තුන් වේල කෙසේ වෙතත් එක වේලකටවත් බත් නොකෑවොත්?
පිස්සු හැදෙයි ඈ… ආයෙ ඉතින් නින්ද යන්නෙ නැති ගානයි.
වැඩේ කියන්නෙ ඉතින් දැන් දැන් කට්ටියගෙ කාර්යබහුලත්වය නිසා, තුන් වේලට බත් කන්නත් අමාරු තත්ත්වයක් තියෙන්නෙ. මොකද බෝඩ් වෙලා ඉන්න හරි, ජෝඩු වෙලා නැති කට්ටියට වැඩේ අමාරුයිනෙ. ඇයි අප්පේ, වැඩ ඇරිලා ඇවිල්ල උයාගෙන කන්නයැ. මහන්සියට, ලිප ගාව හිටගෙන නින්ද යයි.
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ… අම්මගෙ බත් එක වගේ නැතත් ඒ කිට්ටුවෙන් හරියන රසකට බත් ටිකක් කන්න, හොඳ කඩ ටිකක් කියන්න. ඒකත් නිකම් නෙවෙයි අතේ තියෙන ගාණට හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන් තැන් ටිකක්.
අඩුම තරමෙ එතකොටවත් පුළුවන්නේ අපේ බිසී යාළුවන්ට හිතට දුකක් නැතුව බෝඩිමේ හරි ඉන්න.
එහෙනම් ඔන්න තියනව ඒ කඩ ටික. ගොඩක් ම කොළඹ අවට, හැබැයි මුළු කොළඹ ම වගේ කවර් වෙන්න. බලන්නකො ඔයා ඉන්න පැත්තටත් සෙට් වෙන කඩ තියද කියල.
1. Udumbara JU Caterers
පංකාදු පහට කෑම හදන කේටරින් සර්විස් එකක්. තියෙන්නෙ තිඹිරිගස්යාය ජයරත්න මාවතේ. මෙයාලගෙ මෙනියු එකේ තියෙනව කටට රහට කන්න පුළුවන් නියම රයිස් ඇන්ඩ් කරි එකක්. එළවළු ජාති නම් 4යි ලැබෙන්නෙ. ඒ වුණාට ඒව රස පදමට මිරිස් තුනපහ වගේම ලුණු ඇඹුලුත් දාලා හදන නිදා තලුමරමර රස බැලුව හැකි. අනික බත් එහෙමත් රතු, සුදු ජාති දෙකෙන් ම තියෙනවනෙ.
2. B Leaf
බොරලැස්ගමුවෙ තියෙන මේ කඩේ නම් නොදන්න කවුරුත් නැති ගානයි. මොකද ගොඩ දෙනෙක් උදේට එද්දියි හවසට යද්දියි කෑම අරගෙන යන්නෙ මෙතනින්නෙ. ඒ විතරක් නෙවෙයි පොල් අතු හෙවණෙ කෙහෙල් කොළේක බත් ටිකක් කන්න වුණත් මෙතන කියාපු තැන. හොඳට මිරිස් තුනපහ දාලා හදපු එළවළු ජාති 4ක් එක්ක මාළු ඇඹුුල් තියලක්, කුකුල් මස්, ඌරු මස් එකක්, නැත්නම් බැදපු මාළුවෙක් හරි එක්ක වුණත් බඩ පිරෙන්න කන්න පුළුවන් මෙතනට ගියොත්. අනික ඔය පොඩිපොඩි ඩෙසට් වර්ග එහෙමත් තියෙනව බත් කාලා කන්න.
3. Aththamma
පැළවත්තෙ කූල් ප්ලැනට් එක ඉස්සරහ තියෙන අත්තම්මා එකත් ගමේ රහට කෑම හැදෙන සෑහෙන්න හොඳ තැනක්. හැබැයි මෙයාලගෙ කෑම ටිකක් කොළඹ ටයිප්. මොකද ඒවයෙ මිරිස් තුනපහ රස තරමක් සීමා කරල තියෙන්න. ඒත් ඉතින් මස්, මාළු හොදිවලින් ටිකක් දාගත්තම නම් ඒක හරි. නැතත් බැදපු මිරිස් කරලකින් හරි වැඩේ ෂේප් කරගන්න බැරියැ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ අඹ මාළුව, පළා මැල්ලුම, කිරි මාළු එක එහෙම පංකාදුයි. බොරු නම් ගිහිල්ල කාලා බලන්නකො.
4. Spice & Curry
හරි පිළිවෙළට බෙදෙන කෑම එකක්. රස පදමත් කොළඹ ඈයොන්ට එහෙම කියාපු. හැබැයි අත්තම්ම වගේ නෙවෙයි මෙයාලා තුනපහ හොඳ හැටිය දානව. මිරිස් තමයි අඩු කරන්නෙ. අනික මෙතන කෑමවල තෙල් එහෙමත් සෑහෙන්න අඩුයි. එළවළු ජාති තොගයක් අතරින් 4ක් තෝරගෙන හොඳ මාළු ඇඹුල් තියල් එකක්, නැත්නම් චිකන් කරියක් එක්ක වැඩේ පටන් ගත්ත නම් ඉතින් තලු මර මර රස බලන්න පුළුවන්. ඒත්, වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කෑමවල ගාණ ටිකක් වැඩි එකනෙ.
5. Mythi’s
පට්ට රස බීෆ් කරියක් එක්ක බත් ටිකක් කන්න ආස කට්ටියට කියාපු තැනක් තමයි බම්බ ස්ටේෂන් රෝඩ් එකේ මිති’ස් එක. හැබැයි ඉතින් කෑමවල රස නම් පංකාදු පහයි. මිරිස් තුනපහ වගේම ලුණු ඇඹුලෙනුත් අඩුවක් නෑ. පරිප්පුවකුයි, කොළ මැල්ලුමකුයි, මඤ්ඤොක්කා ව්යංජනයක් නැත්නම් බෝංචි, සෝයා, කෙහෙල්මුව වගේ එළවළු ජාති 3ක් තමයි මේ බත් එකට එන්නෙ. හැරත් ඉතින් කට ගැස්මට බැදපු මිරිස් කරලක්, පපඩමක් වරදින්නෙ නැති නිසා ඉස්මුරුත්තාව නම් ෂුවර්!
6. Lunu Ambula
කෙහෙල් කොලේ දිග අරිද්දි සුවඳේ බෑ. සම්බා හාලේ බතයි හායි හූයි ගෑවෙන තරම් සැර, තුනපහත් හොඳ හැටි එකතු වෙලා හැදුණු චිකන් කරියයි, රස පදමට හදපු පරිප්පු මාළුවයිම ඇති බඩ පැලෙන්න කන්න. කටගැස්මට පොල් සම්බෝලෙක් එහෙමත් තියෙන නිසා රස ඩබල් ඉතින්. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ බෝංචි, මෑකරල් එහෙම සෑහෙන්න හොඳයි. පොලොස් මාළුවත් නරකම නෑ. තව… මෙයාලගෙ බිරියානි එක එහෙමත් මරු. කොහොම වුණත් තිඹිරිගස් යාය ආනන්ද හිමි පාරෙ තියෙන මේ ප්ලේස් එකේ කෑමවල ගණන් යන්නෙ රු. 200 – 300 අතරෙ නිසා පොකට් එකටත් ඉතින් අවුලක් නෑනෙ.
තව ඉතින්… තියෙනව කඩ. ඔක්කොම එක පාර කිව්වොත් හරි නෑනෙ. නැතත්, එතකොට ඔයාලා දන්න අපි නොදන්න කඩ අපිට දැන ගන්න වෙන්නෙත් නෑ. ඒ නිසා ඊළඟ ලැයිස්තුව එනකම් මේ ටිකෙන් කෑම කාලා විස්තර අපිට කියන්න. ඒ අතරට අපිට බැරියැ තව අළුත් කඩ ටිකකට ගිහින් බලන්න නේ…!