මර ළතෝනියෙයි, කන්කරච්චලයෙයි ඉවරයක් නෑ. මොනව කරන්නද ඉතින්, බොනකොට ඔහොම තමයිනෙ. අනික එහෙමයි කියල කාටවත් වැරුද්දක් කියන්නත් බෑ. හැමෝම එන්නෙ අඩියක් ගහල, හිතේ තියෙන දේවල් ටික යාළුවො ඉස්සරහ ඇද බාලා, හිත නිදහස් කරගෙන යන්නනෙ. එකම අවුල තියෙන්නෙ, ඒකෙන් නිදහසේ බොන්න ආස කරන අයට අසාධාරණයක් සිද්ධ වෙන එක තමයි.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ මෙදා පාර, කැලේට කොලේට තුරුළු වෙලා, ගහක් ගලක් ඇළක් දොළක් ගාව හීනියට සෙට් වෙන්න ආස කරන අයට කියාපු තැන් ටිකක් කියන්න. ඒ හැටි දුර බැහර තැනුත් නෙවේ නිසා යාළුවො සෙට් එකත් එක්කම වුණත් එක්කගෙන යන්න පුළුවන්නෙ. අනික මද පවනට වැදීගෙන එද්දි ලා සිංදුවක් ලෝ තාලෙට අල්ලන්න දෙපාරක් හිතන්න ඕනත් නෑ. හැබැයි මතක ඇතුව බොංගො, ගිටාර් වගේම හොඳ ගායකයෙකුත් එක්ගෙන යන්න හොඳ්!
1. Diya Sisila (Bentota – 077 7402138)
බෙන්තොට, ඇල්පිටිය පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යද්දි හමුවෙනව පාලමක්. අන්න ඒ පාලම පේන නොපෙනෙන දුරේදි ඔයාට හමුවෙනව දකුණු පැත්තෙ පාර අයිනට වෙන්න පිහිටල තියෙන පොඩි කබානා ටිකක්. එතන නවත්තන්නකො. ඒක තමයි තැන.
දෙද්දුව වැවේ දූපතට එපිටින් ඉර බැහැගෙන යද්දි ගඟ දිහා බලාගෙන පොඩි අරක්කු වීදුරුවක් තොල ගාන්න, කටට රහට සී ෆුඩ් බයිට් එකක් කන්න, කොටින්ම කියනව නම් ඊව්නින්ග් පාර්ටියක් දාන්න කියාපු ප්ලේස් එක. සර්විස් එකත් සෑහෙන්න හොඳයිලු. එකම අවුල තියෙන්නෙ පෝෂන් එකේ හැටියට කෑමවල ගණන් පොඩ්ඩක් වැඩි එක තමයි.
2. Time Out Restaurant (Bentota – 071 5449834)
ටුවරිස්ට් ලයින් එකේ තිබ්බට මොකද මේ රෙස්ට් එකේ නම් ඒ හැටි ලොකු ගණන් හිලව් නෑ.
ගාලු පාරෙ බෙන්තොට පාලම පනිනවත් එක්කම වම් පැත්තට තියෙන යාත්රාමුල්ල පාරෙ තමයි ටයිම් අවුට් රෙස්ට් එක පිහිටල තියෙන්නෙ. තනිකරම ගං ඉවුරෙ. ක්ෂිතිජයත් පේන නොපෙනෙ ගාණයි. අවංකවම කිව්වොත් හැන්දෑවට නම් මෙතන පංකාදු පහයි. ඒ නිසා අඩියක් ගහන්න වගේම පදමට වැදීගෙන එද්දි හිමින් සැරේ ගලා බහින ගඟ දිහා බාලාගෙන සිංදුවක් කියන්නත් කියාපු ප්ලේස් එක.
3. Ganthera Awanhala (Hanwella – 077 4472828)
යමුද හෙමින් සැරේ කැලේ පැත්තට. වැඩි දුරකට නෙවෙයි, හංවැල්ල ටවුන් එකේ, හංවැල්ල-කොළඹ බයිපාස් පාර පැත්තට. කැලණි ගං මිටියාවතේ පිහිටල තියෙන නෝර්මල්ම රෙස්ටුරන්ට් එකක් තමයි ගංතෙර අවන්හල කියන්නෙ. ටිකක් කලින් ගිහින් අයිනක් අල්ල ගත්ත නම් හිතේ හැටියට සෙට් වෙන්න පුළුවන්.
4. Machan (Kaduwela – 0112 489992)
ආයෙ අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. කඩුවෙල-බණ්ඩාරවත්ත පාරට දානවත් එක්කම වගේ පාලමෙන් එපිට දකුණු අත පැත්තට වෙන්න පිහිටල තියෙන මචං එක කොයි කොවුරුත් හොඳ හැටි දන්නවනෙ. බයිට්, ඩයට් ටිකේ රස නම් පංකාදු පහයි. සිංදු කියන්න කඩුවෙල මචං එක ඒ හැටි නොගැලපුනාට පූල් පාරක් ගහල, දාපු සිංදුවකට නටල විනෝද වෙන්න නම් මරු. නැතත් ඉතින් ගඟ පැත්තෙ මුල්ලක් අල්ල ගත්ත නම් ඔය මනෝ පාරක් ගහගෙන ඉන්න බැරියැ.
5. Kulmith (Bentota – 077 6908932)
ආයෙත් එන්න තියෙන්නෙ බෙංතොට පැත්තටම තමයි. හරියටම පාලම ළඟ. කොළඹ ඉඳන් එද්දි දකුණු පැත්තෙ. අපි දන්න විදියට නම් මේකෙ බාර් එකක් නෑ. බෝතලේ එළියෙන් තමයි ගෙනියන්න තියෙන්නෙ. හැබැයි සුපිරි සී ෆුඩ් බයිට් නම් තියෙනව. මෙයාලගෙ චයිනීස් කෑම ටිකත් නරකම නෑ. කොහොම වුණත් කුල්මිත් එකේ ඒ හැටි ලොකු, නැචුරල් ගතියක් නෑ. ඒ වුණාට උඩ තට්ටුවෙ ගඟ පැත්තට අල්ලල ගහපු බැල්කනියෙ බොද්දි නම් අමුතු ගතියක් තියෙනව. හැබැයි හැන්දෑ වරුවක සෙට් වෙන්න ඕන. එතකොට තමයි වටපිටාවෙ ලස්සනත් එක්ක ගානට වදින්නෙ.
එමෙයි කියල දැන් කලබල වෙලා සෙට් වෙන්න හදන්න එපා. ඉස්සෙල්ලම බලන්නකො කට්ටිය ඕකේද කියල. ඊට පස්සෙ බොංගො, ගිටාර් ටිකත් ලෑස්ති කරගන්න. හැබැයි ඒ අතරට යාළුවො, අතන හොඳයි මෙතන හොඳයි කියල කිව්වොත්, ඒවත් අපිට කමෙන්ට් කරන්න. එතකොට අපිට ගිහින් බලන්න බැරියැ කොහොමද තැන් ටික කියල.