පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යවල ගැවසුණා නං ඕගොල්ලො අනිවාර්යයෙන් දකින්න ඇති මේ වීඩියෝ එක.
මේ තියෙන්නේ මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා වැඩසටහනේ 12 වෙනි සීසන් එකේ කොටසක්. මේ වැඩසටහනට සහභාගි වුණ ඩැනී වෙන් කියන සූපවේදී තරගකාරිය ලංකාවේ කෑම හදල, ගෝඩන් රැම්සි ඇතුළු තරගයේ විනිසුරුවරුන්ගේ අතිමහත් ප්‍රසාදය දිනාගන්න සමත් වුණ විදිහ තමයි ඒ! වැඩේ කියන්නෙ මේ තරගෙට එයා හෙන සංකීර්ණ කෑම ජාති හැදුවෙ නෑ. එයා හැදුවෙ කකුළු කරියක්, අන්නාසි කරියක්, පොල් සම්බෝල සහ රොටී!
ලංකාවේ ආහාරවල රසගුණ ගැන ඩැනී වෙන් මේ වැඩසටහනේ දි කතා කරන්නෙ හරිම උත්කර්ෂයෙන්. මේ වැඩසටහනෙන් ලංකාවට ජාත්‍යන්තර අවධානය අරන් දෙන්න වගේ ම, අපිව ආඩම්බරයට පත් කරන්නත් එයාට පුළුවන් වුණා.
ඒ නිසා ම, අපේ රටේ කෑම මෙච්චර විශේෂ වෙන්න හේතු මොනවද කියල අපි නැවතිලා පොඩ්ඩක් හිතල බැලුවා. මේ තියෙන්නෙ ඒ හේතු!
කුළුබඩු
එක එක තාලෙ කුළුබඩු නොදා හදන ලංකාවේ කරියක්, නියම ලංකාවේ කරියක් ද කියල සැක හිතෙන තරමට, ලංකාවේ අපි හැම කරියට ම හොඳහැටි කුළුබඩු එකතු කරනවා. ඇත්තට ම අපි මේකෙන් කරන්නෙ කෑම සැරෙන් වැඩි කරන එක ම නෙමෙයි. එක එක කරියට ඕන විදිහට එක එක රස, ගුණ, පෙනුම, සුවඳ එහෙම එක එක විදිහට ඉස්මතු කරන එකයි කුළුබඩුවලින් වෙන්නෙ.
උදාහරණයක් විදිහට සරල අල හොද්දක් ගමු. කහ, තුනපහ, ලුණු, ගම්මිරිස්, සූදුරු, මහදුරු, කරපිංචා, රම්පෙ, දෙහි, අමුමිරිස් වගේ අල හොද්දට අපි දාන හැම දෙයක් ම, ඒකට විශේෂ රසක්, සුවඳක් නැත්තං පෙනුමෙ වෙනසක් හරි එකතු කරන්න සමත්. කහවලින් කහ පාට, අමුමිරිස්වලින් සැර, දෙහිවලින් ඇඹුල්, තුනපහවලින් රස.. ආදී වශයෙන්. මේ කිව්වෙ සරල ම සරල අල හොද්දක් ගැන නේ. ඊට වැඩිය සංකීර්ණ කරියක් උයන්න ගියොත් තේරෙයි, කුළුබඩුවලින් කරන්න පුළුවන් මැජික්වලට සීමාවක් නෑ කියල!
පොල් කිරි
අපි පොල් ගාල හදාගන්න පොල් කිරිවලට, අපේ දේශීය ඉවුම් පිහුම් ශාස්ත්‍රයේ විශේෂ තැනක් හිමි වෙනවා. බත්, පාන්, රොටී, ඉඳිආප්ප.. මේ ඕන දෙයක් කනකොට අපිට නැතුවම බැරි හොදි හදාගන්නෙ මේ පොල් කිරිවලින් නේ. ඉතින් අපේ කෑම රස වෙන තවත් රහසක් තමයි පොල් කිරි.
කෙසෙල් කොළේ/ නෙළුම් කොළේ
උයපු බත් සහ ව්‍යංජන මුලක් විදිහට බඳිනකොට කෙසෙල් කොළයක් හරි නෙළුම් කොළයක් හරි පාවිච්චි කරන්න ලංකාවෙ අපි ආදි කාලෙ පටන් ම පුරුදු වෙලා ඉන්නෙ නිකන් ම නෙමෙයි. ඒකෙන් කෑම ඉක්මනින් නරක් වෙන එක වැළකෙනවා වගේ ම, බඩගිනි වැඩි වෙන විදිහේ රසක් සහ සුවඳක් බත් මුලට එකතු වෙනවා.
කළු පහේ
අපි කලින් කිව්ව වගේ, අපි හරි කැමතියි පුළුවන් තරං කුළුබඩු එකතු කරගෙන කෑම රස කරන්න. ඉතින් කළුපහේ කියන්නෙ ඒ වගේ හදාගන්න ටිකක් සංකීර්ණ මිශ්‍රණයක්. කළුපහේ ගැන විශේෂයෙන් කියන්න හිතුවෙ ඒකයි.
මේ මිශ්‍රණයෙන් හැඩ වැඩ වෙලා එන කෑම ජාති දෙකක් විදිහට ලංකාවේ බ්ලැක් පෝක් කරිය සහ ඇඹුල් තියල් නම් කරන්න පුළුවන්. පදමට ලුණු ඇඹුල් එහෙම කලවම් වෙලා ආවම රස නහර පිනා යනව නේ ඉතින්. මේ මිශ්‍රණය එක එක රසවල ලොකු එකතුවක් විතරක් නෙමෙයි, මස් සහ මාළු කටට සුමුදුවට හැපෙන්නත් කළුපහේ එකතුව බලපානවා.
රස පදම
ලංකාවේ කෑම වේලක සියලු ආකාරයේ රස වර්ග අන්තර්ගතයි කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි. සැර, පැණි රස, ලුණු, ඇඹුල්, තිත්ත රස පවා.. ඉතින් තමන් කැමති රස එකතුවක් පදමට හදාගෙන බඩ පිරෙන්න කන්නයි තියෙන්නෙ.
මිරිස්
මිරිස් කියන්නෙ මිනිස්සු අඬවන්න පවා පුළුවන් දෙයක් වුණාට මොකද පදමට මිරිස් නොදැම්මොත් අපේ කෑම වේල අසම්පූර්ණයි. කොච්චර කිරට හදන කෑමකට වුණත් මිරිස් කෑල්ලක් දෙකක් පෙනෙන නොපෙනෙන ගාණට දාන එක අපේ පුරුද්දක්. ඒකට ම හරි යන්න අපේ රටේ ඇති තරං මිරිස් ජාතිත් තියනවා. කොච්චි මිරිස්, නයි මිරිස්, මාළු මිරිස්, බෙල් පෙපර්.. කොච්චර සැර වුණත් මේ ඕන එකක සැර දරාගැනීමේ හැකියාවකුත් අපිට තියනව නේ ඉතින්!
අලුත් ම මාළු
ඉන්දියන් සාගරයෙන් වට වුණු දූපතක් වීමේ වාසිය තමයි මේ. අපිට ලැබෙන්නේ අලුත් ම අලුත් මුහුදු මාළු. කිලෝමීටර 1800ක් දිග ලංකාවේ වෙරළ තීරය දිගේ ධීවර ගම්මාන සහ නගර විශාල ප්‍රමාණයක් තියනවා. බේරුවල, මීගමුව, ගාල්ල, වැලිගම සහ කොග්ගල ඊට උදාහරණ. මේවයින් සැපයෙන මාළු, දේශීය වගේ ම විදේශීය වෙළෙඳපොළටත් යනවා.
අඩුමකුඩුම
හැම රසකින් ම සමබර කෑම වේලකට කැමති අපි, ඒකෙ අපි කැමති එක රසක් හරි අඩු නං අනුගමනය කරන පිළිවෙතක් තියනවා. ඒ තමයි මදිපාඩුවට එකතු කරගන්න අඩුමකුඩුම. චට්නි ටිකක්, අච්චාරුවක්, පොල් සම්බෝලයක්, පපඩමක් වගේ දේවල් අයිති වෙන්නෙ මේ ගොඩට. කරි ගොඩක් තිබ්බත් නැතත්, හොඳ පොල් සම්බෝලයක් වගේ දෙයක් විතරක් එක්ක වුණත් බත් පිඟානක් ගිලින්න අපිට ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ නෙ?
තේ
තේ කියන්නෙ ලංකාවෙ අපේ අමෘතය! කෑම වේලකට කලින් වුණත්, කෑම වේලක් අතරෙ වුණත්, කෑම වේලකින් පස්සෙ වුණත්, මේ ඕන ම වෙලාවක අපි තේ කෝප්පෙකට ලෑස්තියි. කෑම දිරවන්න වගේ ම, ඇඟට අලුත් පණක් ලබා දෙන්නත්, හිතට නැවුම් බවක් ගේන්නත් හොඳ තේ කෝප්පෙකට පුළුවන්..