“No ETCA”
“Stand Against ETCA”
සමහර කට්ටිය කියන විදියට ලංකාව කියන්නේ ෆේස්බුක් එකෙන් ආණ්ඩුව පෙරළපු රටක්නේ. ඒ නිසාම දෝ කොහේදෝ කොයිකටත් තෛලය වගේ හැමදෙට ම විරෝධය පාන්න අපේ අය ෆේස්බුක් එක පාවිච්චි කරන්නේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් ඕකේ උඩටයි පල්ලෙහාටයි යන අපට දැකගන්න ලැබුණ, ලැබෙන සටන් පාඨ අතරින් එකක් විදියට මේකත් නම් කරන්න පුළුවන්.
2003 අවුරුද්දේදී ගෙනාව CEPA, එහෙමත් නැත්තන් ලංකාවයි ඉන්දියාවයි අතර අත්සන් කරන්න ලෑස්ති වෙච්ච වෙළඳ ගිවිසුමට මෑතකදී හම්බෙච්ච නම තමයි ඔය ETCA විදියට හැඳින්වෙන්නේ. කොහොම වෙතත්, ETCA ගිවිසුම ගැහුවොත් ඉන්දියාවේ උදවියට කිසි අවුලක් නැතුව ලංකාවේ රස්සා කරන්න එන්න ලැබෙනවා, ඒකෙන් අපේ අයට අසාධාරණයක් වෙනවා කියන එක තමයි මේ විරෝධයට හේතුව.
හරි, හරි දැන් ඒවා වැඩක් නැහැ. ඔය ETCA, CEPA කතා සේරම එන්න කලින්, ලංකාවට ඇවිදින් හරි අපූරුවට තමන් ම හදාගත්ත රස්සා කරගෙන ඉඳපු පිටරට උදවිය ඒ කාලේ ඕනේ තරම් හිටියා. මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ රස්සා කීපයක් ගැන.
1. පනික්කියන්
Image Source : imagesofceylon.com
කාලෙකට උඩදී ලංකාවේ තිබුණු සැලුන්, දැන් සැලෝන් වුණාට මොකද, පනික්කියන් හිටියේ මේ සැලුන් එන්නත් කලින්. පනික්කියා නොහොත් ඇවිදින බාබර් කියන්නේ ගෙදරට ම ඇවිදින් කොණ්ඩේ කපන කෙනෙක්. මෙයා කොණ්ඩේ වැවෙන්න යන කාලේ ගණන් හදාගන්නේ කාලෙත් එක්ක ලැබිලා තියෙන අත්දැකීම් එක්කමයි. ගම්මු කතාවට කියන්නේ කොණ්ඩේ තියෙන්න ඕනේ නියමිත දිගට වඩා ඩිංගක් වැවෙද්දී ම ගෙදර මිදුලේ කඩුල්ල පනින පුළුවන්කමක් මෙයාට තියෙනවා කියලා.
ඒ කාලේ වැඩිහිටියෝ කොණ්ඩේ බඳින්න පුරුදුවෙලා හිටිය නිසා, මෙයා වැඩිපුර ම කැපුවේ ගමේ පොඩි උන්ගේ කොණ්ඩේ. පොඩි පසුම්බියක දාගෙන එන දැලි පිහිය, කතුර, පනාව, කණ්ණාඩි කෑල්ල එයා මේ වෙනුවෙන් පාවිච්චි කළා. මේ බාබර්ලා ගොඩක් වෙලාවට ඉන්දියානු ජාතිකයින්.
2. තොරම්බල්කාරයා
තොරම්බල්කාරයා එන්නේ ඔළුව උඩ තියාගත්ත ට්‍රන්ක පෙට්ටියක් අරගෙනයි. හරනෙල් කටුවේ ඉඳලා, රේන්ද පටි, හවරි, වීදුරු වළලු, පබළු මාල දක්වා සුකුරුත්තම් බඩු සේරම මේ වෙළෙන්දා ළඟ තිබුණා. ඉන්දීය ද්‍රවිඩ, මුස්ලිම් මිනිස්සු තමයි වැඩියත් ම මේ රස්සාව කළේ. මේ සමහර වෙළෙන්දෝ ළඟ සබන්, සුවඳ විලවුන් වර්ග වගේ ම, ජපන් බෝනික්කන් වගේ සෙල්ලම් බඩුත් තිබුණා.
3. රෙදියාප්කාරයා
“චීනා බුකු බකු නයිනාරේ – කොළඹට යන්නේ කොයි පාරේ”
රෙදි පොට්ටනියකුත් බැඳගෙන බයිසිකලෙන් එන රෙදියාප්කාරයා චීන ජාතිකයෙක්. චීන පට රෙදි වෙළදාම කරපු මොහු, විකුණන්න තියෙන රෙදි මැනගත්තේ ඔහු අරගෙන එන මිනුම් දණ්ඩෙන්. ඔය කලින් කිව්ව පද පෙළ, චීනාට විහිළු කරන්න හිතාගෙන ගමේ පොඩ්ඩෝ ගොතපු එකක්.
4. රා මදින කොච්චි මිනිස්සු
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තියෙනවා කොචින් කියලා හරියක්. මෙන්න මේ පැත්තේ ඉඳන් ලංකාවට ආව උදවියට ලංකාවේ මිනිස්සු කතා කළේ “කොච්චි මිනිස්සු" කියලා. මෙයාලගේ ජීවිකාව වුණේ රා මැදීමයි. මැදපු රා, රා රේන්ද පොළට ගිහින් විකුණන්න ඔවුන් පුරුදු වෙලා හිටියා. මේ කට්ටියගෙන් පැවතගෙන එන අය අදටත් ලංකාවේ ජීවත් වෙනවා.
5. ණයට දෙන හෙට්ටියා
Image Source : wikipedia.org
මේ කට්ටියත් ඉන්දියාවේ උදවිය. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිබුණු චෙට්ටිනාඩුව කියන පළාතේ ඉඳන් ලංකාවට ආව මේ කාණ්ඩෙට ලංකාවේ අය කිව්වේ “නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර්” හෙවත් “හෙට්ටි මිනිස්සු" කියලා. සල්ලි ණයට දීම, රත්තරන් වෙළදාම කරපු මේ හෙට්ටි මිනිස්සු මුල් බැහැගෙන ඉඳපු වීදියක් තමයි ඔය හෙට්ටි වීදිය කියලා අදටත් හඳුන්වන්නේ.
6. පොට්ට බායි
රෙදිපිළි විකුණන ගමන් ණයට සල්ලි දුන්නු පොට්ට බායි, නිතරම ඇන්දේ කුර්තා පජාමා එකකුයි, බාජු කලිසමකුයි. ඒ හැරෙන්න උඩින් ජවාර්කට් කබායකුත් දාගෙන හිටියා. ඉන්දියානු සම්භවයක් තියෙන සමහර පොට්ට බායිලා ගිනි පොලියට සල්ලි ණය දුන්නු බවත් සඳහන් වෙනවා. “බායි බායි බණ්ඩක්කා” කියලා ගම්වල පොඩි උන් මොරදුන්නේ අන්න ඒ වගේ පොට්ට බායිලා පාරේ යද්දීලු.
7. බොණ්ඩි අලුවාකාරයා
මේ පොඩ්ඩන්ගේ හිතවතෙක්. මාලදිවයින් ජාතිකයෝ වුණු බොණ්ඩි අලුවාකාරයා ගොඩක් වෙලාවට හිටියේ ඉස්කෝලවල් අද්දරයි. ඒ පොඩි උන්ට බොණ්ඩි අලුවා විකුණන්නයි. මේක බොහොම රස කෑමක්ලු.
8. ලුණු කාරයා
ලුණු කාරයා එන්නේ වැටකෙයියා පත්වලින් වියපු, පිටට නෙරා ගිය කටක් ඇති පෙට්ටියකුත් උස්සගෙන. මේකේ තියෙන්නේ ලුණු. මෙයත් ගොඩක් වෙලාවට දමිළ වෙළෙන්දෙක්. ගෙවල්වලට ඕනේ කරන ලුණු මොහු විකුණුවේ හුණ්ඩුවලින් මැනලයි.
Image Source : lankapura.com
ඇත්තමයි මේ වගේ දේවල් ගැන මතක් වෙද්දී, ඒ කාලේ ලංකාව තිබුණු හැටි ඔළුවේ මැවිලා පේන ගානයි. එයාලගේ ජීවිත කොච්චර නම් සරල වෙන්න ඇත්ද?