හැමදාම ඇවිදින එකේ, නැත්නම් ලස්සන වනගත කොටේජ් එකක නිවාඩුවට යන එකේ නරකද මෙදාපාර යාළුවොත් එක්ක සෙට් වෙලා බඩ පැලෙන්න කන්න ගියොත්. අපි කියන්නෙ නිකම් වෙනසකටත් එක්ක වගේ…
1. Jadi Samaga Game Kema
නුගේගොඩ සුපර් මාර්කට් එක ඉස්සරහ තියෙන මේ බත් කඩේ ගැන ඔයාලා දැනටමත් දන්නව ඇති. රතු සුදු ඕන බත් ජාතියකින් වගේම රස වෑහෙන බ්ලැක් පෝර්ක් කරියක්, ටොප් කොලිටි ජාඩි ටිකක් එක්ක තලු මරමර දවල් කෑම වේල බඩට දාගන්න කියාපු තැන. ඒ වගේම තමයි මෙතන අඹ කරිය, කිරි මාළු එක එහෙමත් පංකාදුයි. ඊටත් බත් ටික බෙදෙන්නෙ නෙළුම් කොලේට හරි කෙහෙල් කොලේට හරි නිසා තවත් හොඳයි. අනික ගණනුත් රු. 200 – 300 අතරෙනෙ.
2. Taste of Asia
චිකන්, බිත්තර, චීස් විතරක් නෙවෙයි මට්න්, කට්ල් ෆිෂ්, ක්‍රැබ් වගේ කොත්තු ජාති, කරි එක්ක රොටි ජාති වගේම සුපිරි රයිස් වර්ගත් හිතේ හැටියට රස බලන්න, යන්න වැල්වත්ත සැවෝයි එකට පොඩ්ඩක් බම්බ පැත්තට වෙන්න තියෙන ‘ආසියාවේ රස’ට. ආයෙ ඉතින් රු. 300 – 600 අතර ගණන්වලට කෑම තොගයක් රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාලා ළඟ ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු වගේ කෑමත් තියෙනව. ඊටත් ඉඳි ආප්ප කොත්තු, නූඩ්ල්ස් කොත්තු එහෙමත් දාගන්න පුළුවන්නෙ.
3. Piyoraan
සුපිරිම ඉන්දියන් කෑම, හැබැයි අපේ රහට! …ලංකාවෙ රහට හැදුණු තෝසෙ, වඩේ සාම්බාරු, සම්බල් ටිකක් හිතේ හැටිය රස බලන්න. ඊටත්, සුපිරි ලාංකීය වෙජි කෑම සෙට් එකකුත් තියෙනව මෙයාල ළඟ. ඔය… කුරක්කන් පිට්ටු, තලප, ඉඳි ආප්ප වගේ. වැඩේ කියන්නෙ ඒ කොයි කෑමෙත් රස, පංකාදු පහයි. අනික ගාණත් රු. 150-200යිනෙ. උම්බලකඩ කෑල්ලක්වත් දාන්නෙ නැති නිසා වෙජි යාළුවන්ට එහෙම බය නැතු කන්නත් පුළුවන්. කිව්වට විශ්වාස කරන්න යාළු මෙයාලගෙ වෙජි සුප් එකත් මතක් වෙද්දිත් කටට කෙළ උනන ගානයි හොඳේ!
4. Burgers Hut
ඩබල් බීෆ්, ඩබල් චිකන්, ඩබල් ක්‍රිස්පි හැරුණාම ග්‍රිල්ඩ්, රෝස්ටඩ් වගේ රසවලිනුත් බර්ගර් කන්න කියාපු තැන. තියෙන්නෙ දෙහිවල, ඇලන් ඇවිනියු එකේ. ගණන් හිලව් ගත්තොත්, මෙයාලගෙ බර්ගර් ගොඩක් ඒවා රු. 300-400 අතරෙ යන්නෙ. අනික ඉතින් චීස්, මෙයොනිස් එහෙමත් මදි නොකියන්න දාපු උණුඋණු බර්ගර්.. ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකක් එක්කම රස බලන්න පුළුවන්නෙ.
5. Thejan Hotel
රස පදමට හදාපු සුපිරි රොටියක් එක්ක තලු මරමර මස් කරියක් රස බලන්න, යන්න බම්බ ගාලු පාරෙ තේජාන් එකට. ඇත්තටම හැන්දෑවට එතන මාර වැඩ ටිකක් යන්නෙ. රොටි විතරක් නෙවෙයි රයිස් කොත්තු, නාසිගුරාන් වගේ ඒවත් උණු උණුවෙන්නෙ මේසෙට එන්නෙ. එ් විතරක් නම් බැරියැ, බලන්න එපැයි මෙයාලගෙ මස් කරි ටික. ෂප්පේ… මදි නොකියන්න මිරිස් තුනපහ දාලා හදල තියෙනව! කොටින්ම, ගෑවුණත් ඇති ගානයි කන්න. බාග වෙලාවට පරිප්පු, අල, කිරි මාළු වගේ එකක් එක්ක කලවම් හොද්දක් එහෙම ගත්තොත් නම්… ආයෙ ගමකට කන්නෙ, ගමකට ඈ…
එහෙනම් ඉතින් හරිනෙ. මේ වීක්එන්ඩ් එකේ ඇවිදින්න, කැලේ කොලේ රිංගන්න ඕන නෑ. යාළුවෙක් එක්ක හරි, යාළු වෙන්න ඉන්න කෙනෙක් එක්ක හරි පොඩි ෂොපින්ග් පාරක් දාලා කටට රහට කෑම ටිකක් කාලා විනෝදෙන් ඉන්න…