“Get YAMUfied”
‘යමු’ අපි පටන්ගත්ත අලුත් ම වැඩේ. මේකෙන් කෙරෙන්නේ කොවිඩ් – 19 වළක්වන්න ආරක්ෂිත පියවර හරියට ම අනුගමනය කරන්න සමත් වුණ රෙස්ටොරන්ට්වලට සහතිකයක් ලබා දීම. තවත් ටිකක් පැහැදිලි කළොත් මෙහෙමයි.
අපි යනවා රෙස්ටොරන්ට් එකකට. කොවිඩ් – 19 පැතිරීම වළක්වන්න අවන්හල් විසින් ගත යුතු නිල ආරක්ෂිත පියවරවල ලැයිස්තුවක් තියනවා අපි ළඟ. අපි ගිහින් බලනවා මේ ලැයිස්තුවේ තියන, ඔවුන් විසින් අනුගමනය කළ යුතු ආරක්ෂිත පිළිවෙත් ඔවුන් නිසි පරිදි ක්‍රියාවට නංවලා තියනවද කියලා. ඒ අනුව ඒ ආරක්ෂිත ක්‍රියාමාර්ග සියල්ල ම අකුරට පිළිපැදලා තියනවා නම්, ඒ බව ‘වෙරිෆයි’ කරන්න අපි ස්ටිකර් එකක් දෙනවා. ‘යමුෆයි’ වෙනවා කියන්නෙ ඒකට!
අපි මේ කියපු කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමට අවන්හල් විසින් ගත යුතු නිල ආරක්ෂිත ක්‍රියා පටිපාටිය, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කරපු, සංචාරක ක්ෂේත්රයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා වූ මෙහෙයුම් මාර්ගෝපදේශය තුළ ප්‍රකාශයට පත් කරලා තියනවා.
හේතුව
රටේ ලෝකේ සිද්ධ වෙන අලුත් අලුත් දේවල් ගැන ‘යමු’ අපි හැම වෙලේ ම ඇහැ ගහගෙන නෙ ඉන්නේ. විශේෂයෙන් කෑමබීම සම්බන්ධ දේවල් ගැන. ඉතින් මේ වසංගත කාලේ, කොවිඩ් – 19 වළක්වන්න නිවැරදි ම විදිහට ආරක්ෂිත පියවර අනුගමනය කරන, ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන රෙස්ටොරන්ට් ගැන හොයන්න අපි කල්පනා කළා.
ඒ වගේ ම, කොවිඩ් – 19න් ආරක්ෂා වෙන්න රෙස්ටොරන්ට්වලට සහාය වීමේ සහ ඒ ගැන ඔවුන් දැනුවත් කිරීමේ උත්සාහයක් විදිහටත් සලකලයි අපි මේක පටන්ගත්තේ.
මොකද්ද වෙන්නේ?
කලින් කිව්වා වගේ, අපි ළඟ තියනවා කොවිඩ් – 19 වළක්වන්න අවන්හල් විසින් ගත යුතු නිල ආරක්ෂිත පියවරවල ලැයිස්තුවක්. මේක සකස් කරලා තියෙන්නේ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කරපු, සංචාරක ක්ෂේත්රයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා වූ මෙහෙයුම් මාර්ගෝපදේශයේ, 5 වැනි පරිච්ඡේදයේ 5.1 කොටසට අනුකූලව.
තමන්ගේ පාරිභෝගිකයන් වගේ ම කාර්ය මණ්ඩලයත් කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂා කරගැනීමට අවන්හල් විසින් අනුගමනය කරන්න අවශ්‍ය ආරක්ෂිත පියවර 40ක් විතර මේ ලැයිස්තුවේ අඩංගුයි. මේ සෞඛ්‍ය පියවර ඔස්සේ, රෙස්ටොරන්ට් එකට ඇතුළු වෙන දොරටුවේ ඉඳන්, පිටුපස මුළුතැන්ගේ දක්වා මුළු රෙස්ටොරන්ට් එක ම ආවරණය වෙනවා.
උදාහරණ විදිහට, කාර්ය මණ්ඩලයේ එක් එක් පුද්ගලයා මුඛ ආවරණ (මාස්ක්) සහ අත් ආවරණ (ග්ලව්ස්) පැළඳ ඉන්නවා ද, අවන්හල ඇතුළේ කාර්ය මණ්ඩලය අතර වගේ ම පාරිභෝගිකයන් අතරත් දූරස්ථිකරණ (ෆිසිකල් ඩිස්ටන්සිං) නීතිරීති අනුගමනය වෙනවා ද, ඇතුළු වීමේ දී හැමෝගෙම උෂ්ණත්වය පරීක්ෂා කෙරෙනවා ද, කාර්ය මණ්ඩලයේ සහ පාරිභෝගිකයන්ගේ මූලික තොරතුරු සටහන් කරගන්නා ලොග් පොතක් පවත්වාගෙන යනවා ද, පාවිච්චියෙන් පස්සේ මෙනු පත්, මේස රෙදි, අත් පිස්නා ආදී දේවල් පිරිසිදුකාරක ද්‍රවයකින් (සැනිටයිසර්) විෂබීජහරණය කෙරෙනවා ද, අවශ්‍ය සියලු තැන්වල සැනිටයිසර් සපයා තියෙනවා ද, කාඩ්පත් මඟින් ගෙවීම් දිරිමත් කෙරෙනවා ද… ආදී වූ විස්තරාත්මක කරුණු රාශියක් මේ ලැයිස්තුවේ ඇතුළත්.
අපේ කණ්ඩායම මේ ලැයිස්තුවත් අරගෙන රෙස්ටොරන්ට් එකට ගොඩ වෙනවා. එතකොට ඒ අය මේ පියවර ක්‍රියාත්මක කරනවද කියලා අපිට ඇස් දෙකෙන් ම බලාගන්න පුළුවන්. ඒ වගේ ම, කොවිඩ් – 19 වළක්වන්න ඔබ අරගෙන තියන ක්‍රියාමාර්ග අපිට පෙන්නන්නත්, මේ අතරේ රෙස්ටොරන්ට් එකේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට පුළුවන්.
දැනට අපි රෙස්ටොරන්ට් 10ක විතර සංචාරය කරලා තියනවා. ඉන් 5ක් ‘යමුෆයි’ කරන්න අපිට පුළුවන් වුණා. ඒ කියන්නේ, නිල සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරල තියන බවට සහතික කරපු ස්ටිකර් එක ලබාගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ රෙස්ටොරන්ට් තමයි Baked Colombo, Shanmugas, Takeout Lanka, Malay Restaurant සහ Paan Paan. අනෙක් අවන්හල්වලට සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න අවශ්‍ය උපදෙස් දෙන්නත් අපි කටයුතු කළා. ඉදිරි සතිවලදී ඒ තැන්වලට නැවත ගිහින්, ඔවුන් ඒවා අනුගමනය කරලා ද කියල නිරීක්ෂණය කරන්නත් අපි ලෑස්තියි.
‘යමුෆයි’ කරගන්නේ කොහොමද?
0760106226 අංකයෙන් දිනේෂ්ට කතා කරන්න.