මාසෙ පඩියත් එනව නේ… කන බොන කට්ටිය දැන් ඉතින් ලෑස්ති වෙයි හෙට අනිද්දට හුරේ කියල බෝතල් පාටි, කෑම පාටි දාන්න. දාලා ෆුල් හැපනින්ග් එකක් එහෙමත් අරගෙන… දන්නැද්ද ඉතින්, අවුරුද්දෙ අන්තිම මාස ටිකනෙ.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අපේ කන බොන යාළුවන්ට උදව්වක් වෙන්න කියල ඉස්ඉස්සෙල්ලාම අපි හොයාගත්ත අලුත් කෑම කඩ ටිකක් කියන්න. ඒකත් නිකම් නෙවෙයි, සුපිරි ශ්‍රී ලංකන් චයිනීස් කඩ ටිකක්. ඔය කොත්තු, ෆ්‍රයිඩ් රයිස් එහෙම හිතේ හැටියට රස බලන්න පුළුවන් තැන් තමයි. ඇත්තම කියනව නම් ඒ අතරිනුත් කොත්තුවලට නම් කියාපුම තැන් ටික. මොකද මේවයෙ තියෙනව පෝර්ක් කොත්තු, සීෆුඩ් කොත්තු, කඩල කොත්තු වගේ ජාති තොගයක්. ඊටත් අතේ තියෙන ගාණට දෙන්නෙක්ට වුණත් බඩ කට පිරෙන්න කන්න පුළුවන් සයිස්නෙ.
ඒ හැරුණාම ඉතින්… තව මොන විස්තරද නේ. පහළ ලැයිස්තුව බලලා, හොඳ කඩයක් අල්ලලා, හැන්දැ වෙන්න කට්ටියත් එක්ක සෙට් වෙලා යන්නයි තියෙන්නෙ. මොකද කෑම ගැන අපි කොහොමත් වගකියනව නේ!
1. Taste of Asia
චිකන්, බිත්තර, චීස් කොත්තු විතරක් නෙවෙයි. මට්න් කොත්තු, කට්ල් ෆිෂ් කොත්තු, ක්‍රැබ් කොත්තු වගේ අමුතුම කොත්තු ටිකකුත් රස බලන්න, යන්න වැල්වත්ත සැවෝයි එකට පොඩ්ඩක් බම්බ පැත්තට වෙන්න තියෙන ‘ආසියාවේ රස’ට. ආයෙ ඉතින් රු. 300 – 600 අතර ගණන්වලට හිතේ හැටියට කොත්තු රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාලා ළඟ ආප්ප, රොටි ඇතුළු කෑම ජාතිත් සියල්ලම වගේ තියෙනව. ඊටත් ඉඳි ආප්ප කොත්තු, නූඩ්ල්ස් කොත්තු එහෙමත් කියල දාගන්න පුළුවන්නෙ. අපිට හරියට හොයා ගන්න බැරි වුණේ චීස් කොත්තු හැම මසකින් ම තියෙනවද කියල තමයි. ඔන්න ඒක දන්න කවුරු හරි ඉන්නව නම් අපිටත් කියන්න හොඳේ!
2. Kottulabs.lk
මෙන්න අනිත් තැන. හැබැයි මෙතනට ගිහින් කන්න බෑ. මොකද මෙයාලා කොත්තු හදලා ඩිලිවරි කරන එක තමයි කරන්නෙ. ඒත් මොකෝ ඉතින්, ඔයාලාට ඔෆිස් එකට ගෙන්න ගෙන හරි කන්න බැරියැ. කොහොම වුණත් මතක තියාගන්න මෙයාල ළඟත් තියෙනව සුපිරිම කොත්තු ජාති ටිකක්. චිකන්, චිකන් ලිවර්වලින් පටන් ගත්තාම බීෆ්, ෆිෂ්, කට්ල් ෆිෂ්, ප්‍රෝන්ස්, ක්‍රැබ් වගේ මස් මාළු ටික. එතනින් ගියාම පිට්ටු, ඉඳිආප්ප, නූඩ්ල්ස්, කඩල වගේ කොත්තු ටික. ආයෙ ඉතින් තව මොනවද?
අවුල තියෙන්නෙ ඉතින් මෙයාලගෙ කොත්තුවල ගණන් තමයි. කොච්චරවත් රු. 500 පනිනවනෙ.
3. Kushmi Foods
දෙහිවල, ගාලු පාරෙ තියෙන මේ කඩෙත්, හුඟ දෙනෙක් කොත්තුවලට ම ගොඩවෙන තැනක් තමයි. මොකද මෙයාලගෙ කොත්තුවලත් ටේස්ට් එක සුපිරි. මහ ගොඩක් ජාති නැති වුණාට චිකන්, රෝස්ට් චිකන්, චීස් අතරට ඩොල්පින්, ඉඳි ආප්ප, නූඩ්ල්ස් වගේ ඒවයින් කොත්තු හැදෙන නිසා රස දන්න අයට වැඩේ කොහොමත් ඕකේ. අනික මෙයාලගෙ කොත්තුවල ගණන් යන්නෙත් රු. 200 – 400 අතරෙනෙ. හැරත්, රස එහෙම පංකාදු පහට තියෙන නිසා ආයෙ දෙපාරක් හිතන්න දෙයකුත් නෑ ඉතින්.
4. Habibiz Sri Lanka
මැද පෙරදිග රහට සුපිරි කොත්තු ටිකක් රස බලන්න, කියාපු තැනක් තමයි දෙහිවල ඇලන් ඇවිනියු එකේ හබිබිස් එකත්. මෙයාල ළඟ තියෙනව ග්‍රිල්ඩ්, තන්දුරි, රෝස්ට් වගේ රසවලින් එන චිකන්, බීෆ්. එහෙම. ඒවා දාලා තමයි මෙයාලගෙ කොත්තු ටික හැදෙන්නෙ. හැබැයි ඒවා තැටියෙ ගහන කොත්තු නම් නෙවෙයි. ඔක්කොම තාච්චි කොත්තු. ඒත් ඉතින් රස පදමට සෝස්, මිරිස් ටික දාලා වෙනසකට වගේ මසාලා එහෙමත් එකතු කරලා එන නිසා රු. 400 – 600ට පාඩුමත් නෑ.
5. Master Wok
මොරටුව, ගෝල් රෝඩ් එකේ මාස්ටර් වොක් එකත්, කොත්තුවලට සෑහෙන්න ප්‍රසිද්ධ තැනක් තමයි. හැබැයි ඉතින් එතන තියෙන්නෙ චිකන්, සීෆුඩ් කොත්තු විතරයි. එකම වාසිය ඉඳි ආප්ප හරි නූඩ්ල්ස් හරි කොත්තු ගන්න තියෙන එක. ඊටත් අර චීස් කොත්තු එහෙම තියෙන නිසා මිසක් නැත්නම් මෙයාලගෙ කොත්තු ජාති ටික හොඳට මදි. හැරත් ගණනුත් රු. 400 – 500 අතරෙ නිසා දෙපාරක් හිතන්න වෙනව.
ඒ හැරුණාම ඉතින්… තව අළුත් කොත්තු කඩ සෙට් එකකුත් මග එනව. හැබැයි ඒවා තවම ලෑස්ති නෑ. ඒ නිසා, ඒ ටික එනකම් ඔයාලා මේ ටිකෙන් කාලා බලන්න. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකෝ… ඒ අතරට ඉතින් අළුත් කඩ හම්බවුණොත් ඒවත් අපිට කියන්න හොඳේ.