කුරුළු වසන්තයේ…
කුරුල්ලන්ට ආදරය කරන හැමෝටම වගේම ඒ ගැන පර්යේෂණ මට්ටමෙන් හොයාබලන අයටත්, හිතේ හැටියට කුරුල්ලන් දැකබලාගන්න, මේ දවස්වල හොඳම තැන් අතරිනුත් හොඳම තැනක් තමයි සිංහරාජය කියන්නෙ. ඔයාලා කවුරුත් දන්නව ඇතිනෙ, කොළඹට කිලෝමීටර 120ක වගේ දුරකින් පිහිටල තියෙන මේ සිංහරාජය, අපේ රටේ අනිත් කැලෑවලට වඩා ටිකක් පොඩියි. හැබැයි ජෛව විවිධත්වය අතින් නම් අතිශයින්ම ලොකුයි. කොටින්ම කියතොත් ලංකාවෙ කිසිම භූමිභාගයක නැති තරම් ජෛව විවිධත්වයක් මේ සිංහරාජය ඇතුළෙ තියෙනව.
ඒ අතරින්… සියලු ශාක විශේෂයන්ගෙන් 60%කට අධික ප්‍රමාණයක් සිංහරාජයට ආවේණික සහ දුර්ලභයි. සත්ත්ව විශේෂයන්ගෙනුත් ඊට බොහෝම ආසන්නයි. ක්ෂීරපායින් 8ක්, කුරුල්ලන් 20කට අධික ප්‍රමාණයක්, උරග, උභයජීවි සහ බොහෝ සමනල් විශේෂ, මතස්‍යයින් පවා ඒ අතරෙ වෙනව.
ඒ විතරක්මත් නෙවෙයි, සිංහරාජය ඇතුළෙ කඳු නැගීම වගේ ක්‍රීඩාවලට යන අයටත් හරි අපූරු කඳු මුදුන් ටිකක් තියෙනව. කෙටි දුරවල්වල ඉඳන් දවස ම ඇවිදින්න වුණත් දුර තියෙන. මුලාවැල්ල, ගල්ලෙන් යාය, සිංහගල කියන්නෙ ඒ අතරින් ටිකක් විතරයි හොඳද.
තව… අපේ කතාව කියන්න කලින් පුංචි දෙයකුත් කියන්නම්.
අවුරුද්ද පුරාම පාහේ වර්ෂාවෙන් පෝෂණය වෙන මේ සිංහරාජයෙ ඇවිදින්න යන්න, සොබාදහමෙන් අවසර ලැබෙන්නෙ ඇත්තටම බොහෝම ටික කාලයකටයි. ඒ… දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වගේ වෙනකම් විතරයි.
ඒ නිසාම ඔයාලත්, පුළුපුළුවන් ඉක්මනකට…
ඒ පැත්තෙ රවුමක් ගහන්න දාගත්තොත් නම් හොඳයි, නේ!
කොහොම කොහොමින් හරි ඔය වගේ යටගියාවක් තියෙන සිංරාජයට අපි ගියපු ගමනෙ, විස්තරෙත් කෙටියෙන්ම ඔයාලට කියන්නම්කො.
මීට සතියකට විතර කලින්, යාළුවෙකුයි මායි තමයි මේ ගමන ප්ලෑන් කළේ වගේම ගමනට ලෑස්ති වුණෙත්. ලෑස්ති වෙලා… කලින් දා ම රෑ ගිහිල්ල බස් එකේ යන්න පුළුවන් දුරින් බෝඩ් වුණා. ඇයි ඉතින් ඔය කැලේට, උදෙන්ම යන තරමටනෙ වාසිය. මොකද… දවල් වෙලා ඉර අව්ව තද වුණාම කොහොමත් සතා සීපාවා කැලේ ඇතුළට යනවනෙ. එහෙම ගියොත් හදිස්සියෙවත්, අපි ආයෙ හැන්දැ වෙනකම් ඉන්න ඕන එයාල එළියට එනකම්, දැකබලා ගන්න.
ඒ නිසාම… ප්ලෑන් එකේ හැටියටම, අපිට උදේ 6.30 වෙද්දි ම එතනට ගියා. ගිහිල්ලා… උදෙන් ම සේවයට වාර්තා කරල ඉඳපු ගයිඩ් මහත්තයෙකුත් මුණගැහිලා විස්තරේ කතාකරගෙන තමයි ගමන පටන් ගත්තෙ. එතුමාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. සිංහරාජයෙ අස්සක් මුල්ලක් නෑර දන්න, අවුරුදු 25ක විතර සේවාවක් තියෙන කෙනෙක්.
ඒ වාසනාවෙන්…
පිවිසුමේ දි ම, ඔන්න අපිට ආයුබෝවන් කියන්න බ්ලු මැග්පිල 4-5ක් දෙනෙක් ම ඇවිල්ල. ඒ විතරක් නෙවෙයි, ග්‍රේ හෝන් බිල්, ඔරේන්ජ් බිල්ඩ් බැබ්ලර්… කට්ටියක්ම. ඉතින් හොඳ දවසක් වේවා කියන අදහසින් අපි අඩියක් ගත්ත ඉස්සරහට. අරගෙන… හෙමින් හෙමින් යන ගමනෙ, ගයිඩ් අයිය බොහෝ දේවල් අපිට කියල දෙනව. විශේෂයෙන්ම සිංහරාජයෙ ඉතිහාසය, ඇතුළෙ තියෙන තැන් ගැන, ඒවට යන දුරවල්…
අතරට එයාගෙ කැලෑ අත්දැකීම් එහෙමත්.
වැඩි දුරක් යන්න කලින් ම අපිට ආයෙත් මුණගැහුනෙ ෆ්‍රොග් මවුත් ජෝඩුවක්, කම්මැලිකමේ එකම අත්තකට වෙලා වහල ඉන්න. එතනින් පස්සෙ නම් ඉතින්… ගමන ගිහින් එනකම් ම, මතකය පුරාවට සතා සීපාවා, කුරුළු කොබෙයියො විතරමයි. විශේෂයෙන්ම කියන්න ඕන ගයිඩ් අයියගෙ මහන්සියයි… අපේ වාසනාවයි නිසාමද මන්දා සිංහරාජෙ ඇතුළෙදි පවා කලාතුරකින් දැකගන්න ලැබෙන වුඩ් පිජන්, ග්‍රීන් බිල්ඩ් කෝකුල්, ස්කෙලි ත්‍රෂ් වගේ කුරුල්ලො ටිකකුත් අපිට හමුවුණා. හැබැයි… නිකම්ම නෙවෙයි, කැලේ කොළේ පීරල තරමක් මහන්සි වෙලා කරපු වැඩකිඩ ටිකකින්.
ඉතින් මහන්සිය පොඩ්ඩක් නිවාගන්න කියලමයි අපි, ඒ ලොකු වැඩ කටයුත්තෙන් පස්සෙ කුඩව රිසර්ච් සෙන්ටර් එක පැත්තට ගිහිල්ල වතුර ටිකක් බීලා කෙහෙල් ගෙඩියක් කාලා පොඩ්ඩක් රිලැක්ස් වුණේ. හැබැයි එහෙම රිලැක්ස් වුණා කියල ගයිඩ් අයිය, එන ගමනෙත් ගේම අත ඇරියෙ නෑ. මග දිගට රෙඩ්ෆේස් මල්කොහා ජෝඩු දෙකක්, බේ අවුල් හිටිය කියපු තැනක්, ත්‍රෂ් කූඩුවක්…
වැඩක් නෑ ඉතින් කියල හොඳේ. කොටින්ම ආපහු ගේට්ටුව ළඟට එනකොට අපි, සත්තු ගැන ලොකු දැනුමක් ලබල.
වැඩේ කියන්නේ… ඒ වෙද්දි ටිකක් හවස් වෙලත්. හැබැයි දවල්ට කාලා නොහිටියත්, බඩගින්නකුත් නෑ අහලකවත්.
ඒකනෙ අපි එලියටම ඇවිල්ල කුඩව හංදියෙන්ම… හකුරුයි, ආනමාලුයි එක්ක ආප්ප කෑවෙ!
ආස හිතුණ නේ. එහෙනම් ඒ ගමේ ආප්ප ටිකක්, කිතුල් පැණි ටිකක් එක්ක බතක්, කිරි බතක් කන්න වගේම සොබාදහමට තුරුලු වෙලා දවසක් ගතකරන්නත්…
ළඟදිම දාගන්න ගමනක්…
සිංහරාජෙ පැත්තෙ, දූවිලි ඇල්ලට කිට්ටුවෙන් එහෙමත්!