ගෙදරට වෙලා දැන් මාසෙකටත් වැඩියි නේද? දැන් නං හොඳ ගණන් කියල හිතෙනව ඇති හැමෝටම. සමහරු කම්මැලිකමේ ඉන්න අතරෙ තවත් සමහරු සෑහෙන නිර්මාණශීලී දේවල් කරන්න උත්සාහ කරන බව පේන්න තියනවා. උයන පිහන එක ඒ අතරින් ඉදිරියෙන් ම තියනවා. ඒ නිසා ම උයන්න පිහන්න කැමති අය වෙනුවෙන් යමු එකේ අපි පොඩි අභියෝගයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි #yamuquarantinecookoff.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ගෙදර ඉන්න මේ දවස්වල, ඕගොල්ලො කටට රසට උයන පිහන දේවල් ගැන අපිටත් කියන්න. ඔයාගෙම අතින් හදපු කෑමබීමවල ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක්, #yamuquarantinecookoff හෑෂ්ටැග් එකත් එක්ක ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරන්න. @yamulk ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක ෆලෝ කරන්න. ඔයාගෙ ඉවුම් පිහුම් හැකියාව YAMU ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකෙන් හැමෝටම පෙන්නන්න අපි ලෑස්තියි!
මේ වෙද්දිත් #yamuquarantinecookoff එකට ලැබෙන ප්‍රතිචාර අතිමහත්. විවිධාකාර කෑමබීමවල ෆොටෝ, වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් අපිට දවසකට ලැබෙනවා. ඉතිං, තාමත් මේ ඉවුම් පිහුම් අභියෝගෙට එකතු වුණේ නැත්තං, ඒ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න හොඳ රෙසිපි කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න හදන්නේ. මේව හදල ගෙදර ඉන්න ඔයාගෙ පවුලෙ අයව සප්‍රයිස් කරන්නත් බැරි වෙන එකක් නෑ.
බීෆ් බෝන් කරිය
පහේ ජාතිවලින් රස ගැන්වුණු රස නහර පිනා යන හොද්දක් තමයි මේ කරිය. මේක හදන්නෙ අලත් දාල නිසා බත් පිඟානක් ගිලින්න මේ කරිය විතරක් හදාගත්තත් ඇති. හදන්නත් පහසුයි.
ක්‍රීමි චිකන් කරිය
පාන්, පරාටා, බිත්තර රොටී.. මේ ඕන දේකට පෑහෙන උකු කරියක් මේ. ක්‍රීමි ගතියෙන් අනූන නිසා එක බිංදුවක්වත් අහක යන එකක් නෑ..
මට්න් කරිය
කුළුබඩු, අමුමිරිස්, ලූනු, තක්කාලි.. මෙකී නොකී දේවල්වලින් සරු මේකට මුදවපු මීකිරි ටිකකුත් දාලයි හදන්නෙ. බටර් නාන් හරි ගාලික් නාන් හරි එක්ක ගාගෙන කාල බලන්නකො රසපදම.
ටින් මාළු කරිය
මාළු ගන්න එළිපහළියට යන්න අපහසු මේ දවස්වල ටින් මාළු කියන්නෙ හොඳ විකල්පයක්. මේ කරිය හොඳ කිරිබතක් එක්ක ගළපන්න කියාපු කරියක්.
යාපනේ කකුළු කරිය
මේ දවස්වල හොයාගන්න අමාරුයි තමයි. ඒත් හදිස්සියෙවත් හම්බුණොත් අනිවාර්යයෙන් හදල බලන්න. ඔයාගෙ ඉවුම් පිහුම් හැකියාව පවුලෙ ඔක්කොටම පෙන්නන්න පුළුවන් වෙයි. මුරුංගා කොළ එක්ක විවිධ පහේ වර්ග එහෙම දාල හදන යාපනේ කරිවල, කොළඹ හදන කරිවලට වඩා විශේෂ රසක් තියනවා. බත්වලට වගේ ම පිට්ටුවලටත් මේක යහමින් ගැළපෙනවා.
බිත්තර කරිය
බැදලා හැදුවත්, තම්බලා හැදුවත්, උයලා හැදුවත් බිත්තර කියන්නෙ ප්‍රෝටීන් බහුල පෝෂකයක්. හැමදාම කන විදිහට බිත්තර කාල එපා වෙලා නම් මේ ක්‍රමේ උත්සාහ කරලා බලන්න. මේක ලංකාවෙ අපේ රහ එන කරියක්.
යාපනේ පෝක් කරිය
අර කලින් කියපු යාපනේ රසගුණ පෝක් එක්ක ගළපන්නේ මෙහෙමයි. හදලම බලන්නකො..
කජු කරිය
කජු මිලෙන් ටිකක් වැඩි කෑමක් වුණත් ගුණෙනුත් ඒ වගේ ම වැඩියි. කන්න කන්න ආස හිතෙන කෑමක් කියලත් නොකියම බෑ. මේ තියෙන්නේ කජු කරියක රෙසිපිය.
මුරුංගා කරිය
මේක කිරට හදපු මුරුංගා හොද්දක්. ගෙදර හැදුවොත් අම්මගෙ හිත දිනාගන්නත් බැරි වෙන එකක් නෑ.
හොට් බටර් කට්ල්ෆිෂ්
මේක ඇත්තටම කරියක් නෙමෙයි. ඒත් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදන වෙලාවකට කියාපු සයිඩ් ඩිෂ් එකක්. දැල්ලො ටිකක් හොයාගන්න ලැබුණොත් හදල බලන්න..