සාමාන්‍යයෙන් අවුරුද්දේ සතුටු ම සැහැල්ලු ම කාලේ කියල සැලකෙන්නෙ සීතල නත්තල් සමය වුණාට ටිකක් කල්පනා කරල බැලුවම තේරෙනවා දෙසැම්බර් කියන්නෙ අවුරුද්දේ නාස්තිකාර ම මාසේ කියලත්. තෑගිවලටයි සැරසිලිවලටයි කෑමබීමටයි ගමන්බිමන්වලටයි ඕන දේටයි එපා දේටයි හැම දේට ම වියදම් වෙනවා මදිවට අන්තිමේ ඒවා අපතෙත් යනවා. ඊටපස්සේ පරිසරයත් දූෂණය වෙනවා.
ඒ වෙනුවට, නාස්තිකාර නොවෙන, පරිසරය දූෂණය නොවෙන නත්තලක් සමරන්න ගන්න පුළුවන් පියවර කීපයක් ගැන ඕගොල්ලන්ට කියන්න අපි හිතුවා. මේ තියෙන්නෙ ඒ ටිප්ස් ටික. මේවා ඉතා ම පුංචි ක්‍රම වුණාට, ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ හැමෝම තමන්ගෙ කොටස පුංචියට හරි ඉටු කළොත් විතරයි නේ.
රැපින් පේපර්
තෑගි ඔතන්න පොලිතින් රැපින් පේපර් වෙනුවට කඩදාසි රැපින් පේපර් පාවිච්චි කරන්න. මේකට ප්‍රතිචක්‍රීකරණය කරපු කඩදාසි, නැත්තං පේන්ට් කරපු පත්තර කොළ වගේ නිර්මාණාත්මකව සකස ගත්ත කඩදාසි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තං විවිධ රෙදි වර්ග පාවිච්චි කරලා තෑගි ඔතන ක්‍රමත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවනි.
නත්තල් කේක්
නත්තලේදි නැතුවම බැරි කෑමක් නේ. ඉතින් අපි මේ කියන්න හදන්නෙ ක්‍රිස්මස් කේක් හදන්නැතුව ඉන්න කියල හෙම නෙමේ. ඔයත් හැම කේක් කෑල්ල ම රැප් කරන්න පුරුදු වෙලා ඉන්නව නම්, පුළුවන් නම් ඒකෙන් වළකින්න කියලයි අපි මේ කියන්නේ. මොකද කේක් රැප් කරන්න කඩදාසි සහ පොලිතින් හුඟක් වැය වෙනවා. ඉතින් ඒ වෙනුවට සාමාන්‍ය කේක් එකක් සර්ව් කරන විදිහට දීසියක තියල සර්ව් කළාට වරදක් නෑනෙ. එයින් අපද්‍රව්‍ය එකතු වීමත් අඩු වෙනවා.
LED ක්‍රිස්මස් ලයිට්
සැරසිලිවලට ක්‍රිස්මස් ලයිට් මිල දී ගන්නකොට LED බල්බ් මිලට ගන්න අමතක කරන්න එපා. ඒකෙන් විදුලිය ඉතිරි වෙනවා වගේ ම නිවසට වැඩි ආලෝකයක් දීප්තියක් ලබාගන්නත් පුළුවන්.
නත්තල් ගස්
නත්තලේ සංකේතය නත්තල් ගහ නේ. මේ කාලේ ගෙවල්වල නත්තල් ගස් සරසන්නේ නත්තල සමරන අය විතරක් ම නෙමේ. ඒත් දන්නවද, ප්ලාස්ටික් නත්තල් ගස්වලින් අපේ පරිසරයට සෑහෙන නරක බලපෑමක් සිද්ධ වෙනවා. ෆ්‍රෙෂ් නත්තල් ගස් මිලට ගන්න එක සාක්කුවට ලේසි නෑ තමයි. ඒත් ඇත්තට ම පරිසරය ගැන හැඟීමක් තියනවා නං අලුතෙන් ප්ලාස්ටික් නත්තල් ගස් මිලට ගන්නත් එපා. ඒ වෙනුවට, දැනටත් ගෙදර තියන ගහක් නත්තල් ගහක් බවට පත් කරන එක වගේ නිර්මාණශීලී ක්‍රම අත්හදා බලන්න ඕගොල්ලන්ට පුළුවන්.
මස්මාළු
උත්සව සමය කියන්නෙ වෙනදට වඩා විශේෂ කෑමබීම හදන කාලයක්. ඉතින් මේ කාලේ මස්මාළු පරිභෝජනය වෙන දවස්වලට වැඩියෙන් සිද්ධ වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක එක එක අයගෙ කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක් නිසා කාටවත් බලපෑම් කරන්න බෑ. ඒත් ලෝක පරිමාණයෙන් ගත්තම මස් මාංශ වෙළෙඳාම කියන්නෙ ක්ලයිමට් චේන්ජ් එකට එහෙම සෑහෙන බලපාන දෙයක්. ඉතින් නත්තලේදි විතරක් නෙවෙයි, හැම කාලෙ ම මස් මාංශ පරිභෝජනය අවම මට්ටමක රඳවගන්න පුළුවන් නං හොඳයි.
පරිසර හිතකාමී සැරසිලි
දෙසැම්බර් එද්දිම කට්ටිය පිටකොටුවට හරි ආපිකෝ එකට හරි දුවන්න බලාගෙන ඉන්නෙ අලුතෙන් ක්‍රිස්මස් ඩෙකරේෂන් මිලට ගන්න. පහු වුණ හැම අවුරුද්දක ම මේවා මිලට ගත්තත් මේ පාරත් අලුතෙන් මොනාහරි ගත්තෙ නැත්තං මදි මදි වගේ නේද? ඒත් මේ පාර මේ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරලා, ඉවතලන ද්‍රව්‍ය සහ පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් ගෙදරදි ම සැරසිල්ලක් දෙකක් හදල බලමු ද? ඉන්ටනෙට් එකේ තියනවා ඕන තරං ක්‍රම.
ගමන්බිමන්
ෂොපිං යද්දි, සැරසිලි ගන්න යද්දි, නෑදෑ ගෙවල්වල යද්දි එහෙම කට්ටිය වෙන වෙන ම වාහනවල නොයා එක වාහනේකට එකතු වෙලා ගියොත් ලේසියි. හැබැයි ඉතින් මේ දවස්වල ගමන්බිමන් යන එකත් අවදානම් නිසා පරිස්සමින්.
දේශීය අමුද්‍රව්‍ය
නත්තල් සාද, ඩිනර්, ලන්ච් සංවිධානය කරද්දි කෑමබීම සකස් කරන්න අපි අතින් ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි වෙන ප්‍රමාණය හුඟක් වැඩියි. ඒ වෙනුවට මේ සැරේ දේශීය අමුද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරන්න උත්සාහ කරමු. ඒකෙන් ආනයනික දේට වඩා අඩු මිලට එළවළු පලතුරු මස්මාළු ගන්න පුළුවන් වෙයි. ඒ වගේ ම දේශීය ආර්ථිකයටත් ශක්තියක් ලැබෙයි.
නත්තල් තෑගි
කාටවත් වැඩක් නැති ප්ලාස්ටික්, පොලිතින්වලින් නිර්මාණය කරපු විවිධ බඩුමුට්ටු වෙනුවට, ටිකක් වෙනස් විදිහේ තෑගි දෙන්න කල්පනා කරන්න. මෙන්න මේ ලිස්ට් එකෙත් තියනවා එහෙම දෙන්න පුළුවන් තෑගි කීපයක්. වියදමත් අඩුයි. තෑගි ලබන කෙනාව වැඩිපුර සතුටු කරන්නත් පුළුවන්.
ප්‍රතිචක්‍රීකරණය
මේ තමයි අන්තිම පියවර. මේක එළඹෙන්නේ නත්තලෙන් පස්සේ. ඒ කියන්නේ සාද සාමීචි ඉවර වෙලා මුළු ගෙදර ම සම්පූර්ණයෙන් අස්පස්කරලා පිරිසිදු කළාට පස්සේ. මුළු නත්තලේ ම එකතු වුණ කුණු ටික මලුවලට දාලා පාර අයිනේ ගිහින් තියල එන්න එහෙම එපා! එකතු වෙලා තියන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඉවතලන ද්‍රව්‍ය සියල්ල දෙපාරක් නොහිතා ප්‍රතිචක්‍රීකරණය කරන්න. එහෙම බැරි නං කුණු ටික අවම වශයෙන් ප්ලාස්ටික්/ ඉඳුල්/ කඩදාසි විදිහට නිසි පරිදි වෙන් කරලා බැහැර කරන්නවත් කාරුණික වෙන්න.