මේ වෙලාවෙ ලංකාව ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් යන බවක් පේන්න තිබුණත් තාම අපෙන් වැඩි දෙනෙක් ඉන්නෙ ගෙවල්වලට වෙලා. ඉතිං මේ ගෙදර ඉන්න දවස්වල, කාලෙ ගෙවාගන්න අපි හැමෝම එක එක දේවල් කරන්න පටන්ගත්තා. ඒ නිසා ම දැන් දැන් සමහරු සමහර දේවල්වල එක්ස්පර්ට්ලා වෙලා. ඉතිං ඔන්න අපි හැදුවා කොරන්ටීන් සමයේ අපිට අඳුනගන්න ලැබුණ ඒ වගේ එක එක ජාතියෙ චරිතවල ලිස්ට් එකක්. වැඩිය හිතන්න එපා, මේක මේ නිකං ජොලියට හදපු ලිස්ට් එකක්!
චෙෆ්
මුළු කොරන්ටීන් කාලෙම ගත කරන්නෙ යූටියුබ් එකේ කුකිං චැනල් දිහා බලාගෙන. අලුත් අලුත් රෙසිපි හොය හොයා කෑම හදන එක තමයි රාජකාරිය. ඒ විතරක් ද, හදන කෑමවල ෆොටෝත් අරං ඉන්ස්ටග්‍රෑම් අප්ලෝඩ් කරලයි පස්ස බලන්නෙ.
ඔයත් මේ ජාතියෙ කෙනෙක් නං #yamuquarantinecookoff එක ගැන දන්නවා ඇති නේ. ඉතිං මේ හෑෂ්ටැග් එක දාලම ෆොටෝ/ වීඩියෝ අප්ලෝඩ් කරන්න.
කෑමදාස
චෙෆ් කෙනෙක් ඉන්න ගෙදරක කෑමදාස කෙනෙක් නැතුව වැඩක් නෑනේ. මෙයා උදේ ඉඳන් රෑ වෙනකං කන බණේමයි. තනිකර රාජකාරිය ගෙදර තියන කෑමබීම ඉවර කරන එක.
ෆිට්නස් ගුරු
ජිම් යන්න පුරුදු වුණ මේ ජාතියෙ අයට මේ දවස්වල ජිම් එක පැත්තේ නොයා හරි අමාරුයි. ඒකට මොකද ගෙදර ඉඳලම වර්ක් අවුට් කරන්න මේගොල්ලො පැකිළෙන්නේ නෑ. කරනවා විතරක් නං මදෑ. ඒව සෝෂල් මීඩියාවල පෝස්ට් කරනවත් එක්ක!
ප්රස්තාරකරු
කොරෝනා වෛරසය ආසාදනය වුණ ගණන, මියගිය ගණන, සුවය ලබපු ගණන ආදී මෙකී නොකී ගණන් මිනුම් අධ්‍යයනය කරලා වගුගත කරලා අනාගතේ ගැන සාස්තර කියන කෙනා තමයි මේ. ගණන් හදනවා ඇර වෙන වැඩක් නෑ.
නිව්ස් පප්පා
ටීවී එකේ යන නිව්ස් බලන් ඉඳල ෆේස්බුක් එකේ දාන, ෆේස්බුක් එකේ තියන නිව්ස් මැසෙන්ජර්, වට්සැප්වලින් හතර වටේට යවන එක්කෙනා මේ. හැමෝම දැනුවත් කරන්න පුදුම උනන්දුවක් තියෙන්නෙ.
හෝදමු තව හෝදමු
වසංගත තත්ත්වෙත් එක්ක බැක්ටීරියා, වෛරස් ගැන ලොකු කතාබහක් මතු වුණා නෙ. ඒ ගැන සෑහෙන අවධානයෙන් ඉඳල, පිරිසිදුකම ගැන හරියට වද වෙන කෙනා මේ. ගෙදර තියන හැම දේ ම හෝදනවා පිහදනවා කෙළවරක් නෑ.
කුම්භකර්ණ
විසි එක් වෙනි සියවසේ කුම්භකර්ණ. මාස දෙකක් තිස්සේ දවස පුරා නිදි!
බොරු බිසී
වර්ක් ෆ්‍රොම් හෝම් නිසා පුදුම තරං බිසී මෙයා. කොච්චර ද කිව්වොත් ඔෆිස් යන කාලෙවත් මෙච්චර බිසී වෙලා හිටියෙ නෑ.
ගේමර්
ගේම් ගහන්න මයි ඉපදිලා ඉන්නේ. බාත්රූම් යන්න විතරයි කාමරෙන් එළියට එන්නේ.
පොත්ගුල්ලා
ගේ පුරාම තියන පරණ පොත් හොය හොයා කෝපි එකකුත් හදාගෙන හෙමින් සීරුවේ දවස ගෙවනවා. තමන්ගෙ ලෝකෙ ම ඉන්න නිසා දෙයියනේ කියල කාටවත් කරදරයක් නං නෑ.
ධනාත්මක චින්තනේ
වසංගතේ කොච්චර දරුණු වුණත් රෝගීන් ගාණ කොච්චර ඉහළ ගියත් මෙයා ඉන්නෙ හෙන සතුටින්. හැම දේ ම ඉක්මනට හොඳ පැත්තට හැරෙන බව මෙයාට ෂුවර්.
පොලිටික්කා
කොරෝනා සහ දේශපාලනය තමයි මේ දවස්වල ප්‍රියතම මාතෘකාව. ළඟ එන ඡන්දෙයි කොරෝනායි සම්බන්ධයෙන් හරි උනන්දුයි.
බුකියේ නිදන්නා
රෑ දවල් නොබලා ෆේස්බුක් එකේ උඩ පහළ යන එක තමයි ජීවිතේ. ඒ විතරක් නං මදෑ. දවසකට මීම් සීයක් විතර ෂෙයා කරනවත් එක්ක!
ටික්ටොක්
මෙයාල ටික්ටොක් ඇප් එක පාවිච්චි කරනවා. ඉතුරු ටික ඕගොල්ලො ම හිතාගන්න!