගොඩක් වෙලාවට සමහර පෙට්ටි කඩවල්වල විකුණන්න තියෙන ගල් වඩේවලට වඩා දාහකින් සම්පතක්. ඉතින් අපි කල්පනා කළා හවස් ජාමෙට අමුවෙන්ම ප්ලේන්ටියක් ගහන්න සෙට් වෙන අපේ යාළුවන්ට සමෝසාවලින්ම පොඩි වෙනසක් දෙන්න.
හැබැයි ඉතින් එහෙමයි කියල අපි කියන කඩවලින් විතරක් සමෝසා රස බලල හරියන්නෙ නෑ හොඳද. ඔයාලත් අළුත් අළුත් කඩ හොයාගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒව අපිට කියන්නත් ඕන.
බලමුකො, අපි කියනවට වැඩිය රස සමෝසා තියෙන කඩ ඔයාලා හොයා ගනියිද කියල.
1. Klassy
කෝට්ටේ රාජධානියට අයත් පට්ටම රහට ෂෝටීට්ස් හදන කඩයක් තමයි ක්ලැසි කියන්නෙ. සමහරු නම් දන්නවත් ඇති බත්තරමුල්ල, පන්නිපිටිය පාරෙ මීටර 100ක් විතර ගියාම මුණ ගැහෙන මේ කඩේ. කොහොම වුණත් පට්ටම රසට හැදෙන ක්ලැසි එකේ ෂෝටීට්ස් අතරෙනුත් නැගලම යන ෂෝටීට්ස් ජාතියක් තමයි මෙයාලගෙ වෙජි සමෝසා. උණුඋණුවෙ කරස් ගාලා හැපෙද්දි සෝස්, අනං මනං ඕන වෙන්නෙත් නෑ. හැරත් උම්බලකඩ කෑල්ලක්, ගම්මිරිස් පොඩ්ඩක් එහෙම දාලා පංකාදු පහට තියෙනවනෙ. ගාණත් රු. 60ක් වගේ වෙන්නෙ.
2. Indian Chaat Corner
හහ්, නම කියද්දිම දන්නව නේ. ඔව්, පට්ට රසට, උණුඋණු සමෝසා කනව නම් වැල්ලවත්ත 32 ලේන් එකේ ඉන්දියන් චාර්ට් කෝනර් එක තමයි. මෙයාලගෙත් වෙජි සමෝසා එක නම් සුපිරි. ඒ හැරුණාම පන්ජාබි සමෝසා එකත් සෑහෙන්න නැගල යනව. තව සමෝසා ජාති දෙක තුනක් තිබුණට මම ඒවයෙ රස බලල නැති නිසා හරියටම කියන්න බෑ. හැබැයි කොහොම වුණත් මේ ඕන කෑල්ලක් රු. 50, 70 අතර වගේ තමයි වෙන්නෙ.
3. Arabian Knights
කාලා තියෙන නිසයි කියන්නෙ. එකක් රු. 75ක් වගේ වුණාට පංකාදු සමෝසා එක. කොල්ලුපිටිය, ගාලුපාරෙ, ඇරබියන් නයිට්ස් කට්ටිය නම් මේවට කියන්නෙ සාරූස් සාමෝසා කියල. ක්‍රිස්පි ගතියෙන් වගේම මැද පිරවුමේ රසෙනුත් අනූන නිසා කන්න කන්න ආසයි. උණු උණුවෙ මේසෙට එන ඇරබියන් නයිට් සමෝසාවල රස ඩබල් වෙන්නෙ ඒකටම කියල එන සෝස් එකෙන්. ආයෙ පාරක් කිව්වත් පාඩු නෑ කියල හිතෙන නිසයි කියන්නෙ, පොඩි සැර ගතියක්, නියම තුනපහ රසක්, හීනියට ලියපු මස් තොගයක් මිශ්‍ර වුණු මෙයාලගෙ මැද පිරවුම නම් පංකාදු පහයි ඈ.
4. Chana’s
පට්ට රසට ජාති 3කින් හැදෙනව. වැඩේ කියන්නෙ 3ම නැගල යනවනෙ. වැඩියෙන්ම රස පන්ජාබි සමෝසා එක. ඊළඟට බීෆ් සමෝසා එක. ඒත් ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ මෙයාලාගෙ චිකන් සමෝසා එක. වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ තියෙන චානාස් එකේ සමෝසාවල රහස තමයි තුනී පිටත දැවටුමයි, අතුරු සිදුරු නැතුව පිරවුණු රසම රස පිරවුමයි. සැර නම් සැරත් ගාණට. කුළුබඩු රසත් මදි නොකියන්න තියෙනව. ඒ නිසාම, උණුඋණුවෙ රස බලද්දි චානාස්, පන්ජාබි සමෝසා 7-8ක් වුණත් ගේමක් නැති වෙන්න ඉඩ තියෙනව. හැරත් ගාණත් රු. 50-70 අතරෙ නිසා ගේමක්ම නැති වෙන්න පුළුවන්.
5. Panaash
හැව්ලොක් ටවුණ් පැත්තෙන් සමෝසා කන්න තැනක් හොයනව නම් ඉතින් පනාශ් එක තමයි. ටිකක් වෙනස් තාලෙක කෑම තිබුනට මොකද මෙයාලගෙ සමෝසයි, පැණි වළලු, බූන්දියි පට්ට විදියට නැගල යනව. කලින් කියපු කඩවල්වල සමෝසා තරම්ම රස නොවුණත් ප්ලේන්ටියක් ගහන්න, පොඩි බඩගින්නට කන්න නම් මරේ මරු. ගාණ රු. 50යි නිසා පොකට් එකටත් අවුලක් නෑනෙ.
6. Saraswathi Lodge
වෙජිටේරියන් කෑමවලට වගේම ෂෝටීට්ස්වලටත් සරස්වතී ලොජ් එක සෑහෙන්න ප්‍රසිද්ධයි. අන්න ඒ ප්‍රසිද්ධ ෂෝටීට්ස් අතරෙ උඩින්ම තියෙන එකක් තමයි මෙයාලගෙ වෙජි සමෝසා එක. එවෙලෙ බදින නිසා තෙල් ගතිය පොඩ්ඩක් වැඩියි තමයි. ඒත් ඉතින් උණුඋණුවෙ රස බලද්දි ඒව ඔලුවට එන්නෙ නෑනෙ. පොඩියට කපපු එළවළු මිශ්‍රණයෙ, නියම ගාණට එන ළා ගම්මිරිස් සැරකුත් තියෙනව. හැබැයි කුළුබඩු රස නම් ටිකක් විතර මදි වගේ. කොහොම වුණත් රු. 40ට 50ට නම් පාඩු නෑ.
7. Sri Vihar
තුම්මුල්ලෙ ශ්‍රී විහාර් කිව්වාම වෙජි වැඩවලට සෑහෙන්න ප්‍රසිද්ධයිනෙ. ඒ ප්‍රසිද්ධ වැඩ අතරෙ නම ගියපු වැඩක් තමයි ශ්‍රී විහාර් එකේ සමෝසා. සැර ගතිය මදි වුණාට මොකද මසාලා රස, කුළුබඩු රස හොඳ පදමට මිශ්‍ර වුණු කන්න ආස හිතෙන සුවඳක් එහෙමත් එන නියම සමෝසා එකක් තමයි මෙයාල ළඟ තියෙන්නෙ. ගාණත් රු. 40ක් වගේනෙ වෙන්නෙ. ඉතින් උණුඋණුවෙ මේසෙට ආවාම ශ්‍රී විහාර් මසාලා කිරි තේකක් එක්ක හත අටක් වුණත් කාගෙන කාගෙන යන්න පුළුවන්.
එහෙනම් ඉතින් ඔන්න අන්තිමටත් සුපිරි සමෝසා කඩයක්ම කිව්වා. දැන් බලමුකො කට්ටියත් එක්ක දාපු ඔට්ටුව, ‘මීට වැඩිය හොඳ සමෝසා කඩ තවත් තිබේද? නැද්ද?’