ඇත්තටම… ඇයි අපි කෑම විසි කරන්නෙ?
කන්න කවුරුත් නැත්නම්, කෑම ඉතුරු නම්… කාට හරි දෙන්නකො, අඩුම තරමෙ සතෙක්ට හරි. එහෙම දෙන්නත් බෑ වගේ නම්…
ඔන්න පහළින් තියෙනව, ඒ ඉතුරු කෑමවලින් හදන්න පුළුවන් තවත්, පංකාදු කෑම ජාති ටිකක්. අඩුම තරමෙ එහෙම එකක්වත් කරල බලන්නකො.
1. හීල් කිරිබත්
රෑ ඉතුරු වෙච්ච බත්ටික… විසි කරන්න එපා. ඒකෙන් පහුවදාට හදන්න පුළුවන් පංකාදු කිරිබතක්.
කරන්න තියෙන්නේ… ඉතුරු බත් ටික හැන්දකින් හොඳට ඇට වෙන් වෙන්න පොඩි කරල ෆ්‍රිජ් එකේ තියන එක. තියල උදේ අරගෙන ළාවට පෑන් ෆ්‍රයි කරන්න. කරල වංගෙඩියක දාලා කොටා ගන්න ඇට කුඩු නොවෙන්න. ඒ කිව්වෙ ලොකු කෑලි විදියට තියෙන්න. ඊට පස්සෙ ඒ ටික අරගෙන සාස්පානකට දාලා, ඒකටම ගාගත්ත පොල්, කහ චුට්ටක්, ලුණු, එනසාල් කරලක් එහෙමත් දාලා වතුරෙන් හරි දියකිරෙන් හරි තම්බගන්නයි තියෙන්නෙ. හැබැයි… එකක් මතක තියාගන්න. මේකට හොඳ කට්ට සම්බෝලයක් නම් ඕන පදමට රස දැනෙන්න.
2. දියබත්
එලෙසින් ම… ඇට වෙන් කරගෙන ෆ්‍රිජ් එකේ තියපු බත් ටික අරගෙන, මැටි ඇතිළියකට දාලා, ඒකටම වතුරත් දාලා පැයකට එහා පැත්තෙ පෙඟෙන්න අරින්න. ඊට පස්සෙ බත් ටික පෙරල අරගෙන මැටි ඇතිලියකම දාන්න මිටිකිරි බොන්න පුළුවන් ගාණටම වගේ. ඊට පස්සෙ ඒකට හීනියට ලියපු රතුලූනු, අමු මිරිස් එක්ක ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, සූදුරු මහදුරු චුට්ටක එකතුවකුත් දාන්න රස ළාවටම විතරක් තියෙන්න. දාලා… වහල තියන්න අඩුම තරමෙ පැයකට එහා පැත්තෙවත්. තියල ඉතින් කැඳ බොනව වගේ රස බලන්නයි තියෙන්නෙ. ඔය අතරට හොඳ කිතුල් හකුරු කෑල්ලකුත් අතට ගත්ත නම්….
3. කරවල/ හාල්මැස්සො ඇඹුල
ගොඩක් වෙලාවට අපි ගෙදර දි හදන කරවල, හාල්මැස්සො කිරි හොද්දෙ ඉතිරිය… අනිවා විසි කරනවනෙ. මොකද ඒවා ඉක්මනට පිළුණු වෙන නිසා. හැබැයි අදින් පස්සෙ එහෙම කරන්න ඕන නෑ. සවුත්තු වේගෙන එද්දි ම ගන්න ඒකෙ කෑලි ටික. අරගෙන හොඳට හෝදලා… මිරිස්, ගම්මිරිස්, සුදුලූනු, ගොරක/ සියඹලා, බැදපු පොල් ඇඹරුමක දෙහි ඉස්මත් එක්ක අතගාලා තියන්න ෆ්‍රිජ් එකේ. තියල පහුවෙනිදා උදේට… ඕන නම් ආයෙත් තුනපහ අඩුම කුඩුම ටික දාලා හොද්දක් හදල ගන්නත් පුළුවන්, නැත්නම් කිරි දාලා හින්දල ගන්නත් පුළුවන්…
4. පාන් බිස්කට්
දවස් දෙක පනිද්දි කොහොමත් පාන් ගෙඩියක් කුඩු හැලෙන්න වගේ ගන්නවනෙ. අන්න එතකොටම ඒ පාන් ගෙඩිය අරගෙන පොඩීයට කඩලා කිරිවල පොඟවන්න. ඒ පොඟවද්දි ඒකටම පදමට සීනි එක්ක අවශ්‍ය රස කාරක… චොක්ලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි හරි මොනව හරි දාලා පදම් කරල ගත්ත නම්, කිරි ටික පෙරල පේස්ට් එක අතින් හරි, අච්චුවලට හරි දාලා බිස්කට් වගේ හදල බේක් කරල ගන්නයි තියෙන්නෙ.
5. වේලපු පලතුරු
හිතන්නෙ නැති හැබැයි පට්ටම ඩෙසට් එකක්… වැඩිය ඕන නෑ කෙසෙල් ගෙඩි වුණත් පොඩ්ඩ කළු වීගෙන එනකොට මේ වැඩේ කරන්න පුළුවන්. ලෙල්ල ගහල හීනි තීරුවලට කපලා… හැබැයි ඇට සියල්ලම අයින් කරන්න ඕන හොඳද කපද්දි. සීනි හරි ලුණු හරි, දෙකම හරි දාලා අව්වෙ වේලන්න… හොඳට කරකුට්ටං වෙන්න දවස් ගාණක් වේලුවට පස්සෙ මේවා බෝතලේකට දාලා තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේවයින් එක එක කෑම ජාති හදන්නත් පුළුවන්, ඔය පුඩිං, ටාර්ට්, බිස්කට් වගේ එහෙම…