මතකද?
කොළඹ ලොක්ඩවුන් එකට කලින් මේකෙ පළවෙනි කොටස ලිව්වා..
1. Thawalama
සරණංකර පාරෙ, පාමංකඩ හංදියෙම..
පොල්අතු ටිකක් හෙවිලි කරලා, බුෆේ එකටත් මැටි වළං ටිකක් එහෙම තියලා හදාපු ලස්සන පුංචි ප්ලේස් එක. ඒක නම් බැරියැ, වැඩේ කියන්නෙ මෙයාලගෙ බුෆේ එකේ තියෙන එළවළු, මාළු ජාති ටිකනෙ! ෂැහ්.. වළං 10, 12ක් පිරෙන්න..
බතට බෙදෙන්නෙ ජාති 4 වුනාට මොකද බැදපු පපඩම්, මිරිස් එක්ක මස් මාළුත් ගැලපිලා එද්දී ටොපේ ටොප්..
මෙතනින් අනිවා කාලා බලන්න ඔ්න කිරිමාළු රතුබත් එක හරි පෝර්ක් සුදුබත් එක හරි තමයි.
මොකද රු. 200-250ට, නොම්මර එකට.. අඩුවක් පාඩුවක් නැතුව කිරි, ලුණු ඇඹුල්, තුනපහ..
ආයෙ ගමේ රහටම!
2. Lunu Mirisa
බොරලැස්ගමුව හංදියෙන් පොඩ්ඩක් හොරණ පාරෙ..
නමේ වගේම, කටට සැරට රයිස් ඇන්ඩ් කරියක් කන්න කියාපුම ප්ලේස් එක. ම්.. මෙයාලගෙත් බුෆේ එක තියෙනවා ජාති 12, 15කින් විතර. ඒවයින් එළවලු 4යි මස් මාළු මොනවාහරියි බෙදාගන්න පුලුවන්. හැබැයි ගාණ උපරිම වුනත් රු. 250යි.
කට්ටිය කියන විදියට නම් මෙතන නැගලම යන්නෙ ඉස්සො, දැල්ලො, මිරිස් මාළු තමයිලු.
3. R N C by Chinese Dragon Cafe
පැළවත්ත චයිනිස් ඩ්රැගන් එකේ..
දවල්ට ගියා නම් කන්න පුලුවන් ශ් රීලංකන් චයිනිස් රහට හැදෙන රයිස් ඇන්ඩ් කරියක්. වැඩේ කියන්නෙ මෙතන පෝර්ක් නැති එක තමයි. හැබැයි අඩුවක් පාඩුවක් නොකියන්න මල් හතේ මාලු ඇඹුල් තියලක් නම් තියෙනවා. ඒ හැරුනාම චිකන් කරියත් ටොප්. හැබැයි අර සෝස් ගතියකුත් එක්ක වගේ තමයි..
කොහොම වුනත් රු. 200-250 අතරෙ නම්.. ලොවෙත් පාඩු නෑ, මොකද රසයි, ප්රමාණයයි දෙකම ඉහලයිනෙ.
4. Matara Bath Kade
අන්න පෝර්ක්…
යන්න බත්තරමුල්ල හංදියෙම, වළව්වෙ තියෙන මාතර බත් කඩේට. ෂැහ්.. පිස්සු හැදෙනවා ඈ.. මස් කෑලි පිරිච්ච, තෙල් කෑලිත් අතරින් පතර කලවම් වෙච්ච, මිරිස් තුනපහ මදි නොකියන්න වැටිලා බොර ගතිය තියෙන්න හඳිච්ච.. තරු පන්තියෙ පෝර්ක්.
ඒකත් එක්ක ඉල්ලන්න සුදුබතුයි, පරිප්පුයි තව මොනවාහරි එළවලු ජාති 2ක් එක්ක බැදපු මිරිස් අනිවා.. ෂුවර් ෂොට්, එක පාරක් කෑවොත් ආයෙ යනවම තමයි. ගාණත් රු. 250-300 වෙද්දි.. ඈ!
5. Nai Mirisa
පොඩි වෙනසක් තියෙන, හැබැයි පුංචි පහේ ප්ලේස් එකක්. කෑම ජාතිත් මහ ගොඩක් නෑ. වැඩේ කියන්නෙ අහම්බෙන් සෙට්වෙලා මෙතනින් කෑවනෙ දවසක් කහබත් එක්ක චිකන්.
අඩේ, හිත ගියා කියන්නකො. හොඳහැටි කහ, ඉඟුරු ටිකක් දාලා සම්බාහාලෙ බතට, මං හිතන්නෙ ස්ටොක් වලින් තම්බලද කොහෙද මාරම සුවඳයි. ඒ විතරක් නෙවෙයි, ඒකට ආපු චිකන් ඇඹුල් තියල් එක.. (මං එහෙම කිව්වට ඇත්තටම ඒක චිකන් කරිය) හැබැයි දාලා තියෙනවා මිරිස් තුනපහ නූලටම. දාලා මැටි ඇතිලියක හින්දලා..
රු. 250යි ගත්තෙත්!
6. Pin Niyara
පිටකෝට්ටෙ-තලවතුගොඩ අතර හරියටම බැද්දගාන හරියෙ. පාර අයිනෙම තියෙන ප්ලේස් එක. වැඩේ තියෙන්නෙ මෙතනට යන්න ඔ්න දවල් 1ට කලින්වත්. නැත්නම් පළවෙනි බුෆේ රවුම හිස්වුනාට පස්සෙ පොඩි පොඩි අවුල් එනවා. දවසක් පෝර්ක් එකක් ආවා.. හොද්ද එහෙම පාන් මරන්න කියාපු. හැබැයි කෑලි හරි හැටි තුනපහ අල්ලල නැතුව, කටේ තියන්න බෑ. ම්.. අනිත් එළවළු නම් දෙයියනේ කියල එහෙම නෑ. ඊටත් ජාති 10, 12ක් බුෆේ එකේ කැරකෙන නිසා අවුලක් නෑ. කොහොම වුනත් කෑමවල ගණන් යන්නෙ මෙතනත් රු. 200-300 අතරෙ තමයි.
7. Matara Ratu Kekulu Bath Kade
කොහුවල හංදියෙ තියෙන පුංචි ප්ලේස් එක. ප්ලේස් එක පුංචි වුනාට හැබැයි තියෙන ජාති ටික නම් පුංචි නෑ… ඉස්සො, දැල්ලො, කකුළුවො, මාළු, චිකන්.. ඔ්න දෙයක්. ඒකත් එක රහකට නෙවෙයි. කිරට, මිරිසට, ඇඹුල් තියල්, ඩෙවිල්..
වැඩේ කියන්න මෙයාලා මදි පාඩුවලට සල්ලි ගන්නෙත් නෑනෙ. ඊටත් කෑම එකකුත් උපරිම රු. 150යි.