හැම අවුරුද්දෙම මැයි මාසෙ දෙවැනි ඉරිදට යෙදෙන මව්වරුන්ගේ දිනය, මෙදා සැරෙත් යෙදෙනවා මැයි 10 වෙනිදට. අම්මලා වෙනුවෙන් අවුරුද්දෙ එක දවසක් වෙන් කරල මදි තමයි. හැබැයි අපි වෙනුවෙන් හැමදාම මහන්සි වෙන එයාලට, එයාල විශේෂයි කියල පෙන්නන්න සහ එයාලගෙ ආදරය සමරන්න දවසක් වෙන් කළාට වරදකුත් නෑනේ.
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ වෙන අවුරුදුවල වගේ මේ පාර කිසිම සැමරුමක් වෙනුවෙන් එළියට පහළියට යන්න පුළුවන්කමක් නැති එකයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම මේ මොහොතේ අනෙක් සියල්ලට වඩා වැදගත් නේ. ඒ නිසා ම අපි කල්පනා කළා ගෙදර ඉඳන් ම මව්වරුන්ගේ දිනය සමරන්න සහ අම්මලාව පුදුම කරවන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් කීපයක් යෝජනා කරන්න. කියවල බලන්නකෝ..
හෑන්ඩ්මේඩ් කාඩ්/ තෑගි
නිකං ඉන්න ගමන් ඔයාගෙ අතින් ම කාඩ් එකක් හදන්න ගන්න. එහෙම නැත්තං පුංචි හෑන්ඩ්මේඩ් තෑග්ගක්. ලොකු සැරසිලි තියෙන්න ම ඕන නෑ. මේ කාලේ කඩෙන් ගන්න සැරසිලි භාණ්ඩ එහෙම ගෙන්නගන්න අමාරුයි නේ. ගෙදර ඉන්න දවස් නිසා මේ වැඩේට අවට පරිසරයෙන් හොයාගන්න ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගෙ අතින් ම හදපු කාඩ් එකක්/ තෑග්ගක් දුන්නම කඩෙන් ගන්න තෑග්ගක් දෙනවට වඩා අම්මා සතුටු වෙන බව විශ්වාසයි.
කෑමබීම
ඔයා එක එක ජාති බේක් කරන්න, කේක් හදන්න එහෙම කැමති කෙනෙක් නං, ඔයාට පුළුවන් අම්මා වෙනුවෙන් කේක් එකක්, කුකීස් ටිකක් එහෙම බේක් කරන්න. එහෙම නැත්තං වෙන ඕන ම ඔයා හදන්න දන්න කෑමක්, විශේෂ බීමක්, ස්නැක් එකක්, අතුරුපසක් වගේ දෙයක් හදලා මව්වරුන්ගේ දිනය දවසේ අම්මව සතුටු කරන්න.
මල්/ පැල
ගෙදර වත්තෙන් සපයගන්න පුළුවන් මල් ඉති ටිකක් එකතු කරලා ලස්සන මල් කළඹක් හදන්න. වැඩි මහන්සියකුත් නැති සරල, ඒත් ලස්සන තෑග්ගක්. තවත් ලස්සන වෙන්න ඕන නං මල් කළඹ ගෙදර තියන ලස්සන මල් බඳුනක දාන්න ඔයාට පුළුවන්. එහෙමත් නැත්තං අර කලින් කිව්වා වගේ මල් බඳුනත් ඔයාගෙ අතින් ම නිර්මාණය කරන්නත් පුළුවනි. ඉරිද උදේට අම්මා අවදි වෙනකොට දකින්න මල් බඳුන ඇඳ ළඟින් තියල තියන්න! එහෙමත් නැත්තං ඔයාට පුළුවන් එයාට ආදරෙන් බලාගන්න පුළුවන් විදිහේ පුංචි පැලයක් තෑගි කරන්න.
ලියුම්/ චිත්‍ර
මේ කාලේ ඕන තරම් විවේකය තියන නිසා ටිකක් වෙලාව අරං කල්පනා කරලා අම්මට ලස්සන ලියුමක් ලියන්න. ඔයාට එයාට කියාගන්න බැරුව හිටපු දේවල්, කියන්න අමතක වෙලා තිබුණු දේවල් කියන්න, එයා ඔයාට කොච්චර විශේෂයි ද කියල එයාට හඟවන්න එහෙම මේක හොඳ ක්‍රමයක්. එහෙමත් නැත්තං ඔයා චිත්‍ර අඳින්න දක්ෂයි නං අම්මගෙ ලස්සන චිත්‍රයක් ඇඳලා එයාට තෑගි කරන්න. නිර්මාණශීලීව හිතුවොත් තෑග්ගක් දෙන්න ගෙදරින් එළියට යන්න ම ඕන නෑ.
ෆොටෝස්
පරණ, ලස්සන, අම්මා කැමති ම ෆොටෝස් එකතු කරලා පොතක අලවලා හෑන්ඩ්මේඩ් ෆොටෝ බුක් එකක් හදන්න. මේකට අම්මගෙ පින්තූර විතරක් නෙමෙයි, ඕගොල්ලො සතුටින් හිටපු දවස්වල ෆොටෝස්, විනෝද චාරිකාවලදි ගත්ත පින්තූර එහෙම එකතු කරන්න ඔයාට පුළුවන්. පරණ ලස්සන මතකයන් ගොඩක් එකට එකතු කරලා තියනව දැක්කම අම්මා සතුටු වෙයි. එහෙම නැතිනම් පරණ ෆොටෝස් එකතු කරලා වීඩියෝ එකක් හදන එකත් හොඳ ක්‍රමයක්. හැබැයි මේක කරන්න නං ඔයා වීඩියෝස් එඩිට් කරන විදිහ දැනගෙන ඉන්න වෙනවා.
නිවාඩුවක්
මේක තමයි අම්මට දෙන්න පුළුවන් ලොකු ම තෑග්ග. මැයි 10 ඉරිදට අම්මට නිවාඩුවක් දෙන්න. ගෙදර අම්මා කරන සියලු ම වැඩ කටයුතු අනික් සාමාජිකයො බෙදාගෙන ඉටු කරන්න. ඕගොල්ලන්ට එකතු වෙලා අම්මා වෙනුවෙන් විශේෂ දවල් කෑමක්/ රෑ කෑමක් එහෙම හදන්න පුළුවන්. අම්මා ඇර පවුලේ අනික් අය උයන්න පිහන්න දන්නෙ නැත්තං ඒකටත් උත්තරයක් තියනවා. මේ ඇඳිරි නීතිය අතරෙ වුණත් ගෙදරට ම කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට් තියනවා. මේ තියෙන්නෙ ලිස්ට් එක. එහෙම තැනකින් එදාට කෑම ඕඩර් කරලා අම්මට නිවාඩුවක් දෙන්න. හැබැයි එළියෙන් කෑම ගෙන්නගන්නකොට අනුගමනය කරන්න අවශ්‍ය සෞඛ්‍ය පියවර ගැනත් සැලකිලිමත් වෙන්න.