හැමදාම උදේට ට්‍රැෆික් අස්සේ කොළඹට ගාටනකොට කොළඹේ ලස්සන නෙමෙයි, වෙන ඒවා මතක් වෙන්නෙ. ඒ වුණාට ගමන් මහන්සියි ඔෆිස් එකේ කරච්චලෙයි, පාරේ වාහනවල කන්දොස්කිරියාවයි නැති වෙලාවක පොඩ්ඩක් හිතල බැලුවොත් කොළොම්පුරේ ලස්සන තැන් නැතිව නෙමෙයි. අනික ඔය කියපු කරදර නැති වෙලාවක තමයි ලස්සන හොඳට බලාගන්නත් පුළුවන්. අපිටත් ඕක කල්පනාවෙච්ච හින්ද තමයි රෑ දවල් දෙකේ කොලොම්තොටේ තැන් කීපයක් බලාගන්න ගියේ. ඔය පින්තුරේ මැද්දෙ තියෙන ඉර එහාට මෙහාට කරලා බලන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේකේ මුල් අදහස සහ ඉංග්‍රීසි රචනය අයිෂාගේ, සුපිරිම සුපිරි පින්තුර ටික අපේ කවිඳු ගේ දක්ෂකමින්.
දෙවන හරස් වීදිය – පිටකොටුව
පුරුදූ නැති මනුස්සයෙක් පිටකොටුවේ එනවා කියන්නේ කරකෝලා කුණාටුවක් මැද්දට වැටුණා වගේ. කොටුවේ පටු පාරවල අස්සේ හොඳට හෝ නරකට තමන්ට අවශ්‍ය ඕන දෙයක් වගේ හොයාගන්න පුළුවන්. යන තැන දැනගන්න විතරයි ඕනේ. සෙනගට බය වෙන්නැතුව යන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ දවල් වරුවට.
ඇඳිරි වැටුණට පස්සෙ මේ හරස් වීදි ටික වෙනම පෙනුමක් ගන්නවා. අර පංචෙන්ද්‍රිය ම ඕවර්ලෝඩ් වෙන තරං සද්ද බද්ද තිබුණ පාරවල් ටික හොල්මන් කතාවකට හරියන විදියට පාළු වෙලා යන්නෙ හිතාගන්නත් බැරි විදියට. රෑට පාරවල අතුගාන මනුස්සයෙක් දෙන්නෙක් ඇරෙන්න බලුබල්ලෙක් හිටියේ නැහැ. අන්ධකාරෙ කැපෙන්න තැනින්තැන කහ සෝඩියම් ලාම්පු එලිය වැටුණේ නැත්තං, මේ හරිය ජිවමාන නගරයක කොටසක් කියල කියන්න බැහැ.
නිදහස් චතුරශ්‍රය
නිදහස් චතුරශ්‍රය පහුගිය කාලේ සැහෙන්න වෙනස් වීම්වලට ලක්වුණා. අවරුදු ගාණක් තිස්සේ මෙතන මතක් වුණේ පෙබරවාරි මාසේ ටීවී එකේ දැක්කම විතරයි. පට්ට කැලෑ වැදිලා තිබුණේ. විහාරමහාදේවි එකට වැඩිය ගස්කොළ තිබුනද මන්ද. ඊට පස්සෙ ඉතින් සුද්ධ කරලා, අස් කරලා අරගෙන දැන් මාර ලස්සන වෙලා කොළඹ හතේ ජිම් එක වෙලා. දවල් වරුවේ කරවෙන අව්වේ ටිකක් නිස්කලංකව තියෙනවා. කවුරුත් නැති ගානයි. ඔය ගහක හෙවනේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හවස් වෙන්න වෙන්න තමයි සෙනග එන්නෙ. ඔය ඇවිදින පාර, ජෝගින් කරන්න තියෙන පාර දිගේ එහෙම අඩියෙන් අඩියට මිනිස්සු. මෙච්චර ශරීර සෞඛ්‍යය ගැන හිතන මිනිස්සු ගොඩක් කොහෙද හිටියේ.
වාසනාවට හෝ අවාසනාවට අපි ගියේ පොඩ්ඩක් වැහිබර දවසක. ඉතින් මොකෙක් වත් හිටියේ නැහැ පින්තුරේට බාදා කරන්න.
කොටුවේ රතු පල්ලිය
කොටුවේ අළුපාට කොන්ක්‍රීට් වනන්තරේ අස්සේ, ඇහැට දකින්න වෙනසකට වත් තියෙන්නෙ මේ රතු පල්ලිය විතරයි. 1909 ඉදිකරපු දවසේ ඉඳන් මේක කොළඹ නගරේ සංකේතයක්. රතු පාටයි, වහලේ හැඩයයි දෙළුම් ගෙඩියක හැඩේට සහ පාටට අනුකූල වෙන්නයි හදල තියෙන්නෙ.
කොම්පඤ්ඤ වීදිය
මේ පැත්තෙ එන කොටත් ළඟදී නැසීගිය කාසල් හෝටලේ මතක් වෙලා දුකයි. දැන් ඉතින් මෙහෙ ලස්සන කොච්චි ස්ටේසමක් තියෙනවා. නැත්තං ඔය බර්ගර්ස් කිං වගේ තැනක් නැත්තං මැලේ කෑම තියෙන පොඩි පොඩි කඩවලින් කන්න එන්න පුළුවන්. ක්‍රිස්ටියන් ග්වේමි කියන ප්‍රංශ චිත්‍ර ශිල්පියාත් මේ පැත්තෙ බිත්තිවල ලස්සන රූප ටිකක් ඇඳලා ගියා. මේ හරියේ පරණ ගොඩනැගිලි ටිකට පේන්ට් පාරක් දෙනවට වැඩිය ලොකුවට සංරක්ෂණය කලානං තමයි වටින්නේ.
ගාලු මුවදොර වටරවුම
මේ පින්තුරේ ගත්තේ කිංස්බරි හෝටලේ ඉඳල. ඒකෙ උඩ ස්කයි ලෞන්ජ් එකෙන්. එතන ඉඳල ගාලු මුවදොර ඉඳල හදාගෙන යන පොර්ට් සිටි එක වෙනකං බලාගන්න පුළුවන්. පහුගිය අවුරුදු දෙක තුනේ පොඩ්ඩක් මේ වටරවුම වෙනස් වුණාට, නියම වෙනස බලාගන්න පුළුවන් අවරුදු ගාණකට කලින් තිබිච්ච හැටි දැක්කම.
ගාලු මුවදොර පිටිය
දවාලට මේ පැත්තෙ ආවොත් කුඩ පෝලිමක් තමයි බලාගන්න වෙන්නෙ. ඒ ඇරෙන්න කවුරුත් නැහැ. හැබැයි අව්ව බැහැල ගියාට පස්සෙ තමයි ගෝල් ෆේස් පිටියට පණ එන්නෙ. ඕන දවසක ඉර බැස්සට පස්සෙ ආවොත් නානාස් වගේ කෑම කඩ පෝලිමයි, කඩල, වඩේ කරත්ත, සෙල්ලම් බඩු, සරුංගල් විකුණන මිනිස්සුයි, මේ ඔක්කොම කාල, බීල, සෙල්ලම් කරලා ජොලියක් අරං යන්න එන මහ ජනතාව ගෙන් මෙතන අතුරුසිදුරු නැති ගානට පිරෙනවා.
දවාලට ඉස්සරහ තියෙන ඉන්දියන් සාගරේ පේනවා වගේම, රෑට වටේ තියෙන කොළඹ නගරයේ ලස්සන පේනවා. පුරාණ ගාලු මුවදොර හෝටලේ ඉඳල, අලුතින් ගාලු මුවදොර වටේ ඉදිවුණ නවීන ගොඩනැගිලි පහුකරගෙන, එහා පැත්තෙ ඉදිවෙන පොර්ට් සිටියේ මැෂින්වල එළි බලාගන්න පුළුවන්. අපිට ඉතින් වැහි දවසක හින්ද, දුර්ලභ අවස්ථාවක් ලැබුණා රෑටත් හිස් ගාලු මුවදොර පිටියක් බලාගන්න.
බේරේ වැව
වැව වටේ අරක් ගෙන ඉන්න කාක්කෝ ටික නැත්තං මේ පැත්ත පොඩ්ඩක් ඇවිදින්න අවුලක්ම නැහැ. වැව මැද්දෙ දුපතෙයි, වටේ එහෙං මෙහෙන් පේන කුඩ ටිකෙන් ඒක පේනවා. අනික කොළඹ අලුතෙන් හැදෙන ගොඩනැගිලි හින්ද වෙනස් වෙන හැටි බලාගන්න මේක සිරා තැනක්. ලස්සන ගංගාරාම සීමා මාලකේත් තියෙන්නෙ මෙතන. අපේ සීමා මාලකේ දවල් පින්තුරේ අවුල් ගියා, නැත්තං එකේ පට්ට දිවා/රෑ වෙනසක් පේනවා. දුකයි.
ජනාධිපති මාවත
ටිකක් දැනුම් තේරුම් තියෙන මනුස්සයෙක් නං මේක දැක්කම පටස් ගාල මතක් වෙන්නෙ මහ බැංකු බෝම්බෙ. දැන් නං ඒ කාලේ හුඟක් දුරස් වෙලා. තැන වෙනස් වෙලා. අපිට යන්න එන්නත් පුළුවන්. මේ අවට ලංකාවෙ අන්තිම රජතුමා හිටපු සිරකුටිය, ඩච් හොස්පිටල් සංකීර්ණය, ලෝක වෙළද මධ්‍යස්ථානය, ආර්ථික කෞතුකාගාරය එහෙම තියෙනවා.
කොටුවේ කාගිල්ස් ගොඩනැඟිල්ල
හැම තැනම දකින්න තියෙන ඒකාකාරී කාගිල්ස් සුපර්මාර්කට්වලට වැඩිය සැබෑ වෙනසක් පේනවා මේ 1906 හදපු ගොඩනැඟිල්ලේ. මුලින්ම ඕලන්ද හමුදා නිලධාරියෙකුගේ නිවසක් වෙලා තිබුණ මේ ගොඩනැඟිල්ල කාගිල්ස් එකෙන් ගත්තට පස්සෙ සුවෙස් ඇළෙන් නැගෙනහිර තියෙන හොඳම වෙළඳසල කියල කිව්වා.
නිදහස් චතුරශ්‍රයේ ආර්කේඩ් සංකීර්ණය
පිස්සෙක් වගේ මෙතැන ෂොපින් කරන්න යනකොට මතක් වුණානං හොඳයි මේක ඉස්සර පිස්සන් කොටුවක් කියල. ඊට පස්සෙ ඒක වෙනත් ජාතියේ පිස්සන් කොටු හැටියටත් පාවිච්චි වුණා; ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලය, ආණ්ඩුවේ කන්තෝරු, බස්නාහිර පළාත් සභා කාර්යාල වගේ.
දැනට අපේ දිවා-රෑ කොළොම්තොට ඡායාරූප සටහනට මෙච්චරයි. පට්ට ෆන් එකක් ගත්තා. පොඩ්ඩක් අවුල් නැතුවත් නෙමෙයි. ලෙන්ස් එකක් වැස්සෙන් බේරගන්න දෙන්න වෙච්ච ගේම තමයි ගේම. අවුලක් නෑ. වැඩේ සිරාවට කරලා දීපු කවිඳුට පිං.
තව මේ වගේ ඡායාරූප සටහනක් බලන්න ආසයි නං අපේ "Colombo: Then & Now" සටහන බලන්න.