ලොකු ලොකු හෝටල් අඩුම ගණන්වලට යන අබුද්දස්ස කාලේ..
මට හිතිච්ච දේ බලන්නකො.
ලංකාවෙ ලස්සනම තැන් ටිකක තියෙන අපූරු පුංචි නවාතැන් ටිකක, අතේ තියෙන ගාණක් දීලා රැයක් ගතකරලා එන්න..
ඔයාලා මොකද හිතන්නෙ?
අනික, මොකක් හිතුවත්..
ඒ හිතන ගමන් බලන්නකො මේ තැන් ටික කොහොමද කියල වැඩේට..
1. Lake View Cabana, Tangalle
තංගල්ල, මැදකැටිය වැව් පොඩ්ඩට මායිම්ව හදපු ලස්සන ලී කබානා ටිකක්. පොල්අතු හෙවිලි කරල තිබ්බට, ඇතුලත හොඳ සුවපහසුයි. වටපිටාවත් ගස් කොළන් වලින් හොඳහැටි වටවෙලා.. ඊටත් කොටේජවල දොර ඇරපු ගමන් ඉස්සරහට පේන කුරුල්ලො පිරිච්ච කඩොලාන.. උදේට විතරක් නෙවෙයි යාළු, හැන්දෑවටත් හරිම ලස්සනයි. වැඩි හරියක්ම ඇඳිරි වැටීගෙන එද්දි ගිණිමැලයක් එහෙම ගහගත්තාම තමයි ඉතින්..!
මෙතන.. දවසකට රු. 1500යි හොඳද.
2. Windy Waves, Kalpitiya
කුඩව වෙරළ තීරයේ සුන්දරත්වය..
සුවපහසුව ඉඳගෙන අත්විඳින්න කියාපුම නවාතැනක්. පොල් අතු, ලී පාවිච්චි කරල නිමවපු මේ අපූරු බීච් වාඩි ටිකේ ලස්සන පේන්නෙ පාන්දරටයි, හැන්දෑවටයි තමයි. දවල්ට ඉතින් කොයි කවුරුත් වගේ ඔයාලටත් පුලුවන් මුහුද පැත්තෙ හරි කලපුව පැත්තෙ හරි රවුමක් ගහන්න. ගහල ඇවිල්ලා.. හැන්දෑවට පොඩි ගිණිමැලයකුත් ගහගෙන, රස වෑහෙන සීෆුඩ් කෑම ටිකකුත් ලංකරගෙන.. බැරියැ ඉතින් හිතේ හැටියට මොන මොනවහරි කරන්න, නේ..
මෙතනත් දවසකට රු. 1500යි.
3. Sigiri Magali Bamboo House
පුරාවිද්‍යා භූමිය මායිමේම වගේ.. ඇල ඉවුරට ඔන්න මෙන්න. කැළේට හැදුණු ගෙවත්තක තමයි මේ අමුතුම පොල්අතු පැල්කොට ටික හදල තියෙන්නෙ. ම්.. සුවපහසුව අතිනුත් නරකම නෑ. හැබැයි හරිම සරලයි. බිත්තයක්වත් බැඳලා නෑ. ඒ වෙනුවට තියෙන්නෙ ටකරං, පොල්අතු, ලෑලි.. එතකොට මේස පුටු එහෙමත් ලෑලි, උණ බම්බු.. වලින්. ඇත්තටම.. ඒකත් වෙනස්ම අත්දැකීමක්!
රු. 1000කට වගේ.
4. Camp Kush, Unawatuna
බොනවිස්ටාවෙන් මුහුදට වැටෙන පුංචි ඔය පාරක් අයිනෙ, ලොකු පොල්වත්තක් මැද්දෙ.. හරිම ලස්සනට ඉදිකෙරුණු, සුවපහසු ලෑලි, පොල්අතු පැල් ටිකක්. ඒකත් එසේ මෙසේ නෙවෙයි, පිරමීඩ වගේ ලස්සන හැඩේට. ගොඩක්ම මෙතන කෙරෙන්නෙ යෝගා, භාවනා වගේ දේවල්. හැබැයි එහෙම නැතුව නිකම් නිදහසේ දවස ගෙවන්න වුනත් බාධාවක් නෑ. අනික ගාණත් රු. 1200යි දවසට.
5. Beach Hut, Arugam Bay
එක පැත්තකින් ආරුගම් කළපුව, ඉස්සහරින් මුහුද..
කොහොම ඇත්ද උදේටයි, හැන්දෑවටයි මෙතන ලස්සන. අනික කොටේජ ඔක්කොම හදල තියෙන්නෙත් ලෑලි වලින්. ඉතින් දවල්ට වුනත් රස්නයක් නෑ. ඊටත් වටපිටාවත් ඔක්කොම පොල් රුප්පාවනෙ. සර්ෆ් කරන කට්ටියට විතරක් නෙවෙයි, නිවාඩු පාඩුවෙ කලපු සවාරියක් යන්න බලාගෙන ඉන්න කට්ටියට වුනත් කියාපුම තැන. එහෙම නැත්නම්.. හවසට ගිණිමැලේකට සෙට්වෙලා පොඩි බාබකියු පාරක් එක්ක සැර බීමයි, බොන්ගො හඬයි..?
මෙතනත් දවසටම ඔන්න රු. 1300යි.
6. Dream Ville, Ella
බල්ලෙකෙටුව, නාවුල්ල පැත්තට වෙන්න පුංචි කඳු ගැටයක අයිනෙ..
විව් එක අතින් නම් යාළු කියල වැඩක් නෑ, බලන බලන අත මීදුමෙන් වැහිච්ච කඳු වලින් පිරිච්ච දර්ශනතල වලින් පිරිලා ඉතිරිලා. උදේ පාන්දරට වගේම හවසටත්..
අනික නවාතැන ඉදිකරල තියෙන්නෙ ගල්, මැටි, ලී පාවිච්චි කරල. ඒකත් නිකම් නෙවෙයි සුපිරි සුවපහසුවට, ලස්සනට ඉන්ටිරියර්, එක්ස්ටිරියර් දෙකම තියෙන්න..
මතක තියාගන්න ඔන්න මෙතනත්.. රැයකට රු. 2000යි!