මේවා..
මම ඔය එහේ මෙහේ යනකොට හම්බුවෙච්ච ඒවා.
හැබැයි ඔයාලටම කියාලා.. ටිකක් මොඩිෆයි කරල තමා තියෙනවා..!
1. කොස් මදුලු කොච්චි පිරවුම
කොස්මදුලු ටිකක් අරගෙන පැත්තකින් පොඩ්ඩක් පලලා.. ඇට අයින් කරගන්න. ඊට පස්සෙ ඇටයි මදුලුයි ඔක්කොම එකට දාලා ලුණුත් පදමට එකතු කරලා තම්බගන්න. තම්බලා.. මදුලු ටික වෙනමම අයින් කරලා, ගන්න කොස් ඇට ටික හොඳට අතින් පොඩි කරලා. අරගෙන.. තෙල් ටිකක් මැටි ඇතිලියකට ලිපේ තියල, ඒකට ඉඟුරු, සුදුලූණු රම්පෙ කරපිංචා ටිකක් බැදගෙන දාන්න, කොස් ඇට එක්ක කොච්චි කරල් ඇති හැටියට. දාලා හොඳට චප්ප වෙන්න හැඳිගාන්න. ඊට පස්සෙ ඉතින් මිශ්‍රණ බාලා කරල අරගෙන කොස් මදුලු වලට පුරවලා නිකම්ම කන්නත් පුලුවන්, නැත්නම් පුරවපු මදුලු ටික දවටලා, බැදලා කන්නත් පුලුවන්.
2. මාළු බිත්තර, දැල්ලො කරවල තෙල්දැමුම
මුලින්ම හදාගන්නකො හොඳ නිවුඩු හාලෙ රතුබතක්. ඊට පස්සෙ පොල් ටිකකුත් ගාලා පැත්තකින් තියන්න. තියලා.. ගන්න දැල්ලො වේළපුවයි, මාලු බිත්තර වේළපුවයි. ඒවා හොයාගන්න නම් ටිකක් වැල්ලෙ පැත්තක ඇවිදින්න වෙනව. කොහොම වුනත්.. හොයාගත්තොත්.. ආයෙ වැඩේ ගොඩ!
මුලින්ම කරන්න තියෙන්නෙ ඒවා හොඳට හෝදගන්න එක. ඊට පස්සෙ ඇඟිලි පුරුකක් සයිස් එකට කෑලි කපන්න. කපලා.. මැටි ඇතිලියකට තෙල් ටිකක් රත්කරලා දාන්න සුදුලූණු, රම්පෙ කරපිංච, අමුමිරිස්. දාලා ඒ ටික බැදීගෙන එද්දි දාන්න කොච්චි, තක්කාලි ටිකකුත්. ඒකත් පට පට ගාලා පුපුරගෙන එනකොට.. දාන්න අර කරවල ටික. දාලා හොඳට බැදෙන්න අරින්න. අන්තිමට ඉතින් බැදුම් පදම සෙට්වීගෙන එනකොට, හීනියට ලියා ගත්තු ලූණූ දාලා බාගන්නනෙ තියෙන්නෙ.
3. අත්තික්කා හින්දුම
අත්තික්කා ගෙඩි අරගෙන හැම එකක්ම දෙකට පලන්න. පලලා හොඳට හෝදගන්න. ඒ අතරට වෙනමම හදාගන්න ඉඟුරු, සුදුලූණු, ගොරකා, අබ, ගම්මිරිස්, රතුමිරිස්, අමු මිරිස් ඇඹරුමක්. හදාගනෙ දෙහි ඉස්ම එක්ක ඒක අතගාන්න අත්තික්කාවල. ඒ අතරට දාන්න බැදපු තුනපහ, මස් කරි පවුඩර්, කහකුඩු, මිරිස් කුඩු ටිකකුත්. දාලා සියල්ම එකට අතගාලා පදම් වෙන්න අරින්න වරු බාගයක් විතර. පදම් වුනාට පස්සේ.. මුලින්ම දියකිරෙන් ව්‍යංජනය හින්දගන්න. ඊට පස්සෙ.. මිටිකිරි දාලා හින්දල ගත්ත නම්.. රෝස් පාන් වගේ තියෙන්න ඔ්න ආයෙ.
4. සුනුසාල් බත් සමඟ මස් වේලුම
සුනුසාල් බත් කියන්නෙ වී කොටල හාල් ගනිද්දි වැඩිපුර කෙටිලා කෑලි වෙන හාල් ඇට වලින් හදන බත. දැන් නම් ඉතින් ඒවා හොයාගන්න අමාරුයි. මොකද මැෂින්වල එහෙම වෙන්නෙ නෑනෙ. කොහොමහරි කුඹුරක් කරන කෙනෙක්ට කිව්ව නම් එයින් හාල් ටිකක් ගෙනැල්ල දෙයි. ඒ හාල.. සාමාන්‍ය විදියටම තම්බන්න හැබැයි. හොඳහැටි තැම්බීගෙන එද්දි, ඒ කියන්නෙ වතුර හිඳුනාම දාන්න ගාගත් පොල්. දාලා හොඳට කලවම් කරලා බාගන්න.
ඊට පස්සෙ පෝර් හරි චිකන් වුනත් කමක් නෑ.. මස් කෑලි වලින් අරගෙන හෝදලා ඇඟිලි පුරකක් සයිස් එකට කපලා මැටි ඇතිලියකට දාලා, ඒකට දාන්න සුදුලූණු, ඉඟුරු, ගම්මිරිස්, කහ, සියඹලා, කොච්චි, රතු මිරිස් ඇඹරුමක්. දාලා දෙහි ඉස්ම එක්ක හොඳහැටි අතගාන්න. අතගාලා ආයෙ දාන්න බැදපු තුනපහ, දුරු කුඩු, එනසාල්, කරාබු, කුරුඳු කුඩු. දාලා ඒකත් අතගාලා වරුවක් විතර පදම් වෙන්න අරින්න. ඇරලා.. වතුරෙන් හෙමිහිට තම්බන්න, මැටි ඇතිලියෙම දුමේ වේළෙන විදියට. අඩි අල්ලනකම්ම වේලුව නම් තවත් මරු. ඊට පස්සෙ ඉතින්.. ඒකෙම බත් දාලා අතගාගෙන කෑවත් මොකෝ ආයෙ..!
5. වට්ටක්කා සමඟ වැව් මාළු
හොඳට පැහුණු වට්ටක්කා ගෙඩියක් අරගෙන අඟල් 2, 2 විතර කෑලි කපල ලුණු දාලා තම්බ ගන්න. ඊට පස්සේ.. ගන්න ඔ්න වැව්මාළු. කොරලි වගේ නම් වඩාත් හොඳයි. නැත්නම් ලූලා, තෙප්පිලි වුනත් අවුලක් නෑ. අරගෙන හොඳට සුද්ද කරලා, කෑලි කපලා, මැටි ඇතිලියක දාලා පදම් කරගන්න දෙහි, අමුමිරිස්, රතු මිරිස්, සුදුලූණු, ගොරකා, තක්කාලි, සේර, රම්පෙ, කරපිංචා, කුරුඳු එකට අඹරපු මිශ්‍රණයක. වරු බාගයක් විතර පදම් වුනාට පස්සෙ මාළු ටික.. මැටි ඇතිලියකටම තෙල් චුට්ටක් රත් කරලා දෙපැත්ත දාලා ලාවට බැදගන්න. බැදගත්තට පස්සෙ.. සාමාන්‍ය විදියට මිරිස් කුඩු, තුනපහ, ලුණු, ගොරකා, රම්පෙ කරපිංචා අඩුම කුඩුම සියල්ලම දාලා, ටිකක් හිඳෙන්න ඇරලා බාගත්ත නම්.. ඝන හොද්දයි, හීනියට ගාගත් පොල් එක්ක.. පංකාදු පහයි ඈ..