“පායනවා කිව්වොත් තක්කෙට ම නා කපන සයිස් එකට වැස්සක් වැටෙනවා. වහිනවා කිව්වොත් පොළොව පැළෙන ගාණට පායනවා”; සාමාන්‍යයෙන් ලංකාවේ කාලගුණ අනාවැකි ඔය වගේනේ.
දැන් වගේ ඔහොමවත් කාලගුණ අනාවැකි කියන්න දෙපාර්තමේන්තුවක් අපේ මුතුන්මිත්තන් ට තිබුණේ නැහැ. එදිනෙදා එයාලාට මීටර් වෙන දේශගුණයේ වෙනස්කම් අනූව තමයි එයාලා පහුවෙනිදට එන අව්ව, වැස්ස ගැන කතා කළේ. ගොඩක් වෙලාවට මේකට එයාලා උපයෝගී කරගත්තේ සුළඟේ ස්වභාවය.
සුළඟේ හැටියට අපේ මුතුන්මිත්තෝ කාලගුණය ගැන අනාවැකි කිව්වේ මෙහෙමයි.
1. වැලි හුළඟ
Image Source : ipsnews.net
වැලි කැට, දිරාපත් වෙච්ච කොළ එහෙම එකට එකතුවෙලා සුළියක් වගේ උඩට ගහගෙන යන හුළඟට අපි අද කියන්නේ ටොනේඩෝ කියලා වුණත්, අපේ පරණ ගැමියන් ඕකට කිව්වේ “වැලි හුළඟ” කියලා. මේක ටොනේඩෝ තරම් බලවත් හෝ බරපතල නැහැ. හැබැයි ඉඩෝර කාලෙක මේ වගේ හුළඟක් දැක්කොත්, ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. මේක මේ වියළි දේශගුණය තව දුරටත් අල්ලා හිටින බව පෙන්වන ලකුණක්.
2. කොළ හුළඟ
කොළ, රතු පාටවලට හැරුණු ගස්වලින් හැලෙන “ඔටම්” කියලා සෘතුවක් ලෝකේ ගොඩක් රටවල්වලට බලපානවා. ලංකාවට මේ වගේ සෘතුවක් නැති බව හැබෑව. ඒත් ගස්වල ඉදුණු කොළ ගලවාගෙන හමන වියළි සුළඟ ඉඳලා හිටලා අපට දැකගන්න ලැබෙනවා. අපේ මුතුන්මිත්තන් මේක හැඳින්වූයේ “කොළ හුළඟ” විදියට. මේකත් ඉඩෝර කාලය ඇරඹෙන්න කිට්ටු බව පෙන්වන්නක් විදියටයි ඔවුන් සැලකුවේ.
3. හූ කියන හුළඟ
Image Source : absolutesrilankansafari.com
මේ සුළඟට ඒ නම ලැබිලා තියෙන්නේ “හූ” සද්දෙන් හමන නිසයි. ගොඩක් වෙලාවට මේක ඇතිවෙන්නේ වියළි දේශගුණයක් තියෙද්දී. ගස් රහිත වැව්, කමත්, කුඹුරු ආශ්රිත පරිසරයේදී මේ හුළඟේ හඬ හුඟක් හොඳින් අහන්න ලැබෙනවා. මේක එක දිගට නොකඩවා හමන සුළඟක් නෙවෙයි. හමන්නේ කඩින්කඩ වගේ. පැරැන්නන් ට අනූව මේකත් ඉඩෝරය තවත් කල් තියෙන බව පෙන්නපු සාධකයක්.
4. ගහගෙන යන හුළඟ
පොළොව මට්ටමේ දී හරි ම වේගෙන් හමන මේ සුළං වර්ගය බිම තියෙන වැලි කැට, දිරාපත් වෙච්ච කොළරොඩු සේරම ගහගෙන යන්න සමත් එකක්. ඒ වේගය නිසා ම මේක “ගහගෙන යන හුළඟ” විදියට අපේ මුතුන්මිත්තන් හැඳින්වූවා. මේ හුළඟ හමන්නේ එක ම දිසාවකට. ගහගෙන යන සුළං රැළිවලින් කියවුණේත් වියළි දේශගුණය තවත් කල් තියෙන බවයි.
5. පොළොව පැළෙන හුළඟ
Image Source : sundaytimes.lk
තදට ම පායන කාලෙට හමන වියළි හුළඟ, සමහර වෙලාවට පොළොව ඉරි තලන්න තරම් සමත් වුණා. “වලං පැළෙන සුළඟ”, “පොළොව පැළෙන සුළඟ” වගේ නම් අපේ පැරැන්නෝ මේ හුළඟට දුන්නේ ඒ නිසයි. මේකත් ඉඩෝරය ඉදිරියට පැවතෙන බව පෙන්වපු සලකුණක්.
6. හීල් හුළඟ
Image Credits : Buddika Muhandiram
ලොකු ඉඩෝර සමයකට පස්සේ හමන හීල් සුළඟ, පැරණි ගැමියාගේ හිතට සතුටක් ගෙන දුන්නා. මොකද එක වැස්ස කාලය අත ළඟ බව නිරූපණය කරන්නක්. ඇල් හුළඟ විදියටත් මේක හැඳින්වුණා. හීල් හුළඟ ඇඟේ දැවටෙද්දී දැනුණේ හරි ම සිසිල් ගතියක්. මොකද මේක වැස්ස වහින පැතිවල ජල අංශුත් අරගෙන එමින් හමන සුළඟක්. හීල් හුළඟ හමන දිසාව අනූව, වහින්නේ මොන පැත්තට ද කියලා අනාවැකි කියන්නත් ගැමියෝ සමත් වුණා. “හීල් සුළඟට වැස්ස සැර සාරයි” යන කියමනත් පැරැන්නෝ අතරේ තිබුණේ මේ නිසාමයි.
Image Source : lankapura.com
ඉස්සර මිනිස්සු පරිසරයට සැලකුවේ තමන්ගේ ම නෑදෑයෙක් ට වගේ. ඒ තරම් සමීප සම්බන්ධතාවයක් ඔවුන්ට ස්වභාව ධර්මයත් එක්ක තිබුණා. හමන සුළඟේ හැටියට කාලගුණ අනාවැකි කියන්න තරම් එයාලට හුරුවක් ලැබුණෙත් මේ හිතවත්කම නිසයි.