අපේ ජීවිත කාලය තුළ අපි දැනගෙන හිටපු පෘථිවිය, සහමුලින් ම කණපිට හරවන්න මේ දක්වා ලෝකයේ සිදු වුණ කිසිම ආකාරයක ස්වාභාවික හෝ මිනිසා නිර්මාණය කළ ව්‍යසනයකට නොහැකි වුණත්, කොරෝනා වෛරසය ඒක කළා. එක රටක, දෙකක නෙමෙයි, මුළු ලෝකයේ ම ජන ජීවිතය එහෙම පිටින් ම වෙනස් කරන්න කොරෝනාවලට හැකි වෙන්නෙ අපේ ඇස් ඉස්සරහමයි. බොහෝ දේවල් ගැන අපි හිතාගෙන හිටපු විදිහ වෙනස් කරන්න වගේ ම, ජීවිතේ හැම දේට ම අලුත් අර්ථකථනයක් දෙන්න කොරෝනා වෛරස ව්‍යාප්තිය සමත් වුණා.
ඒ කොහොමද? කියවල බලන්න…
ආරක්ෂාව කියන්නෙ මොකක්ද?
අපි මෙච්චර කල් හිතන් හිටියෙ ආරක්ෂාව කියන්නෙ අවිආයුධවලින් ලබාගන්න පුළුවන් දෙයක් කියල. විශේෂයෙන් අපේ රටේ උදවිය. සිවිල් යුද්ධයකින් අවුරුදු තිහක් බැට කාපු රටක් විදිහට අනාරක්ෂාව කියන්නෙ මිලිටරිමය විදිහට පාලනේ කරන්න පුළුවන් දෙයක් කියලයි අපිට දැනෙන්නෙ. හැබැයි මිනිසාට ඉන්න ඇත්ත ම සතුරා කවුද කියල වෙන විදිහක අදහසක් කොරෝනා නිසා අපිට එනවා. අවිආයුධ නැව් ගණන් අපි ළඟ තිබුණත් කොරෝනාවලට ඒක අදාළ නෑ. සෞඛ්‍යයට එල්ල වෙන තර්ජනය තරම් වෙනත් අනාරක්ෂාවක් මේ ලෝකෙ නැති බව දැන් දැන් අපිට ඒත්තු යමින් තියනවා.
වෙන් වෙන් ව එකට ඉන්නෙ කොහොමද?
අපි, විශේෂයෙන් ලංකාවෙ පුරවැසියො, තනියම ඉන්න මිනිස්සුන්ට කැමති නෑ. හැම වෙලේ ම කණ්ඩායමක් එක්ක එකට ඉන්නයි අපිව පුංචි කාලෙ ඉඳන් උනන්දු කරන්නෙ. හැබැයි සාමූහිකත්වය කියන්නෙ භෞතිකව පිරිසක් විදිහට ඒකරාශී වෙලා ඉන්න එක නෙමෙයි කියල කොරෝනා කියල දෙනවා. සාමූහිකත්වය කියන්නෙ අනෙකා ගැන සිතීම. ඒක තියෙන්න ඕන අපේ ඔළුව ඇතුළේ. තමන් සහ අනෙකා කියන දෙපිරිසේ ම යහපත වෙනුවෙන් වෙන් වෙලා තනිව ඉන්න කියලයි කොරෝනා යෝජනා කරන්නෙ. එහෙම බැලුවම ඇත්තට ම හැමෝම ගැන හිතනව කියන්නෙ, තමන්ගෙ වැඩක් බලාගැනීම.
ආගම ද විද්‍යාව ද?
ඡායාරූපය: www.theguardian.com
මුළු ලෝකෙ ම අඩපණ කරන කරන මෙච්චර ලොකු වසංගතයක් ඇවිත් තියන වෙලාවක, කිසිම ආගමකටවත් දෙවි කෙනෙකුටවත් අපිව බේරගන්න බැරි ඇයි? විපතකදි මුලින් ම පලා යන්නෙ ආගම කියල, දැනට ජීවත්ව ඉන්න මිනිස් පරම්පරාවලට ඇස් පනාපිට ඔප්පු කරන්න කොරෝනා සමත් වුණා. විද්‍යාව කොරෝනා වෛරසයට එරෙහිව මිනිස්සු වෙනුවෙන් සටන් කරද්දි, තාමත් ආගම සටන් කරන්නෙ අවමංගල සිරිත්විරිත් වගේ බමුණු මත වෙනුවෙන්. කොරෝනාවල උපත ගැන සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් පළ කරපු ගල් පැළෙන විස්මිත අදහස් ඕගොල්ලො හැමෝම ටීවී එකේ, ෆේස්බුක් එකේ එහෙම දකින්න ඇති!
ඇත්ත ම වීරයො කවුද?
අපේ රට දේශපාලකයො සලකන්නෙ කර උඩ තියාගෙන වන්දනාමාන කළ යුතු පිරිසක් හැටියට. හැබැයි මේ වසංගත ව්‍යාප්තියත් එක්ක ඒගොල්ලො කොහෙන් ගියා ද නෑ නේද? ඇත්ත ජනතා සේවකයො ජනතාවට විපතක් පැමිණි වෙලාවට හැංගෙනවද? ඇත්ත ම වීරයො කියන්නෙ ජීවිත අවදානම නොතකා මේ වෙලාවේ මිනිස්සුන්ව නිරෝගීව තියන්න සටන් කරන අයට බව අපිට වැටහෙන්න කොරෝනා එනකන් ම ඉන්න වුණ එකයි දුක! හැබැයි, දැනටත්, මේ මොහොතෙත් අපි සල්ලි වියදම් කරන්නෙ ඒ ඇත්ත වීරයන්ගෙ වේතනය වැඩි කරන්න, ඔවුන්ට කෘතගුණ සලකන්න නෙමෙයි. අපි මේ දැනුත් සල්ලි වියදම් කරමින් ඉන්නවා, ඔවුන් වීරයෝ බව කියවෙන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්න!
සොබාදහම අපිට යටත් ද?
මිනිස් ප්‍රජාව කොච්චර අහංකාර ද කියනව නං, අපි හිතන් ඉන්නවා සත්තු සහ ස්වභාව ධර්මය මානවයාට යටත් කියල. ඒත් මෙහෙම අවස්ථාවක තමයි අපිට වැටහෙන්නෙ සොබාදහමට සාපේක්ෂව මිනිස්සු කොච්චර දුර්වලයි ද කියල. එක ග්‍රහලෝකෙක දේශසීමා වැටවල් ගහගෙන බෙදිල මරාගන්න එක විහිළුවක් බව, මිනිසා විසින් සත්තු හිර කරල තියන් ඉන්න විදිහට ම දවසක මිනිස්සු හිර කරල තියන්න සොබාදහමටත් පුළුවන් බව අපිට ඒත්තු ගන්නන්න, ඒ ඔස්සේ මිනිස්සුන්ගේ අධිමාන්නය, ඊගො එක දෙපළු කරන්න, කොරෝනා සෑහෙන දායකත්වයක් ලබා දුන්නා.
ජීවිතේ අපි හිතපු තරම් සංකීර්ණ ද?
මුදල් පස්සෙ ම අධිවේගයෙන් දුවන සමාජයක ජීවත් වෙන අපි, ආහාරපාන නැති වුණාම මුදල් කෑමට ගන්න බැරි බව ඉගෙනගත්තෙ කොරෝනා හින්දයි. ඔළුව අවුල් කරගෙන තුන්තිස් පැයේ ම රස්සාවට දුවන අපිට, රස්සාව කියන්නෙ ජීවිතේ ම නෙමෙයි කියල තහවුරු කරන්න කොරෝනාවට පුළුවන්. එහෙම බැලුවම පාරෙ නිදාගත්ත මිනිස්සුන්ට හෙවණක් දෙන්න සමාජයක් විදිහට අපිට බැරිකමක් නෑ. කන්න බොන්න නැති මිනිස්සුන්ට බඩුමල්ලක් ගිහින් දෙන්න අපිට කවදාවත් බැරිකමක් තිබිල නෑ. පෙම්වතා හැර ගියත්, බිරිඳ දික්කසාද වුණත්, වෙලාවට බැංකු ණය පියෙව්වෙ නැති වුණත්.. සියදිවි නසාගන්න ඕන නෑ. ජීවිතේ අපි හිතපු තරම් දිග එකක්වත් ආතති සහගත එකක්වත් නෙමෙයි කියල කියල දෙන්න කොරෝනා සමත්. අපි ජීවත් වෙන කෙටි කාලෙ ඇතුළත ගෙවෙන ‘මේ මොහොත’ විතරයි වැදගත්!