හැමදාම කියන ඔක්කොම කෑම ලොකු ලොකු ඒවා නිසා..
අද අපි කල්පනා කලා, කුස්සිය වටපිටාවෙ තියෙන දේ උපරිමයෙන් පාවිච්චි කරල කටට රහට හදන්න පුලුවන්, ටොප් ෂෝට්ඊට්ස් ජාති ටිකක් ඔයාලට කියන්න. එහෙම කිව්වට ඉතින් මේවටත් ඕන සමහර අඩුපාඩු නම් කොහෙන් හරි හොයාගන්න වෙයි..
කොහොම වුනත්, එහෙම හැදුවොත් ආයෙ පොඩි බඩගින්නට.. නොම්මර එකයි හොඳේ!
1. පාන් ඔම්ලට් සොසේජ් රැප්
ෂෝට් ඊට්ස් කිව්වට මේක නම් ඇත්තටම ලොකු බඩගින්නකට වුනත් කියාපු භාණ්ඩෙ. මොකද පෝෂණයෙන් අනූනයිනෙ. මේකෙදි ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ බිත්තර 2ක් කඩල භාජනයකට දාලා ඒකටම පොඩී..යට කඩපු පාන් කාලකුත් එකතු කරගන්න එක. ඊට පස්සෙ ඒක හෙමිහිට කලවම් කරන ගමන් දාන්න පොඩි පොඩියට කපපු කැරට්, ලීක්ස්, ලූණු, අමු මිරිස්.. ඕනම ජාතියක්. හැබැයි මතක ඇතුව ගම්මිරිස්, කෑලිමිරිස් එක්ක ලුණු නම් පදමටම එකතු කරන්න. කොහොමහරි අන්තිමට මික්ෂර් එක හොඳටම හැදුනට පස්සේ.. පෑන් එකක් ලිපේ තියල ඒකට මික්ෂර් එකෙන් කෝප්පයක් වගේ දාලා වටේ කරවල රොටිය වගේ හදන ගමන් අයිනෙන් තියන්න සොසේජස් එකක්. ඒකෙත් රස වැඩි කරගන්න පුලුවන් කලින් ෆ්‍රයි කරල වගේ ගන්න තිබ්බ නම්.
කෙසේ වෙතත් අන්තිමටම.. රොටි ඔම්ලට් එක හැදීගෙන එනකොට අර සොසේජ් එකත් එක්ක අල්ලල රෝල් කරල අරගෙන, ආයෙ පෑන් එකේ පොඩ්ඩක් දෙපැත්ත දාලා ගත්ත නම්..
2. මික්ස් පොල් රොටි
නිකම් පොල් රොටි හැමදාම කන එකේ.. නරකද මෙහෙම හැදුවොත්?
ඉස්සෙල්ලම සාමාන්‍ය පොල් රොටි මිශ්‍රණය හදාගන්න. හැබැයි ඒකට අඩු නැතුව ලූණු, අමුමිරිස් ටික දාගන්න. ඊට පස්සෙ තෙල් ටිකක් ලිපේ තියලා මුලින්ම දාන්න හොඳට සුද්දකරල හෝදල ගත්තු පුංචි හාල් මැස්සො ඇති පදමට. දාලා ඒ ටික බැදීගෙන එනකොට දාන්න අබ චුට්ටක් එක්ක සුදුලූණු, රම්පෙ, කරපිංච සියල්ලමත්. ඒ ටිකත් රන්වන් පාට වීගෙන එනකොට හීනියට ලියපු ලීක්ස්, කැරට්, ගෝවා ඇති හැටියට එකතු කරල, ලුණුත් පදමටම එකතු කරල, එළවළු ටික වැඩිය තැම්බෙන්න නොදී බාගන්න. බාලා ඉතින් ඒ තෙල් ටිකත් එක්කම අර පිටිමෝලියට දැම්මට කමක් නෑ. මොකද ඊට පස්සෙ ඒ ඔක්කොම හොඳ හැටි අනන්න එපැයි. අනලා.. තුනීයට රොටි හදල පුච්චන්නයි තියෙන්නෙ.
3. කොස් මදුලු කට්ලට්
සුප්ප කෑමක් තමයි. හැබැයි මේකටත් මුලින්ම ඕන කටු අයින් කරපු හොඳ කරවල කෑලි ටිකක්. අරගෙන.. පොඩි පොඩියට කපල හොඳට සැර තියෙන්න තෙල් දාගන්න, පොඩීයට කපපු අල ටිකකුත් එක්කම. අනිත් එක ඒකට ලූණු අඩුම කුඩුමත් ඇති වෙන්න දාන්න හොඳද. ඒ අතරට.. කොස් මදුලු ටිකක් එක පැත්තකින් පලල, ඇටේ අයින් කරල මැද හිස් කරගන්න. හිස් කරල ඒ ටිකත් හොඳහැටි තම්බගන්න ඕන. තම්බලා.. අන්තිමටම, අර කරවල තෙල් දැමුමෙ අල ටිකත් හැන්දෙන්ම පොඩි කරල, කරවලත් එක්ක මික්ස් කරල තම්බපු කොස් මදුලු වලට පුරවගන්නයි තියෙන්නෙ. ඊට පස්සේ මදුලු ටික කැමති නම් පෑන් ෆ්‍රයි කරන්නත් පුලුවන්. නැත්නම් දවටල බදින්නත් පුලුවන්. නැත්නම් ග්‍රිල්ඩ් කරන්නත් පුලුවන් හ්ම්…
4. සැමන් බුල්සායි ටෝස්ට්
මේකත් පෑන් එකේම දාන සෙල්ලමක් තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස්. මේකෙදි ඉස්සෙල්ලම අපි සැමන් ටිකක් අරගෙන ලුණු, ඇඹුල් එකතු කරල පැයක් හමාරක් පදම් වෙන්න අරිනව. ඒ අතරට.. පාන් ගෙඩියක් අඟලක විතර පෙති වලට කපාගෙන, ඒ පෙතිවල මැද්ද කපල හෙමිහිට අයින් කරගන්න ඕන වාටියෙ ඉඳන් අඟලක් වගේ ඉතුරු වෙන්න, වගේම ඒ මැද කොටස ආයෙ ගන්න පුලුවන් වෙන්න. ඊට පස්සේ.. අර පදම් වෙච්ච සැමන් සාමාන්‍යයෙන් ඇඟලි පුරුකක විතර කෑලි 2, 3ක් පෑන් එකට දාලා පොඩ්ඩ ෆ්‍රයි වේගෙන එද්දි, ඒ ටික මැදි වෙන්න අර පාන් පෙත්තක් තියල අතින් හොඳට තද කරගෙන, බිත්තරයක් කඩල දාන්න. දාලා බිත්තරේ අඩිය පොඩ්ඩ ඇල්ලුවාම පිට යන්නෙ නෑනෙ. ඊට පස්සෙ ඒකට ලුණු ගම්මිරිස් ටිකක්, කැමති නම් ලූණු ටිකක් එහෙමත් දාලා සනික, කලින් කපපු මැද කෑල්ල උඩින් තියල හැන්දෙන් තද කරන්න. තද කරල ඉතින් යට පැත්ත කරවෙන්න ඇරලා.. අනික් පැත්ත දාලා, කර කරල ගත්ත නම්..
ඕන නෑනෙ කියන්න ඉතින් නේ..!
5. බිස්කට් කැල්සෝන්
ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි කමක් නෑ අරගෙන දාන්න තැටියකට, හැබැයි ක්‍රීම් කැකර් එකක් ගිලෙන්නෙ නැති උසකට. ඒ කියන්නෙ තැටියෙ ක්‍රීම් ක්‍රැකර් එකක් තිබ්බාම පෙඟෙන්නෙ තියපු පැත්ත විතරයි. එහෙම ක්‍රීම් කැකර් තියලා.. ඒවා පෙඟීගෙන එනකොට උඩින් අතුරන්න හීනියට ලියපු කුකින් චොක්ලට් තුනී තට්ටුවක්. ඊට පස්සෙ ඒ උඩින් ඒ විදියටම හිනියට ලියපු මාෂ්මෙලොසුත් තුනී තට්ටුවක්. අතුරලා.. පෙඟෙන්න දාපු තව ක්‍රීම් කැකර් එකක් අරගෙන උඩින් තියල අතින් තද කරල හතර පැත්ත සීල් වෙන්න වගේ හදල දාන්න අවන් එකට. නැත්නම් පෑන් එකේ.. බටර් ටිකක් ගාලා අඩුම ගින්දරේ පියනකින් වහල කුක් කරගන්න.
හැබැයි වැඩිය කන්න එපා, මොන ලෙඩක් උඩ එයිද දන්නෙ නෑ හොඳද!