“මොකක්ද උඹ ඔය කරන්න හදන්නෙ. ඔ්ක දැං හදන්නෙ නැද්ද? බයිට් එකට ගන්නෙ මොනාද බං..”
“මේක අයියා දැං හදන්නෙ නෑ. ඔයාලා යන දවසට කලින් දවසෙ රෑට තමා.. බලන්නකො මම හැදුවාම”
එවෙලෙ ආපු මාලු බෝට්ටුවෙන් තෑගි ලැබුනු ලොකු කූරියා..
ටැම්පා වෙරළ අයිනෙ තියාගෙනම දෙකට පලලා සුද්ද කරලා, මුහුදු වතුරෙන්ම හෝදලා මෙන්න එල්ලුවා වාඩියෙ වහලෙ!
මමත් ඉතින් ඊට පස්සෙ මුකුත් අහන්න ගියෙත් නෑ.. උගේ ආතල් එකක්නෙ ඌ ගන්නෙ කියලා, රතුපාට ක්ෂිතිජය පැත්තට හැරිලා ඔන්න වාඩිවුනා ප්ලාස්ටික් පැදුරෙ.
ම්.. නොකිව්වට, කිට්ටුවම ගල් බෝතලයක් එහෙමත් තිබ්බ හොඳේ..
අපිට යන්න ඇත්තටම දවස් 4ක් විතර ඉතුරුවෙලා තිබ්බා. ඒ දවස් හතරම කොහොමහරි ඔය මාළු කූරියා දවල්ට ගිණි අව්වෙ වේලෙනවා. ඒකත් නිකම් නෙවෙයි, ටැම්පා එතනින් යන යන සැරේට උගේ දෙපැත්තෙම ලුණු, ගම්මිරිස්, කහ, මිරිස්කුඩු මිශ්‍ර එළකිරි ගානවා, පොඩි පොල්මුඩ්ඩකින්. මම හිතුවෙම දවස, දෙක යද්දි කූරියා කුණුවෙයි කියලා. එහෙම වුනේ නෑ කියන්නකො.
අන්තිම දවසෙ දවල් වෙද්දි ඒක බාගෙට කරවල වෙලා. හැබැයි සුවඳක් එනවා..
අන්න ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ, හවස පාර්ටිය නම් ගජේට තියෙයි කියලා.
අපි කලපු අස්සෙ රවුම ගහලා ෆොටෝ ටිකක් කොටාගෙන එදා ඔන්න කලින්ම වාඩියට. ඇවිල්ලා කරල හිටං මුහුදෙ බැහැලා නෑවා හොඳ හැටියට. නාලා ගොඩ එද්දී..
කූරියා නෑ වහලෙ!
බැලින්නම් ටැම්පා මෙන්න ඒක බාලා බිමට. හෙමින් සැරේ ආයෙ සුද්දයක් දානවා. ඔය අතරට මම සනික ඇඳුමක් දාගෙන ඇවිල්ල ලහිපිටකුත් පත්තු කරගෙන වාඩිවුනා ලඟ තිබ්බ බංකු කෑල්ලලෙන්.
“තව දවස් දෙකක් වගේ තිබ්බ නම් නියමෙටම ගන්න තිබ්බා” කිය කිය හෙමින් සැරේ උගේ ශේෂ සියල්ලම සුද්දෙ.
ඊට පස්සෙ ලොකු බේසමකට දාලා ඒක හේදුවා හොඳ වතුරෙන්. හෝදලා තල් කොලයක් උඩින් තියලා.. පැලුවා දෙකට, හැබැයි දික් අතට. පලලා එක කෑල්ලක් පොඩියට කැපුවා හොද්දට වගේ. අනිත් කෑල්ල එහෙම්මම තියෙද්දි ඒකෙ ගාන්න හැදුවා මරු මික්ෂර් එකක්.
ගලේ අඹරපු කෑලි මිරිස්, අබ, සූදුරු, සියඹලා, සුදුලූණු, ඉඟුරු, සේර, මොනවදෝ තුනපහ එකක්.. මගෙ මතකෙ හැටියට. ඊට පස්සෙ ඒ මික්ෂර් එක දියාරු කලා විනාකරියි, දෙහි ඉස්මයි දාලා. ඊටත් පස්සෙ පොල්ගෙඩියක විතර.. මිටිකිරි, දෙවනි, තුන්වෙනි, හතරවෙනි වෙනකම් කිරි අරගෙන බේසමකට දාලා, ඒකෙ ලුණු ටිකකුයි අර මිශ්‍රණයයි දියකරලා එබුවා කූරියා යට යන්නම. ඔබලා තියලා අර පොඩියට කපපු කෑලි ටික ලෑස්ති කලා ස්ටු දාන්න..
ඇත්තටම ඒ වෙද්දි ඉර හැරෙන්නත් පටන් අරගෙන. කොහොමහරි ටැම්පාගෙ මල්ලි බැස්සා වැල්ලෙ ලොකු වලක් ගහලා, ඒකට දර කොටන් පුරවලා, ගිණි ගහලා අඟුරු ලෑස්ති කරන වැඩේට..
ම්.. මගෙ හිතේ මාළු කූරියා පැය 4, 5ක් බේසමේ පදම අල්ලන්න ඇති. අමු කෙහෙල් කොලේ එතිලා යකඩ කූරක කම්බි වලින් ගැටගහලා අඟුරු ගොඩ උඩට ඒකා එද්දි නම් හවස 7ට වගේ..
පළවෙනි බෝතලේ කැඩෙන්න ඔන්න මෙන්න..
පොඩි ගිණිමැල කෑල්ලකුත් පැත්තෙන් ඇවිලෙන අතරට, වාඩියෙ සෙට් එකම.. අපි පහුවෙනිදා සමුගන්න දුකට..
‘චියාර්ස්’
“බලං ඉඳාන් අරකෙ තෙල බේරෙන්න පටන් ගත්ත ගමන් අනික් පැත්ත දාන්න ඔ්න හොඳේ” ටැම්පා, මල්ලිට උපදෙස් දෙනවා..
ඒ අතරට අපේ මැද්දෙන් එලුන ලොකු කෙහෙල් කොල සවානට.. දුම් ද දා බෙදුනෙ තම්බපු වට්ටක්කායි, අර මාලු ස්ටුවයි!
හප්පේ.. එපමණයි, බලා ඉඳිද්දි පළවෙනි බෝතලේ වාශ්පයි.
මෙහෙම කියන්නම්කො.. ‘ස්ටුවෙ සැරටයි, අන්තිම රැය මතක් වෙලයි.. මට කඳුලු තොගයයි’ හැබැයි කන කන මාළු කෑල්ලක් ගානෙ.. ඇඹුලෙන්, තුනපහ රසින්, ලුණු මිරිස් ගම්මිරිස් සැරින්.. රස නහර නම්..
ඒකෙ ටයිමින්ග් කියන්නෙ ඒ ඩයට් එක බඩකට පිරෙන්න වැටුනට පස්සෙ තමයි අර ස්පෙෂල් බයිට් එක එන්නෙ කරලියට..
කෙහෙල් කොලේ පිච්චිලා, තෙල් ඔක්කොම බේරිලා.. පැයක් විතර ගිණි අඟුරු පදමෙ රස අල්ලලා..
මෙන්න මාලුවා, අපේ ඉස්සරහා..
සරලව කිව්වොත්..
ඔයාලා කාලා තියෙද අඩුම කුඩුම පදමට දාලා හදපු කිරිමාලු එකක් ග්‍රිල් කරලා?
එමම.. එමම! හැබැයි ලා කර රසක් එක්ක, සැර තියෙනවා කෑගැස්සෙන්න..