අහන්න අකැමැති ම වචනයක් වුණත්, මේ වෙද්දි සෙම්ප්‍රතිශ්‍යාව තරම් ම බහුලව අහන්න ලැබෙන රෝගයක් බවට පිළිකාව පත් වෙලා. ඒ අතරිනුත් ලංකාවේ බහුල ම පිළිකා රෝගය වෙන්නේ පියයුරු පිළිකාව. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හැම අවුරුද්දක ම ලෝකයේ අලුතෙන් පියයුරු පිළිකා රෝගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් කියල වෙනසක් නැතිව, ලෝකේ පුරා ම කාන්තාවන්ට බහුලව ම හැදෙන පිළිකා රෝගය තමයි පියයුරු පිළිකාව.
ඔක්තෝබර් කියන්නේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය. ඉතින්, පියයුරු පිළිකා කල් තියා හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් ගැන ඔබ දැනුවත් කරන්න අපි කල්පනා කළා.
1 ගැටිති
පියයුරුවල හෝ අත් යට, එනම් කිහිලි ප්‍රදේශයේ ගැටිති ඇති වීම පියයුරු පිළිකාවක මූලික ලක්ෂණයක්. හැබැයි පියයුරුවල ඇති හැම ගැටිත්තක් ම පිළිකාවක් වෙන්නෙත් නැහැ. කොහොම වුණත් එහෙම තත්ත්වයක් තියනවා නම් ඔබ වෛද්‍ය පරීක්ෂාවක් කරගැනීම වඩාත් සුදුසුයි.
2 සමෙහි වෙනස්කම්
පියයුරු ආශ්රිත සම ඝන වෙලා නම්, සම මතුපිට වළ ගැසීමක් දකින්නට තිබෙනවා නම්, එය පියයුරු පිළිකාවක මූලික අවස්ථාව විය හැකියි. ඒ වගේ ම සම දොඩම් ලෙල්ලක් වැනි ස්වරූපයක් ගෙන හැකිළුණු ස්වභාවයක් දක්වනවා නම් ඒ ගැනත් සෝදිසියෙන් ඉන්න.
3 තනපුඩුවේ වෙනස්කම්
තනපුඩුව මත තුවාල, කුෂ්ඨ ආදිය ඇති වීම, ඒවායින් සැරව ගැලීම, තනපුඩුවෙන් මව්කිරි හැර ලේ හෝ වෙනත් දියරයක් ගැලීම, තනපුඩුව ඇතුළට ගිලී යෑම වැනි අස්වාභාවික තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙලා නම් වහා ම වෛද්‍යවරයෙකු හමු වෙන්න.
4 ප්‍රමාණයේ වෙනස්කම්
මේ කියන්නේ කාලයත් සමග සිදු වන පියයුරුවල වෙනස් වීම් ගැන නෙවෙයි. වයසත් සමග, ඔසප් වීමත් සමග, ගර්භණී වීමත් සමග වගේ ම දරුවන් ලැබීම, මව්කිරි දීම, සිරුරේ බර වෙනස් වීම සහ යම් යම් ඖෂධ ගැනීම වගේ කාරණා එක්ක කාන්තාවන්ගේ පියයුරුවල ප්‍රමාණය කොහොමටත් වෙනස් වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. ඒත් හදිසියේ ම පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය වෙනස් වී ඇති බවක් ඔබට දැනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
5 ඉදිමීම සහ රිදීම
ඔබේ පියයුරු අසාමාන්‍ය ලෙස ඉදිමී ඇත්නම් හෝ පියයුරු ආශ්‍රිතව වේදනාවක් හෝ අසීරුතාවක් හට ගන්නවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න. රෝග ලක්ෂණ කල් තබා හඳුනාගැනීමෙන් රෝගය සුව කරගැනීමට ඇති හැකියාව වැඩි වෙනවා.