“ආපහු පෘථිවියට ඒමක් නොතිබුණත්, මට සල්ලි තිබ්බ නං මං කවදහරි අඟහරුවලට පියාසර කරනවා..”
මෙහෙම කියන්නේ අභ්‍යවකාශය තරණය කළ ලෝකයේ පළමු ගැහැනිය. ඇගේ නම වැලන්ටිනා තෙරෙස්කෝවා. පහුගිය ජුනි 16 වෙනිදාට ඇය අභ්‍යවකාශයට ගිහින් අවුරුදු 57ක් පිරුණා. එවකට 26 වැනි වියේ තරුණියකව සිටි වැලන්ටිනාට දැන් අවුරුදු 83ක්!
රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා ඉපදුණේ 1937 මාර්තු 6 වෙනිදා. ට්‍රැක්ටර් රියැදුරෙක් වෙලා හිටපු ඇගේ පියා ව්ලැදිමීර් තෙරෙස්කොව්, ඉන්පසුව සෝවියට් හමුදාවේ සාජන්වරයෙකු ලෙස සේවය කරලා, දෙවැනි ලෝක යුද්ධයට මුහුණ දීමෙන් මිය ගිහින්. පියා මිය යනකොට වැලන්ටිනාට වයස අවුරුදු දෙකයි. ඉන්පස්සෙ වැලන්ටිනාගේ මව සිය දරුවන් ජීවත් කරන්නේ කපු මෝලක වැඩට ගිහින්.
ටික ටික උස්මහත් වෙන වැලන්ටිනා අධ්‍යාපනය නිම කරලා මුලින් ම ටයර් කම්හලකත්, පසුව රෙදි මෝලකත් වැඩ කරනවා. ඒත් නැවත වැඩිදුර අධ්‍යාපනය සඳහා තාක්ෂණික විද්‍යාලයකට ඇතුළත් වෙනවා. පොඩි කාලේ ඉඳන් ම පැරෂුට් ගැනයි ස්කයි ඩයිවිං ගැනයි වැලන්ටිනා තුළ දැඩි කැමැත්තක් තිබිල තියනවා. ඒ අනුව ස්කයි ඩයිවිං පුහුණු වුණු ඇය වයස 22 වෙද්දී ස්කයි ඩයිවර් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ ම පැරෂුට් පුහුණුවත් ලැබුවට ඇය ඒ බව සිය පවුලෙන් වසන් කරලයි ඒ පුහුණුවට ගිහින් තියෙන්නේ. පසුකාලීනව ගගනගාමියෙකු බවට පත් වෙන්න ඇයට උපකාරී වුණු මූලිකම දේ තමයි ඒ පැරෂුට් පුහුණුව.
කොහොම හරි 1961දී යූරි ගගාරින් අභ්‍යවකාශගත වුණාට පස්සේ, ‘අලුත් ම පියවරක් විදිහට අපි කාන්තා ගගනගාමීන් පුහුණු කරමින් ඉන්නවා’ කියන ප්‍රවෘත්තිය සෝවියට් රුසියාවේ ගගනගාමී පුහුණු අධ්යක්ෂ නිකොලායි කමනින් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනවා. ‘අභ්‍යවකාශයට යන පළමු කාන්තාව ඇමරිකානුවෙකු වීමට ඉඩ දීමට නොහැකියි. එය සෝවියට් කතුන්ගේ දේශාභිමානී හැඟීම්වලට කරන අපහාසයක් වනු ඇති..’ ඔහු සිය දිනපොතේ මෙහෙම සටහනකුත් තිබ්බාලු.
ඒ අනුව අයදුම් කරන ලද සුදුසුකම් සම්පූර්ණ කළ තරුණියන් 400කගෙන් අවසන් පස් දෙනා අතරට එක් වීමට වැලන්ටිනා සමත් වෙනවා. දිගු පුහුණුවකින් පස්සේ 1963 වසරේ ජුනි 16 වෙනිදා අභ්‍යවකාශගත වුණු පළමු කාන්තාව විදිහට වැලන්ටිනා විශ්වයට එක් වෙනවා. ඒ වොස්ටොක් 6 යානයෙන්.
දින දෙකක්, පැය 23ක් සහ මිනිත්තු 12ක් ඇය අභ්‍යවකාශයේ රැඳී සිටියා. ඒ අනුව ඇය සම්පූර්ණයෙන් අභ්‍යවකාශයේ ගත කළ පැය ගණන ආසන්න වශයෙන් පැය 71ක්. පෘථිවිය වටේට 48 වරක් කැරකෙන්න ඇයට පුළුවන් වුණා.
මේ ගමනින් පස්සේ 1976 වන විට වැලන්ටිනා සෝවියට් ගුවන් හමුදාවේ කර්නල්වරියක බවට පත් වෙනවා. ගුවන් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව ආචාර්ය උපාධියකුත් ලබනවා. 1997 සෝවියට් ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබන විට ඇය මේජර් ජෙනරාල්වරියක්.
වැලන්ටිනා දේශපාලනයටත් සම්බන්ධයි කියල ඔබ දන්නවද? ඇය සෝවියට් යුනියන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක්. ස්ත්‍රියගේ ශක්තිය විශ්වයට රැගෙන ගිය වැලන්ටිනා තෙරෙස්කෝවා මේ වන විට 83 වෙනි වියේ පසු වෙනවා.