අපි සුද්දන්ගෙන් නිදහස් වෙලා (සුද්දෝ අපෙන් නිදහස් වෙලා කියලත් සමහරු කියනවා) අවුරුදු 69කුත් වුණානේ. ඉතිං මේක තමයි ටිවී, රේඩියෝ, පත්තර පිටු වැහෙන්න අපේ රට, අපේ කම ගැන ආඩම්බරෙන් කතාකරන කාලේ. මෙහෙමයි, තමන් ගැන, තමන් කරපු දේවල් ගැන පොඩි අභිමානයක් තියෙන එක අවුලක් නෑ. ඒත් තමන් අධිතක්සේරුවෙන්, නැති දේවල් ගැන බොරු ආඩම්බරයක් ඔළුවෙ තියාගෙන ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. ඉතිං අපි කල්පනා කළා ගොඩක් දෙනෙක් පුරුද්දට වගේ ආඩම්බර වෙන දේවල් දිහා ආපහු පොඩ්ඩක් හැරිලා බලන්න. ඔය මදෑ තේරුමක් නැතුව ආඩම්බර වෙවී හිටියා, දැන් ඉතිං 69කුත් වුණානේ.
ඉතිං රට ජාතියට මොනව හරි කියද්දි ඇඟේ මාළු ගඟේ නටන අය එහෙම ඉන්නව නම් මේ නිදහස් දවසේ උදේ පාන්දර ලේ කෝප කරගන්න එක තේරුමක් නෑනේ. එයාලට පුළුවන් ඔය බ්‍රව්සර් ටැබ් එකේ තියෙන පොඩි කතිරයක් වගේ එක ඔබලා මේක වහල දාන්න.
අර අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය හොයාගත්ත වගේ එක පාරටම අපි මේ වගේ ඒවා දාන්නේ වීව්/ ලයික් වැඩකරගන්න කියල හොයගත්ත අයියලට කියන්න තියෙන්නෙ ඕක ගැන ඔච්චර උඩ පනින්න දෙයක් නෑ, අපි මේක නෙවෙයි කෝකත් දාන්නෙ වීව්/ ලයික් බලාගෙන තමයි. ඒ නිසා ආයෙ අමුතුවෙන් කොමෙන්ට් කරල ඕක කියන්න මහන්සි වෙන්න එපා (මොනව හරි කියන්න ම ඕනනම් ඉතිං ‘මුං ගුරුත්වාකර්ෂණේ හොයගත්ත එකාවත් හරියට දන්නෙ නෑ’ වගේ කියල කොමෙන්ට් කරන්න පුළුවන්නෙ 😉 ).
භාෂාව
සිංහල භාෂාවට කොච්චර ලොකු ඉතිහාසයක් තියෙනවද, මේක කොච්චර ලස්සන, සුඛනම්‍ය භාෂාවක්ද වගේ දේවල් ගැන පන යනකල් දේවල් අපට පොඩි කාලෙ ඉඳන් උගන්වන නිසා අපි ඒ ගැන ආයෙ කියන්න යන්නෙ නෑ. හැබැයි භාෂාවකින් කෙරෙන වැදගත්ම දේ සන්නිවේදනයනේ. ඉතිං අපේ මව්භාෂාවෙන් කතාකරන ලියන කියන එකේ කිසි අවුලක් නෑ. දැන් ඉතිං ඔයා මේක කියවන්නෙත් සිංහලෙන් නේ. හැබැයි ඔයා කියවන්නේ සිංහලෙන් විතරක් නම් ඒක ටිකක් නෙවෙයි සෑහෙන්න අවුල්.
ලෝකේ ඉන්න කෝටි 700ක් විතර ජනගහණයෙන් සිංහල කතාකරන්නෙ කෝටි 2කටත් අඩු ගාණක්නේ. ඉතිං ඔයා කියවන්නෙ සිංහලෙන් විතරක් නම් මේ දූපත ඇතුලෙ ඉන්න අපි ටිකදෙනාගේ ඔළුගොඩිවල හැදෙන දැනුම සහ අදහස් විතරයි ඔයාට දැනගන්න ලැබෙන්නෙ. නැත්නම් කවුරු හරි පරිවර්තනය කරනකල් බලන් ඉන්න වෙනවා. හැබැයි ඔයා ඉංග්‍රීසියෙන් (සුද්දොත් එක්ක ඔච්චරට ම තරහ නම් ඉංග්‍රීසි නැතුව ප්‍රංශ, ස්පාඤ්ඤ වගේ භාෂාවකින් හරි) කියවනවා කියන්නෙ මුළු ලෝකෙම තියෙන දැනුම ඇක්සස් කරන්න ඔයාට පුළුවන් කියන එකයි.
දැන් ඉතිං අහන්න එපා අපේ අම්මලා තාත්තලා ඉංග්‍රීසි පුළුවන් වෙලාද ඔච්චර හරියක් කළේ කියල. මේක අම්මලගෙ කාලේ නෙවෙයිනේ. ඉන්ටර්නෙට් එක ආවට පස්සෙ දැනුම ලබාගන්න තිබුණු ගොඩක් බාධා නැතිවෙලා, ඒ කාලේ තිබුණු ලොකුම විශ්වකෝෂය වුණු බ්‍රිටැනිකා එකට වඩා සෑහෙන ලොකු විකිපීඩියා එක හැමෝටම නොමිලේ පාවිචි කරන්න පුළුවන්.
මීට පරම්පරා කීපයකට කලින් අපේ සීයල ආච්චිලගේ කාලේ තමන්ගේ මව් භාෂාවවත් ලියන්න කියවන්න බෑ කියල එච්චර ප්‍රශ්නයක් වුණේ නැ. මොකද ඒ කාලේ අය ජීවත්වෙන්න පුරුදුවෙලා හිටිය විදියට ලියන කියවන එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි ඉන්ටර්නෙට් එක ආවට පස්සෙ සීමාවක් නැතුව දැනුම, අදහස් ගලාගෙන යන මේ කාලේ ඒ පාර්ටි එකට සෙට් වෙන්න බෑ කියන්නෙ ඒක ලොකු අවුලක්.
ඒ නිසා මව් භාෂාව ගැන ආඩම්බර වුණාට කමක් නෑ. ඉංග්‍රීසි වගේ තව ජාත්‍යන්තර භාෂාවකින් කියවන්න (ඔව් ඔව්. වීඩියෝ බලන එකත් මේකට අදාළයි) පුරුදුවෙන්න බලන්න.
ආගම
මෙහෙමයි. කොච්චර පොර ටෝක් දිදී හිටියත් අපි ගොඩක් දෙනෙකුට මොකක් හරි කරදරයක් වුණාද දෙයියෝ බුදුන් සිහිවෙනවානේ. ඒ නැතත් බෝ ගහක් ළග දි දැනෙන සිසිල, ඇස් පියාගෙන ගිතිකාවක් අහද්දි එන හැඟීම වගේ දේවල් ගොඩක් අයට උදව් වෙනවා එයාලගේ හිතේ ස්පිරිචුවල් පැත්ත අවදිකරගන්න.
එහෙම තමයි, අපේ මොළේ හැදිලා තියෙන විදියට, කොච්චර දේවල් දැනන් හිටියත් අපි ජීවිතේ ගන්න ගොඩක් තීරණ තර්තානුකූල නෑනේ. ඉතිං මේ ලෝකේ අපි විශ්වාස කරපු හැමදේම කඩාගෙන වැටෙනව වගේ දැනෙන වෙලාවට විශ්වාස කරන්න පුළුවන් දෙයක් මේ ලෝකෙන් එහාපැත්තෙ හරි තියෙන එකත් එක අතකට හොඳයි. ඒ දේ ඇත්ත වෙන්න ඕනමත් නෑ.
මේ මොනම හේතුවක් උඩ හරි කෙනෙක් තමන් කැමති ආගමක් අදහන එක ගැන අපට මුකුත් කියන්න බෑ. ඒත් ඉතිං අර කවුද කීව වගේ ලෝකේ ආගම් 4000ක් විතර තියෙනවනේ. ඉතිං කොයි ආගමේ ද ඇත්තම ඇත්ත කියල තියෙන්නෙ වගේ ප්‍රශ්න ඔයාටත් තියෙනවනම්, ඔයාගේ ආගමේ කියන දේ ඇත්ත වීමේ සම්භවය 4000න් එකයි (නැත්නම් මේ 4000න් එකක්වත් ඇත්ත නොවෙන්නත් පුළුවන්නේ). ඉතිං අධ්‍යාත්මික හරි වෙන මොකක් හරි හේතුවකට තමන් කැමති ආගමක් අදහගත්තට කමක් නෑ. ඒත් ඉතිං තමන්ගේ ආගම අනිත් අයගේ ආගම් එක්ක සංසන්දනය කරකර මරාගන්න යන එක නම් ටිකක් මෝඩ වැඩක්. දැන් ඔය ආගම් වැඩි හරියක් ග්‍රන්ථාරූඨ වෙලා (සහ දැන්නම් “ඉන්ටර්නෙට්-ආරූඨ” වෙලත් තියෙන නිසා) තියෙන නිසා තව අවුරුදු ගාණක් ගියත් ඕව නැතිවෙන්නෙ නෑ. අවශ්‍ය කෙනෙකුට හොයල කියවල ඉගෙනගන්න පුළුවන්නෙ. ඒ නිසා දැන් ඕක රැකගන්න කියල අර “ආලෝකෝ උදපාදි” එකේ පෙන්වන වලගම්බා රජ්ජුරුවන්ගෙ කාලේ වගේ මැරෙන්න ඕන නෑ.
අර කතාවකුත් තියෙන්නෙ ආගමත් එක අතකට ලැබුවම හරියට පුරුෂලිංගයක් වගේ කියල. ඔයාට එහෙම එකක් තියෙන එක හොඳයි. ඔයා ඔයාගේ එක ගැන ආඩම්බර වෙන එකත් කිසි අවුලක් නෑ. ඒ වුණාට ඉතිං ඕක ප්‍රසිද්ධියේ එළියට ඇදගෙන අනිත් මිනිස්සුන්ට පෙන්වන්නයි, ඔයාගෙ එක ලොකුයි, අනිත් අයගෙ එක පොඩියි වගේ කියකිය උඩපනින්නයි ඕන නෑනේ. අනිත් එක බලහත්කාරෙන් ඔයාගේ එක අනිත් අයගේ ඇඟේ ගහන්න යන එක නම් අන්තිම චාටර්.
රට
රට වෙනුවෙන් ජීවිතේ දුන්නු මිනිස්සු ගැනත් අපට පොඩි කාලෙ ඉදන් සෑහෙන්න උගන්වනවනේ. හැබැයි තව පැත්තකින් කල්පනා කරල බලද්දි මිනිස්සු ඉන්නෙ රට වෙනුවෙන්ද, නැත්නම් ‘රට’ තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන්ද කියලත් පොඩ්ඩක් කල්බනා කරන්න වෙනවා.
ඉස්කෝලෙ සිතියම් පොතේ ඉරිගහල පාටකරල තිබුණට අභ්‍යවකාශෙ ඉඳන් බලද්දි මේ රටවල්-දේශසීමා මුකුත් පෙන්නේ නෑනේ. රටක් කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. හැබැයි ඉතිං අපි මේ ඔළුවෙන් හදාගත්ත දේශපාලන ඒකකය අපේ ජීවිතවල ගොඩක් දේවල් තීරණය කරනවා. අතීතයේ ඉඳපු රජවරු කෙරුවයි කියන දේවල් නෙවෙයි, දැන් ඔයා ජිවත්වෙන (නැත්නම් ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන) රට ගැන ඔයා ආඩබරයිද?
දැන් ඉතිං මෙහෙම කීව කියල බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න හදන්න එපා. කලින් කීව වගේ මේ ‘රට’ කියන එක අපි හදාගත්ත එකක් නිසා මේක අවුල් නම් ඒක වෙනස් කරන්න පුළුවනුත් අපටම තමයි. ඔයාගේ ජීවිතේ තියෙන්නේ මේ රටෙන් එළියෙ කියල හිතනව නම් ඉතිං ඒක හොයාගෙන යන එක කිසි අවුලක් නෑ. හැබැයි ඉතිං ඇමරිකාවේ ඉඳන් ස්වාසිලන්තය දක්වා ඕන රටකින් එන අයව අපි උඩපැනල පිළිගත්තට ලංකාවෙ අපිව එහෙම ලේසියෙන් රටකට වද්දගන්නෙ නෑනේ. ඉතිං කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ඔයා, මම වගේ අපි ගොඩක්දෙනකුට ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙන මේ රටේ අවුල් තියෙනව නම් ඒව හදාගන්න උත්සාහ කරන එක අපේ වැඩක්. එතකොට ඊළග අවුරුද්දෙ පෙබරවාරි 4 වෙද්දිවත් අපට මීට වඩා ටිකක් නිදහසේ (ඹ්න නම් මීට වඩා ටිකක් ආඩම්බරෙන්) ජීවත්වෙන් පුළුවන් වෙයි.
කොහෙමත් අන්තිමේ දි නිදහස කියන්නෙ අපේ ඔළුවෙ තියෙන දෙයක් නේ. ඉතිං අර රවින්ද්‍රනාත් තාගෝර් කියනව වගේ ගතානුගතික පටු අදහස්වලින් ඔළුව වකූර් කරගන්නෙ නැතුව නිදහසේ හිතන්න පුළුවන් වුණු දවසට ඔයාටත් තේරේවි, නිදහස කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද කියල.