මේ කාලේ තෙල්, මිරිස්, සීනි, පිටි අඩංගු කෑමබීම නිසා කොලෙස්ටරෝල්, ඩයබිටීස්, ප්‍රෙෂර්, තරබාරුකම වගේ ලෙඩවලින් හුඟ දෙනෙක් බලන් ඉද්දි රෝගී වෙනවා. මේ වගේ බෝ නොවන රෝග බොහෝ විට හැදෙන්නේ ම අපේ අහිතකර කෑමබීම පුරුදු නිසා. ඉතින් අපි ගුණ කෑමබීම නොගෙන, මේ සෞඛ්‍යයට අහිතකර කෑමබීම ම කන්නේ බොන්නේ ඇයි?
අපිට ගුණදායක කෑමවලට පුරුදු වෙන්න බැරි ඇයි?
ලංකාවේ අපිට ගුණදායක, සෞඛ්‍ය සම්පන්න කෑම වේලකට පුරුදු වෙන්න අමාරු හේතු කීපයක් තියනවා.
එකක් තමයි බත් කෑම. අපි වැඩි දෙනෙකුට මොනා කෑවත් බත් කෑවා වගේ බඩ පිරෙන්නේ නෑනේ. බත් ම කන්න පුරුදු වෙලා නිසා වෙන දෙයක් කෑවොත් කෑවත් නොකෑවා වගේ. දෙවැනි එක තමයි අපි ගන්න පුරුදු වෙලා ඉන්න අධික කාබෝහයිඩ්රේට් ප්‍රමාණය. අපි කන්නේ බඩගිනි නිවෙන ගාණට නෙවෙයි, හුස්ම ගන්න බැරි තරං බඩ පිරෙන ගාණට. ඒ නිසා බත් නැත්තං අඩු ම ගාණේ ඉඳිආප්ප, කොත්තු, පරාටා, රොටී, ෂෝටීට්ස් වගේ දේවල් තමයි අපිට කැවෙන්නේ. මේ බර කෑම ඔක්කොම ඇඟට ඇතුළු කරන්නේ අධික පිෂ්ඨය.
ඊළඟ හේතුව තෙල්. අපිට බත් කන්න තෙල් දාපු මොනාහරි දෙයක් ඕනෙමයි. මුකුත් ම නැත්තං පපඩමක් හරි බැදලා ගන්නවා නේ. කඩෙන් කන්න පුරුදු වුණ අයට වැඩිපුර අවදානමක් තියනවා. මොකද සමහර කඩවල එක පාරක් පාවිච්චි කරපු තෙල් නැවත නැවත පාවිච්චි කරනවා නේ. මේක සෞඛ්‍යයට හොඳට ම අහිතකරයි. අපිට සෞඛ්‍ය සම්පන්න කෑමවලට පුරුදු වෙන්න අමාරු තවත් හේතුවක් තමයි දෙමාපියො. ඒගොල්ලො බලන්නේ කොහොම හරි අපේ බඩ පුරවන්න නේ. ඉතින් එයාල අපිට බත් ම කවන්න හදනවා විතරක් නෙවෙයි දෙතුන් පාරක් බෙදාගෙන කන්නත් බල කරනවා. ඔය ඩයට් කරනවා වගේ සංකල්ප ඒ අයට තේරුම් කරන්න ටිකක් අමාරුයි.
ඊළඟ හේතුව තමයි අපේ අධික කාර්යබහුලකම. කොයි වෙලෙත් එහෙට මෙහෙට දුවන ගමන් නිසා ගුණ කෑම හදන්නවත් හොයන්නවත් වෙලාවක් නෑනේ. ඉතින් ඒ වෙනුවට විකල්පය වෙන්නේ ෂෝටීට්ස්. නැත්තං කඩ කෑම. ලංකාවේ අපිට ගුණදායක කෑමට හුරු වෙන්න අමාරු අන්තිම හේතුව විදිහට අපි අඳුනගත්තෙ සෞඛ්‍ය සම්පන්න කෑමවල තියන මිල අධිකකම. හෙල්දි ෆුඩ් සර්ව් කරන රෙස්ටොරන්ට්වල කෑමබීම ටිකක් මිලෙන් අධිකයි. එක දවසක් ආසාවට රහ බැලුවට හැමදාම එහෙම තැන්වලින් කන්න බෑනේ. ඉතින් අඩු වියදම් කෑමවලට පුරුදු වෙන්න වෙනවා.
කොලෙස්ටරෝල්, ඩයබිටීස්, ප්‍රෙෂර්, තරබාරුකම වගේ රෝග දැන් අහන දකින හැමෝට ම තියනවා. ඒ නිසා ම ගුණදායක කෑමබීම ගැන දැන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා. දැන් අපි කියන්න යන ‘ස්මූදි බෝල්’ කියන්නෙත් ඒ වගේ අලුත් තාලේ සෞඛ්‍ය සම්පන්න කෑම වේලක්. ඒ විතරක් නෙවෙයි මේක හදන්නත් ලේසියි. අර කලින් කිව්වා වගේ කඩෙන් ගන්නවා නම් ටිකක් ගණන්. ඒ නිසා ගෙදර ම හදාගන්නවා නම් සාක්කුවටත් වාසියි.
මොනවද මේ ස්මූදි බෝල්?
ස්මූදි බෝල් එකක් කියන්නේ ස්මූදිවල ම තවත් වර්ෂන් එකක්. දන්නවනෙ ස්මූදි? අර පලතුරු, කොළ ජාති එහෙම කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා හදාගන්න රස බීම. උදේ කෑම වෙනුවට හොඳ විකල්පයක් තමයි ස්මූදි එකක් කියන්නේ. ස්මූදි බෝල් එකක් කියන්නෙත් හොඳ උදේ කෑම වේලක්. එහෙම නැත්තං පොඩි බඩගින්නට, ස්නැක් එකක් විදිහටත් කන්න පුළුවන්. වෙනස තමයි ස්මූදි එක බීමක් වුණාට ස්මූදි බෝල් එක කෑමක්. ස්මූදි බෝල් එකක් ස්මූදි එකකට වඩා ඝනයි.
මේකෙදි කරන්නේ පලතුරු, කොළ ජාති, ඇට ජාති එහෙම ක්‍රීම් එකක් වෙනකං බ්ලෙන්ඩ් කරලා බෝල් එකකට දාගන්න එක. ඊටපස්සේ අපි පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ම ටොපින්ග් විදිහට පාවිච්චි කරලා බෝල් එක සරසගන්නවා. පලතුරු, කොළ ජාති, ඇට ජාති වගේ ගුණ දේවල් වෙන වෙන ම කන්න කැමති නැති පොඩ්ඩන්ට එහෙම ඒවා දෙන්න හොඳ ක්‍රමයක් මේක.
කෙසෙල්, අලිපේර, අඹ, අන්නාසි, ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි, බ්ලූබෙරි වගේ බෙරි වර්ග එහෙම පලතුරු විදිහට ස්මූදි බෝල් එකකට පාවිච්චි කරන්න පුළුවන්. කොළ ජාති විදිහට ගොටු කොළ, නිවිති එහෙම හොඳයි. ඊට අමතරව ග්‍රැනෝලා, ඕට්ස්, කිරි, යෝගට්, පොල් කැබලි වගේ ජාතිත් පාවිච්චි කරනවා. හැබැයි මේවා රස ගැළපෙන විදිහට එකකට එකක් මික්ස් කරගන්න දැනගෙන ඉන්න එක වැදගත්.
හදන විදිහ
එකිනෙකට වෙනස් ස්මූදි බෝල්ස් දෙකක් හදාගන්න විදිහ ගැන ඕගොල්ලන්ට කියන්නයි අපි හදන්නේ. එතකොට ස්මූදි බෝල්ස් ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි නේ. ඉතින් ඊටපස්සේ නිර්මාණශීලීව ඔයාගෙ ම රෙසිපියක් හදාගන්නත් උත්සාහ කරන්න අමතක කරන්න එපා.
1 අඹ අන්නාසි ස්මූදි බෝල්
අවශ්‍ය ද්‍රව්‍ය:
කෑලි කපාගත් අඹ කෝප්ප 1
කෑලි කපාගත් අන්නාසි කෝප්ප 1
කෑලි කපාගත් කෙසෙල් ගෙඩි 1
පොල් කිරි හෝ කැමති ජාතියක කිරි කෝප්ප කාලක්
ටොපින්ග් එක සඳහා පොල් කැබලි, ග්‍රැනෝලා
අඹ, අන්නාසි, කෙසෙල් ජාති තුන ම කලින් ෆ්‍රීස් කරලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ තුන සහ කිරි බ්ලෙන්ඩර් එකට දාල අඩු පීඩනයක් යටතේ බ්ලෙන්ඩ් කරගන්න. එහෙම කරන්නේ ක්‍රීමි ගතියට තියෙන්න ඕන නිසා. මිශ්‍රණය ඝනකම්, උකු එකක් වුණොත් තමයි ස්මූදි බෝල් එක හරි යන්නේ. මිශ්‍රණය ක්‍රීම් එකක් බවට පත් වුණාට පස්සේ බෝල් එකකට වත් කරගන්න. අඹ, අන්නාසි කෑලි කීපයක්, පොල් කැබලි, ග්‍රැනෝලා වැනි දෙයක් පාවිච්චි කරලා උඩ සරසගන්න. දැන් තියෙන්නේ රස විඳින්න!
2 කෙසෙල් ස්ට්‍රෝබෙරි ස්මූදි බෝල්
අවශ්‍ය ද්‍රව්‍ය:
කෑලි කපාගත් කෙසෙල් ගෙඩි 1
කෑලි කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
නිවිති කොළ කීපයක්
වැනිලා බින්දු ස්වල්පයක්
ආමන්ඩ් කිරි හෝ කැමති ජාතියක කිරි කෝප්ප කාලක්
ටොපින්ග් එක සඳහා කෙසෙල්, ස්ට්‍රෝබෙරි කැබලි, ග්‍රැනෝලා, ටෝස්ට් කරගත් වට්ටක්කා ඇට
කෙසෙල්, ස්ට්‍රෝබෙරි දෙක කලින් ෆ්‍රීස් කරලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ දෙක, නිවිති, වැනිලා සහ කිරි බ්ලෙන්ඩර් එකට දාල අඩු පීඩනයක් යටතේ බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය ක්‍රීම් එකක් බවට පත් වුණාට පස්සේ බෝල් එකකට වත් කරගන්න. කෙසෙල්, ස්ට්‍රෝබෙරි කෑලි කීපයක්, ග්‍රැනෝලා, ටෝස්ට් කරගත් වට්ටක්කා ඇට වැනි දෙයක් පාවිච්චි කරලා උඩ සරසගන්න. මේ ඔක්කොට ම ගත වෙන්නේ විනාඩි පහයි. ඉතින් දැන් ඉක්මනින් ම රස බලන්න!