ඕකට ඉතින් ගෙදර උන්දැට බැනල හරියන්නෙ නෑනෙ. එක්කො අලුත් කෑම තියෙන පොතක් ගෙනිහින් දෙන්න ඕන. නැත්නම් නෙට් එකෙන් බලල කියල දෙන්න ඕන. එහෙමත් නැත්නම් ඉතින්…
නෑ ඒක ඕන නෑ.
මේකනෙ සිද්ධිය. අපේ පිරිමි කට්ටිය, “ගෙදර හැදෙන මස් කරිය හරි නෑ”, “දැන් ඉස්සර වගේ රසට ඔයා උයන්නෙ නෑ” කියල ගෑනු පාර්ශවයට චෝදනා කරනව මිසක් කිසිම අලුත් අයිඩියා එකක් දෙන්නෙ නෑනෙ. එතකොට ඉතින් එයාලටත් එපා වෙනව. අනික කොහෙන් කියල ඔය තරම් අලුත් ක්‍රම හොයන්නද?
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ එයාලා මෙයාලා හැමෝටම හරියන විසඳුමක් දෙන්න.
ඔන්න පහළින් තියෙනව හැමදාම හදන චිකන් කරියට වඩා පැහැදිලි වෙනසක් තියෙන විදියට චිකන් හදන්න අලුත් ක්‍රම ටිකක්. සමහර ඒවා සැරට, සමහර ඒවා තෙලට. ඒ විතරක් නෙවෙයි සමහර ඒවා තියෙනව කිරි රහටත්. අන්න ඒ නිසා මේවා දකින කියවන ඔයාලටත් තියෙනව යුතුකමක්, වෙන දෙයක් නෙවෙයි, ඔය පවුල් වෙලා ඉන්න යාළුවන්ට එහෙම මේ විස්තරේ යවන එක.
1. චිකන් චිප්ස්
හරිම ලේසි වැඩක් වගේම හරිම ඉක්මනට හදාගන්නත් පුළුවන් සුපිරි කටගැස්මක්.
හැබැයි මේකට කටු නැති චිකන් ඕන. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ එහෙම චිකන් පළුවක් අරගෙන, ඒක කහ, ගම්මිරිස්, මිරිස කුඩු, අබ, සුදුලූණු, ගොරක දාපු දියාරු මිශ්‍රණයක පදම් වෙන්න අරින එක. පුළුවන් නම් මිශ්‍රණයට දෙහි හරි විනාකිරි හරි ටිකකුත් දාන්න. ඊට පස්සෙ චිකන් පළුව හොඳට තම්බන්න. තම්බපු චිකන් පළුව ලෑල්ලක් උඩින් තියල, ඇඟිලි පුරුකක විතර ඝනකමට, තීරු කපාගත්ත නම් ලේසියෙන්ම ග්‍රේටරයකින් පෙති ගහගන්න පුළුවන්. අන්තිමට ඉතින් ඒ පෙති ටික ලුණු, මිරිස් කුඩු දාපු බිත්තර සාරු මිශ්‍රණයක දවටල ගැඹුරු තෙලේ බැදගන්නයි තියෙන්නෙ.
2. චීස් චිකන් බෝල්ස්
ෂප්පේ…, කටට කෙළ උනනව ඉතින් මතක් වෙද්දි. හැබැයි ඉතින් මතක් වුණා කියල ක්ෂණිකව හදාගෙන කන්න බෑ. ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ.
මේකෙදි මුලින්ම කරන්න තියෙන්නෙ කටු නැති චිකන් කෑල්ලක් අරගෙන ග්‍රයින්ඩරයට දාලා හීනියට ග්‍රයින්ඩ් කරගන්න එක. ඊට පස්සෙ චිකන් ටිකට ගම්මිරිස්, මිරිස් කුඩු, කහ, ලුණු, ඔය මස් කරි පවුඩර් වගේ රස කාරක මොනව හරිත් දාලා මිශ්‍රණයක් හදා ගන්න ඕන. ඒ මිශ්‍රණයෙ තරම බලල ඒ තරමටම පාන් පිටි එකතු කරල තුනී රොටියක් හදාගත්ත නම් ඔයාගෙ වැඩ ටික ගොඩක් දුරට ඉවරයි. අන්තිමට, ලොකු රොටියෙන් අල්ලක සයිස් විතර පොඩි රොටි කපාගෙන ඒ මැද්දට හීනියට ලියාගත්තු මොසරැල්ල චීස් තියල බෝල කරගන්න. එතනින් එහාට ඉතින් කියන්න ඕන නෑනෙ. රන්වන් පාට වෙනකම් බැදල හිතේ හැටියට දෙසා බාන්න තියෙන්නෙ.
3. දුමේ චිකන්
දැන් හිතයි හෙන අමුතු කෑමක් කියල. නෑ නෑ, මේක අපේ පරණ කෑමක්. වෙනසකට කියල තියෙන්නෙ ඒ කාලෙ මේ විදියට හැදුවෙ දඩ මස් විතරයි. ඇත්තටම චිකන් දුමේ දාලා ගන්න එකත් හරිම ලේසියි. කරන්න තියෙන්නෙ කටු නැති චිකන් පළුවක් අරගෙන ගොරක, සියඹල, දෙහි, ලුණු, කහ, මිරිස්, ගම්මිරිස් දාපු ඝන මිශ්‍රණයක් හොඳට තවරල කෙසෙල් කොළයක හරි දෙක තුනක හරි හොඳට සීල් වෙන්න ඔතල දුම් මැස්සෙ තියෙන එක. ඒත් අද කාලෙ ගෙවල්වල දුම් මැසි නෑනෙ. අනික තිබ්බත් ඒ වැඩේට සතියක් දෙකක් යනවනෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි දර ටිකක් අවුලල චිකන් එක අඟුරු අස්සෙ දාන එක. හැබැයි මතක තියා ගන්න මෙතනදි ගින්දර නැත්තටම නැති වෙන්න ඕන. කොහොම හරි අන්තිමට මේ චිකන් එක සැලඩ් කරල, කිතුල් පැණි පොඩ්ඩක් එහෙමත් දාලා කෑමට අරගෙන බලන්නකෝ…
4. කරි චිකන් ඇඹුල් තියල්
කියන්න කණගාටුයි යාළුවනේ මමත් මේක කාලා තියෙන්නෙ එක පාරයි. ඒකත් ඔය හේන් කරන පැත්තක. මගෙ හිතේ, අපි එදා කෑවෙ ගම් කුකුල් මස් වෙන්න ඕන.
අවුලක් ගන්න එපා, මතක හැටියටයි මේ රෙසිපිය කියන්නෙ. මේකෙදි අපි සාමාන්‍යයෙන් හදන චිකන් කරියට ගන්නවට වඩා චිකන් කෑලි ටිකක් පොඩියට තමයි කපන්නෙ. ඒ අතරට මැටි ඇතිළියකට තෙල් ටිකක් ලිපේ තියනව. තියල රම්පෙ, කරපිංච දානව. දාලා, තෙල් ටික රත් වීගෙන එනකොට තමයි චිකන් කෑලි ටික දාන්නෙ. ඊට පස්සෙ නිතර හැඳි ගගා පොඩ්ඩක් පිහෙන අතරට, බැදපු පොල්, අබ, සුදු ලූණු, ගොරක, ඉඟුරු මිශ්‍රණ ගුලියක් එකතු කරනව. ඒ ගමන්ම වගේ බැදපු තුනපහ, මිරිස් කුඩු, ලුණු, කහ එකතු කරල, චිකන් කෑලි මට්ටමටම වගේ වතුරත් දානව. දාලා පැයක් දෙකක් හිඳුන්න අරිනව. ඊට පස්සෙ කරිය මේසෙ.
5. කොච්චිකන්
කොට කරල නම කිව්වට මොකද මේකෙ හරි නම කොච්චි චිකන්. කොටින්ම කිව්වොත් මේක එක පාරක් කෑවොත් දෙපාරකට හරි වගේ තමයි. මොකද සෑහෙන්න සැරයිනෙ.
මේ වැඩේටත් කටු නැති චිකන් ඕන. එහෙම චිකන් පළුවක් අරගෙන වෙන් නොවෙන්න පෙති ගහගන්න. ඒ කිව්වෙ එක පැත්තකින් කට අරින්න පුළුවන් විදියට වගේ. සාමාන්‍ය සයිස් චිකන් පළුවක ඒ විදියෙ පෙති 2ක් 3ක් ගහන්න පුළුවන්. එහෙම ගහල චිකන් පළුව පැත්තකින් තියල, තම්බපු අල ගෙඩියක්, බැදපු ලූණු ටිකක්, ලුණු, ගම්මිරිස්, අඹරපු කොච්චි තොගයක්, සැර අඩු කරගන්න ඕන නම් හීනියට ලියපු මොසරැල්ල චීස් ටිකක් එහෙමත් එකතු කරල මික්ෂර් එකක් හදාගන්න. හදාගෙන අර පෙති මැද්දට පුරවල, චිකන් පළුවෙ වටේ ටූත් පික්වලින් අමුණ ගන්න. ඊට පස්සෙ මද ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න තියෙන්නෙ. කට්ටිය කියන විදියට නම් මේක බේක් කරලත් කන්න පුළුවන්ලු. හැබැයි අපි නම් කාලා නෑ ඔන්න.
ඒක නෙවෙයි, මේ… ඔයාලා දන්න මේවගේ පොඩි පොඩි කෑම ගැජමැටික්ස් තියෙනව නම් අපිටත් කියන්නකො. නිකම් ඉන්න වෙලාවට ගෙදර කුස්සියට පොඩ්ඩක් අඩිය තියල මොනව හරි සාධාරණයක් කරන්න පුළුවන්ද කියල බලන්න.