පුංචි ඡන්දේ ළඟ ළඟම එනවා, ඡන්ද උණුසුමත් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි අපේ අයගෙන් බහුතරයක් දෙනා මොකටද පුංචි ඡන්දේ තියෙන්නේ පුංචි ඡන්දෙන් පත්කරගන්න ප්‍රාදේශීය සභා නගර සභා, මහ නගර සභා කියන ඒවා මොකටද තියෙන්නේ කොයි වගේ අයද ඒවට පත්කරගන්න ඕන කියන එක ගැන වැඩි අවබෝධයක් තියෙන බවක් පේන්න නෑ.
රජ කාලේ ඉඳන් තමයි මේවා පැවතෙන්නේ
මේ කියන ප්‍රාදේශීය පරිපාලන ආයතනවල ඉතිහාසය අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ දවස වෙනකම් යනවා කියලා තමයි මහාවංශය කියන්නේ. ඒ කාලේ ගම් සභා, රට සභා කියන නම්වලින් හැඳින්වෙච්ච මේවාගේ කාර්යය භාර්යය වෙලා තියෙන්නේ වැව් අමුණු, ඇළ වේලී, මං මාවත් ඉදි කිරීම, නඩත්තු කිරීම සහ පිළිසකර කිරීම වගේ වැඩ කටයුතු. ඒ කාලේ ගරු රැකියාවක් විදියට ඒ ඒ ප්‍රදේශවල ප්‍රභූන් ගෙන් තමයි මේ ගම් සභා රට සභා සමන්විත වෙලා තිබුණේ. (ගරු රැකියා කියලා කිව්වේ පඩි, ලාභ ප්‍රයෝජන නැතිව වැඩකරපු නිසා මිසක් දැන් වගේ පඩිත් අරගෙන ලාභ ප්‍රයෝජනත් අරගෙන තම තමුන්ගේ නම ඉස්සරහින් ගරු අතිගරු කියලා දාගත්ත නිසා නෙමෙයි)
සුද්දා ආවයින් පස්සේ
කොහොම වුණත් මේ කියන ගම් සභා රට සභා ක්‍රමය අනුරාධපුර පොළාන්නරු රාජධානිවලින් පස්සේ ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යනවා. ඉංග්‍රීසි යටත්කරගන්න කාලේ වෙනකොට එහෙම පිටින්ම වගේ අකර්මණ්‍ය වෙලා තිබුණ මේ ගම් සභා ක්‍රමය ගැන ආපහු අහන්න ලැබෙන්නේ 1856 අවුරුද්දේදී ඉංග්‍රීසීන් විසින් රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන ආකාරයට ආපහු පිහිටවීමෙන් පස්සේ. 1861 අවුරුද්ද වෙද්දී පාරවල් හදන්න මාර්ග කාරක සභා ක්‍රමයකුත් ඇතිවෙනවා. ඒ වගේම 1865 වෙද්දී ලංකාවේ තිබුණ ප්‍රධාන නගර දෙක වෙන කොළඹ සහ මහනුවර නගර දෙකේ පරිපාලන කටයුතුවලට නගර සභා දෙකකුත් ඉංග්‍රීසින් ඇතිකරනවා. 1924 වෙද්දී මේ පළාත් පාලන ආයතන ඡන්දයෙන් සභිකයන් පත්වෙන තැන දක්වා දියුණු වෙනවා. 1948 නිදහස ලැබෙද්දි ලංකාවේ මහ නගර සභා 7ක්, සුළු නගර සභා 34ක්, ගම් සභා 401ක් බිහිවෙලා තිබුණා.
සුද්දා ගියයින් පස්සේ
1980 දශකයේදී මේ පළාත් පාලන ආයතන දිස්ත්‍රික්ක සංවර්ධන සභා කියලා අලුතෙන් ඇතිකරපු ව්‍යුහයක් ඇතුළට පත් කළත් 1988 දී ඒක අහෝසි කරලා ප්‍රාදේශීය සභා ඇතිකරනවා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයෙන් මේ කියන ප්‍රාදේශීය සභා පළාත් සභා යටතට පත්වෙනවා. හැබැයි මධ්‍යම ආණ්ඩුව පළාත් පාලන ආයතනවල කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ.
2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතත් එක්ක මෙදා සැරේ පුංචි ඡන්දේ පැවැත්වෙන්නේ මිශ්‍ර ක්‍රමයකට ඒ කියන්නේ කලින් පුංචි ඡන්දේ පැවැත්තුවා වගේ සමානුපාතික ක්‍රමයයි 1948 ඉඳලා 1977 වෙනකම් ඡන්ද තිබුණ කොට්ඨාස ක්‍රමයයි දෙකේ මිශ්‍රණයකට. සරලව විස්තර කළොත් මෙතනදී අපේක්ෂකයන්ගෙන් කොටසක් ඒ ඒ පළාත් පාලන ආයතනයට පක්ෂය/ස්වාධීන කණ්ඩායම ලබාගන්න ඡන්දවල ප්‍රතිශතයක් විදියට පත් වෙනවා. ඉතිරි කොටස තෝරගන්නේ එක එක ඡන්ද කොට්ඨාසයට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න අපේක්ෂකයා විදියට.
පළාත් පාලන ආයතනවල කාර්යය භාර්යය
පළාත් පාලන ආයතන කියන්නේ ඒ පළාත් පාලන ආයතනය අයිති ප්‍රදේශය ඇතුළේ ජීවත්වෙන මිනිස්සුන්ට බලපාන කාරණා විශාල ප්‍රමාණයක් ගැන වගකීමක් තියෙන ආයතනයක්. මං මාවත්, නාන ලිං, නළ ලිං, පාලම්, බෝක්කු, කාණු පද්ධති, වීදි පහන් හදන එක නඩත්තු කරන එක, කැළි කසළ, මළ අපද්‍රව්‍ය බැහැර කරන එක, මදුරුවන්, අයාලේ යන බල්ලන්, වෙනත් හිංසාකාරී සතුන් මර්දනය කරන එක, පවුල් සෞඛ්‍ය සේවා සපයන එක, පරිසර සංරක්ෂණය වගේ එකී මෙකී කාරණා ගොඩක් පළාත් පාලන ආයතන යටතේ සිද්ධවෙනවා. එහෙම කිව්වට මේ කියන කාරණා ඔක්කොම පළාත්පාලන ආයතනයකින් සිද්ධවියයුතු වෙනවා කියලා කිව්වොත් තමයි වැඩියත්ම හරි; මොකද මේ කියන වැඩවලින් වැඩි ප්‍රමාණයක් පළාත්පාලන ආයතනවලින් හරියට ඉටුවෙන්නේ නැහැ.
හැබැයි වෙන්න ඕන යුතුකම් ටික ඉටු නොවුනට මේ සේවාවලට පළාත්පාලන ආයතනවලින් අයකරගන්න ගාස්තු සහ බදු මුදල් අයකර ගැනීම නම් ප්‍රමාදයක් නැතිව කෙරෙනවා. වරිපනම්, අක්කර බදු, බලපත්‍ර ගාස්තු, බදු කුලී, කඩ කුලී, පොළ ගාස්තු, පාකින් වගේ ගාස්තු සහ බදු මුදල් කාණ්ඩ ගාණක් විදියට මේ මුදල් අයකරගන්න පළාත් පාලන ආයතන කටයුතු කරනවා.
වැරැද්ද කොතනද?
මේ කියන ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මිනිස්සු පළාත් පාලන ආයතනවලට යවන්න ඕන මොන විදියේ මිනිස්සුද කියලා නොදැන ඒවාට යවන එක. ගොඩක් වෙලාවට අපේ මිනිස්සු පළාත් පාලන ආයතනවලට පත් කරලා යවන්නෙත් අපේක්ෂකයෝ මාකට් කරන්නෙත් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න, රටේ වෙච්ච වංචා දූෂණවලට දඬුවම් ලබා දෙන්න, ත්‍රස්තවාදය නවත්තන්න, රට ජාතිය බේරගන්න වගේ ජාතික ප්‍රශ්න. ඒත් ඇත්තටම මේ වගේ කාරණා ඔක්කොම පළාත් පාලන ආයතනයකට කිසිම විදියකට මැදිහත් වෙන්නවත් සම්බන්ධ වෙන්නවත් බැරි කාරණා.
ඇත්තටම මේ පළාත් පාලන ආයතනවලට පත් කරලා යවන්න ඕන ගමේ වැඩියෙන්ම සමාජ සේවා වැඩ කරන, ශ්‍රමදාන ඕගනයිස් කරන, පොදු වැඩ කටයුතුවලට නායකත්වය සපයන පුද්ගලයන්ව. පක්ෂ පාට මොනවා වුණත් ඒ වගේ අයට තමයි නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් ඉටුවෙන්න ඕන කාරණා මොනවද කියන එක ගැන හරි අවබෝධයක් තියෙන්නේ වගේම ඒවා ඉටු කරන්න හැකියාවක් තියෙන්නේ.
මේ සැරේ පුංචි ඡන්දෙ පැවැත්වෙන්නේ මිශ්‍ර ක්‍රමයකට ඒ කියන්නේ සමානුපාතික සහ ඒකල කියන ක්‍රම දෙකේ මිශ්‍රණයකට නිසා තමුන්ගේ ගමේ වැඩක් කරපු ගමේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන කෙනෙකුව තමුන්ගේ නගර සභාවට නැත්නම් ප්‍රාදේශීය සභාවට පත්කරගන්න පුළුවනි.