යෝගා.
ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් පුහුණු කෙරෙන, පුරාණ ඉන්දියානු ව්‍යායාම ක්‍රමයක්. වසර දහස් ගණනකට කලින් ඇරඹුණාට මේක නූතන ලෝකයේත් ඉතා ම ජනප්‍රියයි. යෝගා පුහුණු වීමෙන් කෙනෙකුට ශාරීරික වශයෙන් වගේ ම මානසික වශයෙනුත් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.
ජුනි 21 වෙනිදා ජාත්‍යන්තර යෝගා දිනයයි. ඒ වෙනුවෙන් යෝගා සහ ඉන් ජීවිතයට ලැබෙන වාසි ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා.
ඉතිහාසය
වසර 5000කට පමණ ඉහත උතුරු ඉන්දියාවේ ඉන්දු – සරස්වතී ශිෂ්ටාචාරය තුළ තමයි යෝගා බිහි වෙන්නෙ. මුලින් මෙය පැවතී ඇත්තේ අප්රකටව. එනම් ගුරුවරුන් සහ ගෝලයන් අතර පමණයි. පළමු වරට ‘යෝගා’ කියන වචනය ලිඛිත මාධ්‍යයට එන්නෙ වේද ග්රන්ථවලින් එකක් වෙන සෘග්වේදයෙන්. ඒ අනුව යෝගා පිළිබඳව අදහස පැතිර යෑම ආරම්භ වෙනවා.
ඉන්පසු කාලයක් තිස්සේ පෙරදිග ලෝකය තුළ ක්‍රමයෙන් සංවර්ධනය වෙන යෝගා ක්‍රම, 1800 ගණන්වල අගභාගය පමණ වන විට බටහිර ලෝකයට පැතිරෙන්නට පටන්ගන්නවා. ඒ යෝගා ගුරුවරුන් බටහිර සංචාරයේ යෙදීමත් එක්කයි. යෝගාවල විශේෂත්වය ලොව පුරා ම ව්‍යාප්ත වෙන්නේ ඉන්පසුවයි.
පුහුණුව
වයස් භේදයක් නැතිව බාල තරුණ මහලු ඕනෑ ම අයෙකුට යෝගා ව්‍යායාමවල යෙදිය හැකියි. තනිව ම වුණත් යෝගා පුහුණුව ලැබිය හැකි වුවත්, අවම වශයෙන් ආරම්භක කාලයේවත් පුහුණු ගුරුවරයෙකු යටතේ පුහුණුව ලැබිය හැකි නම් තමයි වඩාත් හොඳ.
ඔබේ සිරුරේ ස්වභාවය මොන වගේ වුණත් එය ඔබේ යෝගා පුහුණුවට බාධාවක් වෙන්නෙ නෑ. ලංකාවෙත් යෝගා පුහුණු කළ හැකි තැන් බොහොමයක් තියනවා. මේ ලිපියෙන් ඒ ගැන දැනගන්න පුළුවන්.
ශාරීරිකව ලැබෙන වාසි
යෝගා කිරීම ඔබේ ශරීරය වගේ ම මනසත් සුවපත් කිරීමට දායක වෙනවා. සිරුර මනාව නම්‍යශීලී වීම, මාංශපේශීන් ශක්තිමත් වීම, ශ්වසනය පහසු වීම සහ ක්‍රමවත් වීම වැනි ප්‍රයෝජන ඉන් ප්‍රධානයි.
ඒ වගේ ම ඔබ ස්ථුල බවින් පීඩා විඳිනවා නම් යෝගා කිරීමෙන් සිරුරේ බර අඩු කරගත හැකියි. නින්ද මඳ බව, නින්ද නොයෑම වැනි ගැටලු තිබෙනවා නම් නින්ද ක්‍රමවත් කරගන්නත් මේ ඔස්සේ පුළුවන්.
මානසිකව ලැබෙන වාසි
අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් මානසික ආතතිය. යෝගාවලින් මානසික ආතතිය අඩු වී සිත සැහැල්ලු වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. එය සිදු වෙන්නේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක වැඩි දියුණු කර රසායනික සංයුතිය වෙනස් කිරීමෙන්.
ඒ වගේ ම ඔබට අවශ්‍ය පරිදි නිසි ලෙස අවධානය රඳවාගත හැකි වීම, ධනාත්මක සිතිවිලි වර්ධනය වීම, ආත්ම විශ්වාසය වැඩීම වැනි වාසි ගෙන දෙමින් මානසික ව්‍යාකූලතා අවම කිරීමටත් යෝගාවලට හැකියි.