නිතර දෙවේලෙ පාන් කන අයටයි..
අනං මනං කඩචෝරුම කන අයටයි..
හදාගෙන හරි හොයාගෙන හරි කන්න, මේ දවස්වල ඇඟට පොඩ්ඩක් හයිය එන්න!
1. මෙනේරි බත්
මෙනේරි ඇට හොඳට හෝදලා ලොකු ඇතිලියක තම්බන්නයි තියෙන්නෙ. හැබැයි තම්බනකොටම ඒකට ලුණුත් දාන්න. දාලා.. වතුර තියන්න ඔ්න ටිකක් අඩුවෙන්. ඇට තැම්බෙන ගාණට විතරයි. මොකද ඇට තැම්බීගෙන එද්දිම ඒකට ගාගත්ත පොල්, එකට අඹරපු එනසාල්, කුරුඳු, රම්පෙ, කරපිංචා ටිකක් දාන්න ඔ්න. දාලා හොඳහැටි කලවම් කලා බෑවා. බාලා මේ බත කන්න හොඳ කොච්චි සම්බෝලයක් හදාගන්න උම්බලකඩ, රතුලූණූ ටිකක් එහෙමත් දාලා..
2. කිතුල්පිටි තලප
මුලින්ම රතු කැකුළු හාල් ටිකක් ලිපේ තියන්න වැඩිපුර වතුර දාලා. ඒක බෙරිවෙලා තැම්බීගෙන එද්දී.. මිටිකිරි වලින් හොඳ ඝනේට දියකරගත්ත කිතුල්පිටි දාන්න ඇති පදමට. දාලා ඒ එක්කම හීනියට ගා ගත්ත හකුරු, ලුණු චුට්ටක් එහෙමත් දාන්න ඔ්න. දාලා රස සුවඳ තියෙන්න එනසාල්, කරාබු ටිකකුත් එකතු කරලා.. හැඳිගාන්නයි තියෙන්නෙ තලපෙ හයිවෙන ගානට එනකම්. ඒ පදම ආවට පස්සෙ කෙහෙල් කොලේකට බාලා, ගුලි හදලා, කෙහෙල් කොලේම ඔතලා තියන්න කෑමට ගන්නකම්.
3. කුරක්කන් තෝසෙ
සාමාන්‍ය තෝසෙ හදන විදියමයි. හැබැයි කඩේ තෝසෙ පිටි පාවිච්චි කරන්න බෑ. මේකට ගන්න ඔ්න කුරක්කන් පිටියි, උලුඳු පිටියි. අරගෙන දෙකට එක වගේ කවලම් කරලා බිත්තර කහමද, ලුණු රස පදමට, බේකින් පවුඩර් චුට්ටක්, එළඟිතෙල් චුට්ටක් එකතු කරලා හොඳට අනලා පිපෙන්න තියන්න. වරු බාගයක් විතර පිපුනට පස්සෙ ඒකට බිත්තර සුදුමදයකුත් දාලා අනලා තෝසෙ හදන්නයි තියෙන්නෙ.
4. මඩු පිට්ටු
මේකෙ ලොකු දෙයක් නම් නෑ. තියෙන අමාරුම වැඩේ තමයි මඩු ඇට හොයාගන්න එක. උතුරු, නැගෙනහිර පැතිවලින් නම් ටිකක් ගලපා ගන්න පුලුවන්. එහෙම නැත්නම් ඉතින් මඩු ගහක් තියෙන තැනකින්ම තමයි.
ඒ හොයාගත්තට පස්සේ.. ඇට හෝදලා කරලා අරගෙන වතුර පෙරලා කොටා ගන්න. කොටලා පිටි හලලා අරගෙන, හීනියට ගාගත්ත පොල් එක්ක ලුණු වතුරත් එකතු කරන ගමන් පිටි කැට හදාගන්න. හදාගෙන හුමාලයෙන් තම්බලා බාලා.. කෑමට ගන්න ටොප් තක්කාලි හොද්දකුයි, ලූණු සම්බෝලයකුයි එක්ක!
5. හල් ගුටි
මේක කනවට වැඩිය මරු හදන විදිය.
මුලින්ම ඔන්න හල් ගෙඩිවල ලෙලි අයින් කරලා හීනියට ගාලා, රෙදි කෑලි වලට ටික ටික දාලා, ගැට ගහලා වතුරෙ දාලා තියන්න දවසක් දෙකක් විතර තිත්ත බහින්න. ඊට පස්සෙ පිටි ටික මිරිකලා අරගෙන.. ඒ අතරට පැණි ටිකක් මැටි ඇතිලියක රත් වෙන්න තියලා පොල් දාලා පැණිපොල් එක සෙට්වීගෙන එද්දිම.. හාල්පිටි, හල්පිටි බාගෙට එක වගේ වෙන්න කවලමක් හදලා, ඒක දාලා, රස පදමට ලුණු.. එනසාල්, කරාබු, කුරුඳු ටිකකුත් හීනියට කොටලා දාලා කලවම් කරලා අරගෙන උණු උණුවෙන්ම ගුලි හදන්න. හදලා.. කෙහෙල් කොලවල ඔතලා හුමාලයෙන් තම්බලා කෑමට ගන්නයි තියෙන්නෙ..
ඔ්න නම් ඔය මීපැණි ටිකක් එහෙමත් කිට්ටු කරගන්න බැරියැ!