දවස් 365කුත් ගෙවලා, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්න තියෙන්නේ තව දවස් 3ක වගේ කෙටි කාලයක්. අපේ සමහරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනකොට, අපි මේ අලුත් ඇඳුම් පැළඳුම් ඇඳගෙන, කැවිලි පෙවිලි හදාගෙන දඟලන්නේ ඇයි කියන එක. මේ හදිසි වෙලාවේ ඕවට උත්තර දෙනවට වඩා ලේසියි, ජෝතිෂ්‍යයේ කරුණු කාරණා එකතු කරපු නැකත් සීට්ටුවට අනූව අවුරුදු චාරිත්‍ර කරන එක.
එහෙනම් අහගන්නකෝ; මෙදා සැරේ අවුරුදු නැකත් ටික පෙළගැස්විලා තියෙන්නේ මෙන්න මේ විදියට.
නව සඳ බැලීම (මාර්තු 18, අප්‍රේල් 20)
තම තමන්ගේ ජීවිතවල පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන, පැරණි චාරිත්‍රයක් විදියට මෙන්න මේ නව සඳ බැලීම හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙදා සැරේ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බලන්න තියෙන්නේ මාර්තු මස 18 වැනි ඉරිදා දවසේ. එතකොට අභිනව සූර්ය වංශය සඳහා නව සඳ බලන්න තියෙන්නේ අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දවසේ.
පරණ අවුරුද්ද සඳහා ස්නානය (12 වෙනිදා)
මේකට නම් ඉතින් අමුතුවෙන් ඉතින් නැකතක් නැහැ. අප්‍රේල් 12 වැනි බ්රහස්පතින්දාවේ බෝපත් යුෂ මිශ්‍ර නානු ටිකක් ගාලා නාගන්න තමයි තියෙන්නේ.
නොනගතය/ පුණ්‍ය කාලය (14 වෙනිදා උදේ 1.49 සිට)
ජෝතිෂ්‍යයේ කියැවෙන විදියට මේ නොනගතය කියන්නේ සුභ නැකතක් නැති කාලයක්. අනික මීන රාශියේ ඉඳලා සූර්යයා මේෂ රාශියට ගමන් ගන්න එක සිද්ධ වෙන්නේ මෙන්න මේ කාල සීමාව ඇතුළතලු. ඒ නිසා කිසිම සුභ කාරණයක යෙදෙන්න මේ කාලය තෝරා නොගත යුතුයි. ඉතින් අප්‍රේල් 14 වැනි සෙනසුරාදා උදේ 1.49ට කලින් සියලු වැඩ අත් හැරලා, පවුලේ අයත් එක්ක සතුටු සාමීචියක යෙදෙන්න මේක හොඳ වෙලාවක්.
අනික කාරණය තමයි අවුරුද්දකට පසළොස්වක් පොහෝ දින 12ක් තිබුණත්, පවුලේ ඉන්න හැමෝම එකතු වෙලා පන්සලකට යන්න ලැබෙන්නේ හරි ම අඩුවෙන් නේ. ඉතින් ඒ වැඩේ නියැලෙන්න මේක හොඳ ම අවස්ථාවක්.
නව අවුරුදු උදාව (14 වැනිදා උදේ 8.13ට)
මෙදා සැරේ අලුත් අවුරුද්ද ලබන්නේ අප්‍රේල් 14 වැනි සෙනසුරාදා උදේ 8.13ට. මීන රාශියෙන් පිටත් වෙච්ච සූර්යයා, මේෂ රාශියට එන වෙලාව තමයි මේ.
ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම (14 වැනිදා උදේ 10.40ට)
අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල හිතාගෙන පුංචි කිරි මුට්ටියක් උතුරවන්න වෙලාව. දර ලිපක් තියෙනවා නම් තමයි වැඩිය හොඳ. ඒ වගේ ම අලුත් මුට්ටියක කිරි උතුරුවන්න පුළුවන් නම් තවත් හොඳයි. අනික අනිවාර්යෙන් ම ගෙදර හැම දෙනා ම මේ වෙලාවට මේ වැඩේට සම්මාදම් වෙන්න ඕනේ.
ඒ විතරක් නෙවෙයි, ආහාර ගන්න නැකතට අවශ්‍ය කරන කිරිබත් හදන්න, කැවිලි පෙවිලි දාලා කෑම මේසේ සූදානම් කරන්නත් මේ වෙලාව යොදාගත්තනම් හරි. මෙවර නැකත් පත්‍රයේ තියෙන විදියට මේ චාරිත්‍රවල නියැලෙන්න ඕනේ උතුරු දිශාව බලාගෙන, නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසිලා.
වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම (14 වැනිදා උදේ 11.53ට)
අවුරුද්දට ලක ලෑස්ති වෙලා ම කට්ටියට මහන්සිත් ඇතිනේ. එහෙනම් කිරිබත් කෑල්ලක් කාලා ඉම්මුකෝ නේද? ඒ විතරක් නෙවෙයි, ගෙදර වැඩිහිටියන්ට වැඳලා කරලා, ගනුදෙනු චාරිත්රෙත් ඉෂ්ට සිද්ධ කරලා, හා හා පුරා කියලා අලුත් වැඩකට අත ගහන්නත් මේක හොඳ ම නැකතක්.
මේ නැකතටත් සුභ දිශාව කියලා සැලකෙන්නේ උතුරු දිශාවයි. සුභ වර්ණය නිල් පාට.
හිස තෙල් ගෑම (අප්‍රේල් 16 වැනිදා උදේ 10.16ට)
ඉසේ සිට පය දක්වා තියෙන සියලුම රෝගී තත්ත්ව මේ අලුත් අවුරුද්දේ දූරිභූත වේවා කියලා හිතාගෙන කරන හිස තෙල් ගෑමේ චාරිත්‍රය මේ අවුරුද්දේ යෙදෙන්නේ 16 වැනි සඳුදා උදේ 10.16ට. හිසට දිවුල් පත් සහ පයට ඉඹුල් පත් තියලා, උතුරු දිශාව බලාගෙන කරන මේ චාරිත්‍රය අවසන් වෙන්නේ තෙල් හා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීමෙන්.
රැකී රක්ෂා සඳහා පිටව යාම (අප්‍රේල් 19 උදේ 6.03ට)
තියෙන රාජකාරිවල හැටියට මේ කියන දවසේ, නැකත තියෙන වෙලාවට ම වැඩට යන්න බැරි වුණත්, නැකත් පත්‍රයේ තියෙන කරුණු කාරණා සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න එක කොයිකටත් වටිනවනේ. ඔන්න එහෙනම් මතක තියාගන්නකෝ. රැකී රක්ෂාවලට පිටවෙන නැකත තියෙන්නේ අප්‍රේල් 19 වැනිදා උදේ 6.03ට. සුභ දිශාව නැගෙනහිර. ඊළඟට සුභ වර්ණය කහ/ රන්වන් පැහැය.
එහෙනම් ඉතින් ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔයාලා හැමදෙනාට ම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා, අපේ යමු එකේ හැමෝම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.