සාමාන්‍යයෙන් අපේ වැඩිහිටියො අතරෙ පුරුද්දක් තියනවා, පිරිසක් ඉන්න තැනක තමතමන්ගේ ලෙඩරෝග ගැන හරි උජාරුවෙන් කතා කරන. එයාලට තියන ඩයබිටීස්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ගැස්ට්‍රයිටිස් වගේ අසනීප ගැන කතා කරන්න, අනික් අයට කියන්න එයාල හරි කැමතියි. හරියට නිකං ඒ වගේ මොකක් හරි ලෙඩක් තියන එක තමන්ට ගෞරවයක් වගේ.
හැබැයි ඔය සාකච්ඡා ඇති වෙන කොයි තැනකවත් ඒ අය තමන්ට තියන මානසික ලෙඩක් ගැන කතා වෙනව ඇහිල තියනවද? ඒ වෙනුවට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ ඒ වගේ මාතෘකාවක් සාකච්ඡාවට ආපු ගමන් ඒක මඟ අරින එක. තමන්ට විතරක් නෙවෙයි, තමන්ගේ පවුලේ කෙනෙකුටවත් තියන මානසික ලෙඩක් ගැන කවුරුවත් ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ. ඒ ගැන පිට අය දැනගනියි කියල සෑහෙන බයෙන් ජීවත් වෙන්නෙත්.
මෙහෙම වෙන්නෙ ඇයි? කායික ලෙඩ ලොකුකමට හේතුවක් වෙලා, මානසික ලෙඩ ලැජ්ජාවට හේතුවක් වෙලා තියෙන්නේ ඇයි?
මානසික සෞඛ්‍යය ගැන තියන නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම සමාජයක් විදිහට අපි ආපස්සට යන්න හේතුවක්. බොහෝ දෙනා ජීවිතය විඳව විඳව ජීවත් වෙන්නෙත්, බැරි ම තැන ජීවිතය හැර යන්නෙත් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය ගැන තවමත් සම්පූර්ණ අවධානය දෙන්න අපිට බැරි වෙලා තියන නිසා.
අද, සැප්තැම්බර් 10 සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය. ලෝකයේ හැම තප්පර 40කට ම වරක් පුද්ගලයෙක් සියදිවි නසාගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට වාර්ෂිකව ලෝකවාසීන් ලක්ෂ 8ක් සියදිවි නසා ගැනීමෙන් ජීවිතය හැර යනවා. ඉතින් දැන් මේක ලෝක මට්ටමින් ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක්.
කොහොම වුණත් මානසික ආතතිය, විශාදය, කාංසාව වගේ මානසික රෝගවල බහුලකම හින්දා ම දැන් ලෝකයේ මේවා සාමාන්‍යකරණය වුණු රෝග. දියුණු රටවල මානසික රෝගියෙකුට අවශ්‍ය මානසික සහ භෞතික ප්‍රතිකාර නිවැරදිව ලබා දීම ගැන විශාල අවධානයක් යොමු කෙරෙනවා. ඒ අය ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න බය වෙන්නෙවත් ලැජ්ජා වෙන්නවත් නෑ. ඒත් අපේ රටේ මානසික රෝග කියන්නෙ තවමත් මිනිස්සු වසන් කරන්න උත්සාහ කරන දෙයක්.
ලංකාවේ සියදිවි නසා ගැනීම්වලට හේතු විදිහට හඳුනාගත්ත කරුණු කීපයක් තියනවා. ආර්ථික අපහසුතා, ප්‍රේමය හා පවුල් පිළිබඳ ආරවුල්, නිදන්ගත රෝග හා කායික දුබලතා, මත්ද්‍රව්‍ය භාවිතය ඒ අතරින් ප්‍රධානයි. මේ සියල්ල ම පීඩාකාරී මානසික තත්ත්වයන්ට උර දෙන හේතු. ඒ අනුව සියදිවි නසා ගැනීමට කෙනෙක් පෙළඹෙන්නේ ඒ බාහිර කරුණු හේතුවෙන් හටගත් මානසික ස්වභාවය නිසයි. ශරීරය ලෙඩ වුණාම ඊට නිසි ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් බව දැන හිටියට, මනසේ හටගන්නා ලෙඩවලටත් නිසි ප්‍රතිකාර කර සුව කළ හැකියි කියන මතය ලංකාවේ බොහෝ දෙනා තාමත් පිළිගන්නේ නෑ.
සියදිවි නසා ගැනීමට වැඩිපුර ම පෙළඹෙන්නේ පිරිමින් බවයි විද්වත් මතය. මේක ලෝක මට්ටමිනුත් තහවුරු වූවක්. මේකට මූලික හේතුව පිරිමින් හැඟීම් පිටතට පෙන්වන්න සුදුසු නැති කොටසක් විදිහට පොඩි කාලේ ඉඳන් සමාජයෙන් හුරු කරලා තිබීම. ගැහැනු උදවිය නම් අඬල දොඩලා හැඟීම් පිට කළත්, පිරිමි පාර්ශ්වය ඒ විදිහට හැඟීම් පිට කිරීම දුර්වලකමක් කියලයි සාමාන්‍යයෙන් තියන සමාජ මතය. ඒ නිසා ම ඔවුන් තමන්ගේ හිතේ ඇති අවුල් වියවුල්, දුක් වේදනා කිසිවෙක් එක්ක කතා නොකර හිර කරගෙන ඉන්නවා. ඒකෙන් සිද්ධ වෙන්නෙ ජීවිතය අවුලෙන් අවුලට පත් වීම.
ඔබේ පවුලේ හෝ මිතුරන් අතරේ හෝ විශාදය, කාංසාව හෝ ආතතිය වැනි අයහපත් මානසික තත්ත්වයක ඉන්න පුද්ගලයින් ඉන්නවා නම් ඔබට කළ හැකි හොඳ ම දේ ඔවුන් සමග කතා කිරීම. මානසික පීඩනයට ලක් වූ හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්. අවවාද හෝ උපදෙස් දෙන්නෙක් නෙවෙයි. තමන් කියන දේ අහගෙන ඉන්නා කෙනෙක්. ඒ නිසා ඔවුන්ට ඇහුම්කන් දීලා, තමන්ට කළ හැකි මට්ටමේ ප්‍රතිකර්මයක් නැති නම් ඔවුන්ව වෛද්‍යවරයෙක් හමුවට යෑමට පෙළඹවීම තමයි ඔබේ පැත්තෙන් සිදු විය යුතු දේ.
මානසික රෝග වැළඳුණු පුද්ගලයින් තමන්ගෙ පීඩාව හිතේ හිර කරගෙන පිටට හිනා වෙලා ඉන්න බොහෝ විට උත්සාහ කරනවා. අපේ ආදරණීයයන් ගැන අපි වඩාත් උනන්දුවෙන් හොයා බැලිය යුත්තේ ඒකයි. ඔබ මත විශ්වාසය තබන්න පුළුවන් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. හැකි හැම විට ම ඔවුන් සමග ඔබ ඉන්න බව තහවුරු කරන්න.
ජීවිතයක් අහිමි වුණාට පස්සෙ ඒ ගැන ශෝක වීම හෝ පසුතැවිලි වීම නිෂ්ඵලයි. ජීවත්ව ඉන්න කාලෙ අනෙකාව හොඳින් තියන්න උත්සාහ කරමු. ඔබ හෝ ඔබ දන්නා අයෙකු විශාද තත්ත්වයකින් පීඩා විඳිනවා නම්, එවන් අවස්ථාවකදී 1333 – CCCline හෝ 0112696666 – ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 යන හදිසි උපකාර අංකවලට අමතන්න… ඔබට අවශ්‍ය සහාය ලැබේවි.