පහුගිය දවසක දැකල තිබුණට මොකද, කාර්යබහුලත්වය නිසාම මට ඒ කාරණාව අමතක වෙලයි තිබුණෙ.
ඒත්… ඒ අමතක, මතකය ආයෙත් අලුත් වුණානෙ, මේ ඊයෙ පෙරේදා බුකිය කළඹින් දාපු වීඩියෝවකින්. ඊටත් ඒක කෑම සම්බන්ධයෙන් නිසා මගේ යාළුවොත්, හැත්ත බුරුත්ත පිටින්ම, මට පෙරැත්ත..
“අඩෙහ්, උබල ‘යමු’ නේ. මහලොකුවට හයිෆයි කඩ නම් දානව. බලාංකො, පුලුවන් නම් මෙන්න මේ වගේ මිනිස්සුන්ට සප් එකක් දියංකො”
එවෙලෙ නම්… මම අවංකයෙන්ම හිතාගත්ත හෙටම යනව කියල. හිතාගෙන, ඒ වීඩියෝවයි තව වීඩියෝ ආර්ටිකල් ටිකකුයිත් හාරඅවුස්සල බලල හොයා ගත්ත එයාලගෙ කන්ටැක්ට් නම්බර් එක. ඇත්තටම ඒක හොයාගත්තෙ යන්න කලින් දන්වල, මටත් බත් දෙකක් තියන්න කියන්න. ඒත් ඒකෙන් ලොකුවටම සිද්ධ වුණේ එයාලගෙ කතාවෙ යටගියාව මට හරිහැටි දැනගන්න ලැබුණ එක.
ඇත්තටම ඒක නම් හරිම දුක්බර කතාවක්. ඒ වගේම තමයි, මගක් යද්දි ඇස් දෙකට කඳුළු උනන කතාවක්.
හැබැයි… කතාවෙ අවසානය… මට මතක් වුණේම අර ‘ඔලිම්පික් විශිටතම පරාජිතයා වෙච්ච කරුණානන්දව’. මොකද මේ කතාවෙ, කතා නායකයගෙත් ‘අධිෂ්ඨානයයි, උත්සාහයයි’ නම් කිසිම අඩුවක් නෑ. ඊටත් ඒ ආදරණීයත්වය! වචනයකින් තියා, කිසිම ආකාරයකින් විස්තර කරන්න බැරි තරම්.
‘ස්වේත් ලානා’ සුදු ජාතික කාන්තාවක්. එයාගෙ උපන් රට රුසියාව. ‘මනීෂ’ දක්ෂ ව්‍යාපාරිකයෙක්. එයාගෙ උපන් ගම මාතර. මනීෂ මාතර ඉපදුනාට හොඳහැටි ඉගෙන ගෙන කොළඹ ආනන්ද විද්‍යාලයට එනව උසස්පෙළ හදාරන්න. උසස්පෙළත් හැදෑරුවට පස්සෙ මනීෂට අවස්ථාවක් ලැබෙනව රුසියානු විශ්ව විද්‍යාලයකින් උපාධියකුත් හදාරන්න. අන්න ඊට පස්සෙ තමයි මනීෂ හීන පොදි බැඳගෙන රුසියාවට යන්නෙ ජීවිතයට හොඳ අත්තිවාරමක් දාගන්න. එහෙදි ලැබුණු දැන ඇඳුනුම් කමක් මතම තමයි… මනීෂගෙ ආදර කතාබහත් හෙමි හෙමිහිට ගොඩනැගෙන්නෙ.
කොහොමහරි… ස්වේත් කියන්නෙ නම් අතිශයින්ම ගුණයහපත් කාන්තාවක්. වැඩිය ඕන නෑ, ඔය කාට කාටත් බැලූ බැල්මට පේනවනෙ. පොඩ්ඩ බැරි වෙන තැන දික්කසාදය හොයන අපේ ඈයොන්ට, ‘ස්වේත්’!.. තනිකරම විෂය ධාරාවක්. මනීෂ කියන විදියට ස්වේත් පොඩි කාලෙ ඉඳන්ම වැඩිහිටියන්ට, අසරණයින්ට පිහිටවෙන්නෙ කිසිම දෙගිඩියාවකින් තොරවලු. පුංචි කාලෙ දි ම මව් සෙනෙහස අහිමි වීම නිසා, ආච්චි සියගෙත් බර කරට අරගෙන පවුල නඩත්තු කරල තියෙන්නෙ ස්වේත්. ඒ විතරක් නෙවෙයි, ඒ කරදර දුක්ගැහැට මැද්දෙ එයා, එයාගෙ අධ්‍යාපන කටයුතුත් හොඳ හැටි නිම කරල. කොටින්ම කියතොත් ස්වේත් ජේෂ්ඨ ගණකාධිකාරිවරියක්.
මනීෂත් හොඳ ශබ්ද ඉංජිනේරුවරයෙක්. ඒ වගේම, මාධ්‍ය ප්‍රචාරණ අංශයෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්. මනීෂ ලංකාවෙ ව්‍යාපාර කරගෙන යන අතරට පරණ දැන ඇඳුනුම්කම මත තමයි ස්වේත් පළවෙනි පාරට ලංකාවෙ සංචාරයකට ඇවිල්ල තියෙන්නෙ. ඒ ඇවිල්ලත් එයාගෙ වැඩි කැමැත්ත තිබිල තියෙන්නෙ බෞද්ධ සිද්ධස්ථාන, ශිෂ්ඨාචාරය දැක බලාගන්න යන්න.
එහෙම එහෙම ඉතින් කාලයත් එක්ක ගොඩ නැගුණු මෙයාලගෙ ආදරය මීට අවුරුදු හතරකට විතර කලින් විවාහය ජීවිතයකට පෙරළුණා.
අනේ ඒත්…
විවාහ ජීවිතයේ සුන්දරත්වය තියා…
හ්ම්… ඇත්තටම ඒක මතක් වෙද්දි නම් මටත් වචන එන්නෙ නෑ.
අද වෙද්දි මනීෂ දියවැඩියාව, වකුගඩු සහ හෘද රෝගියෙක්. ව්‍යාපාරත් ඔක්කොම බිඳ වැටිල. අම්ම තාත්ත ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ගෙ උදව් ලැබුණත් මනීෂගෙ මුළු ජීවිතය ම දැන් දරා ඉන්නෙ ස්වේත්. හම්බ කරපු මුලු සේසත ම ලෙඩ රෝගවලට වියදම් වෙලා, ආර්ථිකයත් සෞඛයයත් දෙකම බිංදුවට වැටිල තියෙද්දි,
කොටින්ම “මාව අත ඇරල යන්න. ගිහින් හොඳ ජීවිතයක් ගතකරන්න” කියල මනීෂ කියල තියෙද්දිත්,
ස්වේත් කියන්නෙ “මම මනීෂට ගොඩක් ආදරයි. මොනව වුණත් එයාව දාලා යන්නෙ නෑ”
ඒ හයියම ඇති ඉතින්… මනීෂට අද වෙනකම් කිසිම සමාජමය පිළිසරණක් නැතිව තනියෙන් ජීවිතේ ගැට ගහගන්න, ආයෙ ආයෙත් බලාපොරොත්තු ඇතිකරගෙන ඔළුව පොඩ්ඩක් උස්සල ඉන්න. PLOVF කියන්නෙ ඒ විශාල බලාපොරොත්තුවෙ, පුංචි අංකුරයක්.
වගේම… මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, එළවළු මස් අඩුම කුඩුමවලින් හොඳ පදමට රස වෙච්ච, නොම්මර එකේ රුසියානු බිරියානි එකක්.
මාලඹේ, වැලිවිට ස්ලිට් එක ඉස්සරහට ගිහින් ගෙනාපු බිරියානි (රු. 250) පෙට්ටි දෙක අරිනකම් මට ඉවසිල්ලක් තිබ්බෙ නැත්තෙ ට්‍රැෆික් එකේ ඇවිල්ල ඇවිල්ලම බඩගින්න ඩබල් ත්‍රිබල් වෙලා නිසා. ඉතින් සනික අපේවුන් දෙතුන් දෙනෙක් එක්ක කෙළින්ම ගියේ ලන්ච් රූම් එකට. ගිහින් දැම්ම බිරියානි එකක් පිඟානට.
යාළු!
ඒකෙ මස්… තඩි කුකුල් පළුවක් බතටම දාල තම්බල තියෙන්නෙ. සම්බ හාලෙ බතයි, තුනපහ, බිරියානි මික්ස්, රම්පෙ කරපිංච, කුරුඳු එනසාල් කරාබු නැටි… නැති දෙයක් නෑ ආ. ඒ විතරක් නම් බැරියැ පිපිඤ්ඤා පෙති දෙකක් උඩින් තියල, රතු මිරිස් කරලයි අමු මිරිස් කරලයි එක්ක…
බතටත් මික්ස් කරල කියන්නකො හීනියට ලියපු කැරට් කෑලියි, කඩලයි. ඒ මදිවට පැත්තෙන් තියෙනව බටු මෝජුයි, මින්චි සම්බෝලයි. ආයෙ ඉතින් ඒ ටික එකට අනාගත්ත කියන්නේ… රසයි, පංකාදු පහයි!
හැබැයි වැඩේ තියෙන්නෙ ඒක අර අපි සාමාන්‍යයෙන් කන දින්දිගුල්, හයිඩ්‍රාබාද් බිරියානි වගේ නෙවෙයි. ඒවයෙ තරම් බිරියානි මික්ස් රස ඉස්මතු වෙලා නෑ. අනික චිකනුත් රෝස්ට් හරි තන්දුරි හරි නෙවෙයිනෙ.
කොහොම වුණත් උණු උණුවෙ කට දෙක තලුමර මර රස බලන්න නම් කියාපුම…
බිරියානිය කෑවත් හරි අර දුක්බර මූඩ් එකත් මුකුත් නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල කතාවෙ වැදගත්ම කොටස අතඅරින්න බෑනෙ.
මනීෂගෙ දැන් ප්‍රධානම අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ වකුගඩු දෙක ;ක්. ඒකට එයයි, බිරිඳයි ගොඩක් මහන්සි වෙනව. සල්ලි උපකාරවලටත් වැඩිය එයාලට ඕන මේ ලෙඩදුක් ටිකෙන් මිදෙන්න හරි හැටි ප්‍රතිකාර ටික කරගන්න. ඒ නිසා… පරිත්‍යාගශීලි යාළුවනේ,
077 1221768 මනීෂගෙ නොම්මරේ
ඒ පැත්තෙන් දන්න කියන යමක් තියෙනව නම්
උදව්වක් දෙමු නේ…