COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වාගන්න කවුරු කවුරුත් ගෙදරට ම වෙලා ඉන්න මේ දවස්, ටිකක් ඒකාකාරියි. ඇඳිරි නීතිය නිසා එළිපහළියට බහින්නත් බෑ සහ එහෙම යන එක ලොකු අවදානමක්. ඉතින් පායන කාලෙදි කූඹියො කන්න දේ රැස් කරනව වගේ හැමෝම බලන්නේ වෙලාවක් ලැබුණ ගමන් පුළුවන් තරම් කෑමබීම රැස් කරල තියාගන්න. හැබැයි එක පාර ඔක්කොම ගොඩ ගහගත්තම වෙන්න පුළුවන් නරක ම දේ තමයි, කෑමබීමවල කොලිටිය, රස ගුණ එහෙම පහළ බහින එක.
ඉතින්, කෑමබීම ෆ්‍රිජ් එකේ දාල ම කල් තියාගන්න උත්සාහ කරන්නෙ නැතුව, ඒවා කල් තියාගන්න පාවිච්චි කළ හැකි, ලංකාවට හුරුපුරුදු වෙනත් පහසු ක්‍රම කීපයක් ගැන දැනගෙන ඉන්න එක වෙලාවේ හැටියට ප්‍රයෝජනවත් නේද? කියවල බලන්නකෝ.. මේ ක්‍රම අත්හදා බැලුවොත්, කෑම ෆ්‍රිජ් එකේ තියනවට වඩා වැඩි කාලයක් තියාගන්න වගේ ම, කෑමවලට අලුත් අලුත් රස එකතු කරගන්නත් පුළුවන් වේවි.
ලුණු දැමීම සහ වියළීම
රූපය: exploresrilanka.lk
ලුණු දෙහි සහ ලුණු අඹ කියන්නෙ බත් පංගුවක් රස ගුලාවක් කරන්න පුළුවන් ජාති දෙකක්. යහමින් මේ ලුණු ඇඹුල් එකතු වුණාම කොච්චර ලොකු බත් පිඟානක් වුණත් ගිල දාන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. මෙන්න මේව හදන්න පාවිච්චි කරන ක්‍රමය තමයි ලුණු දැමීම සහ වියළීම.
ලුණු දැමීම සහ අව්වේ වියළීම මඟින් දෙහි සහ අඹවල තියන තෙත උරා ගැනීම නිසා, ඒවයේ ආයු කාලය වැඩි වීම තමයි මෙතනදි වෙන්නෙ. ඒ එක්ක ම කුළුබඩුවල දවටලා තිබ්බම මේවයින් උපදින්නෙ කියන්න බැරි තරම් රස ගොඩක්.
වැඩිපුර තියන මාළුත් මේ ක්‍රමේට ම කල් තියාගන්න පුළුවන්. ඒ කියන්නෙ මාළු, කරවල බවට පත් කරන්න මේ ක්‍රමේ යොදාගන්න පුළුවන්. හොඳින් පිරිසිදු කරපු මාළු, ලුණුවල දවටලා හොඳින් අව්වේ වියළීම මඟින් මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේ හුඟක් ධීවර ගම්මානවල (මන්නාරම, මීගමුව සහ දකුණු පළාතේ ගම් ආශ්‍රිතව) මහා පරිමාණයෙන් මේක සිදු කෙරෙනවා.
ලුණු දාපු මාළු අව්වේ වියළන්න ඒ අය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ කොහුවලින් හදපු පැදුරු. මේවා වරින් වර දෙපැත්ත දාල දෙපැත්ත ම හොඳට අව්වෙ වේළෙන්න අරින එක තමයි ක්‍රමය.
රූපය: TheCulinaryCorner
ජාඩි! දකුණු පළාතේ නිෂ්පාදනයක් වෙන මේක, ලුණුයි ගොරකයි විතරක් දාලා මාළු කල් තියාගන්න පුළුවන් ක්‍රමයක්.
මැටි මුට්ටියක ගොරකා, ලුණු සහ මාළු, තට්ටු විදිහට මාරුවෙන් මාරුවට අඩුක් කරලා, ඉන් පස්සෙ මුට්ටියෙ කට හොඳින් වහල සති කීපයක් තියල තියනවා. ලුණු සහ ගොරකා මාළුවල ජලය උරාගන්න ගමන්, ඒවට අලුත් රස එකතු කරනවා. මුට්ටියේ කට හොඳින් වහන්න කියන්නෙ වාතය සහ වෙනත් දේ ඇතුළු වෙලා මාළු නරක් වෙන එක වළක්වගන්න ඕන හින්දයි.
ඒ වගේ ම, වියළීමෙන් සමහර එළවළු වර්ගත් කල් තියාගන්න පුළුවන්. උදා: අටුකොස්
ස්මෝක් කිරීම
මස් මාළු වර්ග කල් තියාගන්න ලේසි ම ක්‍රමය තමයි මේ. මස් මාළුවලට අලුතෙන් රසක් එකතු කරන්න පුළුවන් වුණාට මේක ටිකක් වෙලා යන වැඩක්. සමහර මස් මාළු ජාති හරියට ස්මෝක් වෙන්න පැය 12ක් විතර යනවා. ඒ වගේ ම මේක කරන අතරෙ මස් මාළු නරක් නොවී තියාගන්න නං ඒ දිහා ඇහැ ගහගෙන ම ඉන්න එක අත්‍යවශ්‍යයි. සම්පූර්ණ ක්‍රියාවලිය ඉවර වෙන්න දවස් දෙක තුනක් යනවා. අනෙක් අතට දුම වැදිලා හමේ ආසාදන එන්නත් ඉඩක් තියනවා.
ව්‍යාපාරික කටයුතු විදිහට මේවා කරන අයට ගන්න ස්මෝක් කරන යන්ත්‍ර වෙළෙඳපොළේ තියනවා. ඒත් ගෙදරදි කරනවා නං, සාමාන්‍ය ක්‍රමය තමයි අඟුරු තට්ටුවක් උඩ එලපු දැලක් උඩ මස් මාළු තියල ස්මෝක් කරගන්න එක
සීනි දැමීම
සීනි දාල කල් තියාගන්න පුළුවන් හොඳ ම දේ තමයි පලතුරු. ජෑම් සහ චට්නි කියන්නේ ඒ විදිහට පලතුරුවලින් නිපදවන රස කෑම ජාති දෙකක්. පොඩි කරපු පලතුරුවල තියන වතුර ගතිය අඩු කරන්න ඒවට දාන සීනිවලට පුළුවන්. ඒකෙන් පලතුරුවල ආයු කාලය දික් වෙනවා.
ඒ විදිහට රස අඹ චට්නියක් හදාගන්න කැමති නං මේ වීඩියෝ එක බලන්න.
මිදවීම
ගෙදර ම හදපු යෝගට් සහ මීකිරි කමු ද? නියම විදිහට කිරි මුදවගත්තොත් ඒක අමාරු වැඩක් නෙමෙයි. මේක කරන්නේ මෙහෙමයි. කිරිවල ස්වාභාවික ප්‍රෝටීන් එහෙම වෙනස් වෙන විදිහට මුලින් ම එක් උෂ්ණත්වයකට කිරි උණු කරනවා. ඊට පස්සෙ එහි අඩංගු ක්ෂුද්‍ර ජීවීන්ට හානි නොවෙන විදිහට එහි උෂ්ණත්වය අඩු කරනවා. යෝගට් හෝ මුදවපු මීකිරිවල රස සහ පෙනුම රඳා පවතින්නෙ මේ ක්ෂුද්‍ර ජීවීන්ට හානි නොවෙන තරමටයි.
මීපැණිවල දැමීම
රූපය: istockphoto.com
වැදි ජනතාව අතර සුප්‍රකට ක්‍රමයක්. ඔවුන් මස්, පලතුරු වගේ දේවල් කල් තියාගන්නෙ මීපැණිවල දාලා. බැක්ටීරියා නාශකයක් විදිහට වැඩ කරන මීපැණි, මේ මස් සහ පලතුරු ඔක්සිජන්වලට නිරාවරණය නොවී තියාගන්න උදව් වෙනවා. ඒ විතරක් ද, මස්වල සහ පලතුරුවලට පැණි රසක් එකතු කරලා කෑම වේල රසවත් කරගන්නත් මේ ක්‍රමයෙන් පුළුවන්.
වැලි යට දැමීම
රූපය: healthbenefitstimes.com
කෑම ජාති වැලිවල දානව කියන එක නං ටිකක් අමුතුයි නේද? හැබැයි මේක ලංකාවේ කාලාන්තරයක ඉඳන් සිදු කෙරෙන, ආහාර කල් තබාගැනීමේ පැරණි ක්‍රමයක්. පීඑච් මට්ටම, අඩු උෂ්ණත්වය, ඔක්සිජන් සහ ආලෝකයේ මඳ බව හේතුවෙන් වැලි යට දැමීමෙන් කොස් ඇට, දෙහි වගේ ජාතිවල ආයු කාලය වර්ධනය වෙනවා.
අච්චාරු
අච්චාරු කියන්නෙ ඇත්තට ම ආහාර කල් තබා ගැනීමේ ක්‍රම දෙකක එකතුවක්. මේ එකතු වෙලා තියෙන්නෙ ලුණු දැමීම සහ සීනි දැමීම කියන ක්‍රම දෙක. ඒ එක්ක ම විනාකිරි චුට්ටක් සහ කුළුබඩු වර්ග කීපයක් එකතු කරගන්න එකයි මේකෙ විශේෂත්වය. පලතුරු වුණත් එළවළු වුණත්, අච්චාරු දානවා කියන්නෙ කටට කෙළ උනන වැඩක්!