මොන දේ කළත් ජීවිතේ දි අපි වැඩිපුර ම බලාපොරොත්තු වෙන දේ සතුට. දුකෙන් ඉන්න කවුරුත් කැමති නෑනේ. ඉතින් සතුට ලබාගන්න අපි නානාප්‍රකාර දේවල් කරනවා. ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන් කොච්චර සාර්ථකත්වයට පත් වුණත්, ජනප්‍රිය වුණත්, ප්‍රසිද්ධිය ලැබුණත්, මිලමුදල් යානවාහන ගේදොර ඉඩකඩම් හිමි වුණත්, ඒවා ජීවිතේ සතුට කියල නොහිතන. ඒ අයට මේ කිසිම භෞතික සැපතකින් හිතේ සතුට උදා කරගන්න බෑ. මේ වගේ අයගෙ පොදු ලක්ෂණයක් තමයි හැම දෙයක් ගැන ම අහස පොළොව ගැටලන්න තරම් හිතන එක. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඕවර් තින්කිං. කොහොම වුණත් එහෙම හැම දේ ගැන ම ඕනෑවටත් වඩා හිතන අය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා බුද්ධිමත් කියලයි මනෝ විද්‍යාත්මක පිළිගැනීම. මේ ‘හිතන එක’ හින්දම මේ අයට ලේසියෙන් හිත සතුටු කරගන්නත් අමාරුයි ලු. මේ තියෙන්නෙ ඒකට හේතු.
1 අධික විශ්ලේෂණය
සාමාන්‍ය කෙනෙක් දෙයක් ඇනලයිස් කරනවට වඩා හුඟක් බුද්ධිමත් මිනිස්සු කරන්නෙ හැම දේ ම ඕවර් ඇනලයිස් කරන එක. ජීවිතේ හැම දේ ම ඇනලයිස් කරන්න හැකියාව තිබීම සමහර වෙලාවට ලොකු වාසියක් වුණත්, හැම පුංචි දේ ම විශ්ලේෂණය කර කර හිතන්න යන එකෙන් වෙන්නේ නැති ප්‍රශ්න හිතට නඟින එක. අපේ දැනුම සහ අත්දැකීම් අපිට උගන්නනවා හැම දෙයක් දිහා ම තාර්කිකව බලන්න. ඒ නිසා බුද්ධිමත් අය හැම විට ම දේවල් දිහා විශ්ලේෂණාත්මක ඇහෙන් තමයි බලන්නෙ. ඒකෙන් ඔවුන්ට අත ළඟ තියන සතුටු වෙන්න හේතු නොපෙනී ගිහින්, කලින් එතන නොතිබුණු ගැටලු උද්ගත වෙනවා. අර ඉංග්‍රීසි කියමනක් තියනවා නේ ‘Ignorance is bliss’ කියලා. ඉතින් ‘නොදැන සිටීම ප්‍රීතිය ගේනවා’ කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.
2 තත්ත්වය ගැන ඉහළ අපේක්ෂාව
හැම දේක ම කොලිටිය ගැන ඉහළ බලාපොරොත්තු තියන් ඉන්න එකත් මේ අයගෙ ලක්ෂණයක්. අධ්‍යාපනය, රැකියාව, සබඳතා.. මේ හැම දේ ගැන ම මේගොල්ලන්ට තියෙන්නෙ හයි ස්ටෑන්ඩඩ්ස්. ඉතින් මේ බලාපොරොත්තු සඵල කරගන්න බැරි වුණාම ඇති වෙන කලකිරීම නිසාත් මේගොල්ලො සතුටු වෙන්න තියන දොරක් වැහිලා යනවා.
3 ස්වයං විවේචනය
මොකක් හරි දෙයක් වැරදුණාම තමන් ගැන ම කලකිරීමට පත් වෙන එක, ආත්ම විශ්වාසය කඩන් වැටෙන එක මේ අයගෙ ස්වභාවය. ඒක පැන නඟින්නෙ මෙයාලගෙ ගැඹුරු සිතිවිලිවලින්මයි. ඒ වගේ ම සිදු වෙලා ඉවර දෙයක් ගැන නැවත නැවත හිතමින් පසුතැවිලි වෙන්නත් මේගොල්ලො හරි කැමතියි. එතකොට ඉතින් ජීවිතෙන් සතුට පලා යන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
4 අධික බලාපොරොත්තු
බුද්ධිමත් අයට තියන සංකීර්ණ මනස, තියන දෙයින් සතුටු වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවට මීට වඩා හොඳ තත්ත්වයක් අත්පත් කරගන්න ඔබව මෙහෙයවනවා. ඉතින් අධික ව අනාගත අපේක්ෂා ගොඩ ගහගෙන ඉන්න එකත් මෙහෙම අයගෙ පුරුද්දක්. ඒවා පසුපස්සේ හඹා යනකොට ළඟ ම තියන පුංචි දේවල්වලින් සතුටු වෙන්න පුළුවන් බව මෙයාලට අමතක වෙනවා.
5 වරදවා වටහාගැනීම
බුද්ධිමත් මිනිස්සුන්ව බොහෝ විට සමාජය තේරුම් ගන්නේ වැරදියට. තමන්ව කාටවත් තේරෙන්නෙ නෑ කියල හිතෙන්න හිතෙන්න, මේ අය තනිවම ජීවිතය ගෙවන්න ප්‍රිය වෙනවා. බුද්ධිමත් අයට යාළුවො එහෙමත් අඩුයි කියනව නේ. ආශ්‍රය කරන්නෙත් සීමිත පිරිසක් විතරයි. ඒකට හේතුව මේ අයගෙ මානසික ස්වභාවය හැමෝටම නොතේරීම. මේගොල්ලො කැමති නෑ නිකං ආගිය තොරතුරු, ඕපදූප කතාවලට. ඉංග්‍රීසියෙන් කිව්වොත් Small talkවලට. මේ අය හැම වෙලේ ම කැමති අර්ථවත්, තමන්ගෙ මනස දියුණු වෙන විදිහෙ යමක් ගැන තව කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් මේ කරුණ හින්දත් ඔවුන්ට සතුට වෙනුවට වැඩිපුර ළඟ දුක කියල කියන්න පුළුවන්.
6 මානසික තත්ත්වයන්
බොහොමයක් පර්යේෂණවලින් හෙළි වෙලා තියනවා බුද්ධි මට්ටමින් ඉහළ පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් තියන බව. ආතතිය, කාංසාව, විෂාදය මේ අතර වෙනවා. අර කලින් කිව්වා වගේ බොහෝ විට මෙහෙම වෙන්නේ මේ අය අනෙක් අයට වඩා හැම දෙයක් ගැන ම ගැඹුරින් හිතන්න පෙළඹෙන නිසා. භෞතික ලෝකයේ සැරිසරනවට වඩා තමන්ගෙ මනස ඇතුළේ සැරිසරන්න කැමති නිසා. ඉතින් ලෝකය ගැන, මරණය ගැන, පැවැත්ම ගැන, ජීවිතයේ අර්ථය සහ නිස්සාරත්වය වගේ කරුණු කාරණා ගැන කල්පනා කරන්න බුද්ධිමත් අය නැඹුරුයි. මෙහෙම දේ ගැන හිතන්න හිතන්න, මනස දුකට නැඹුරු වෙනවා. ඉතින් බුද්ධිමත් අයට සතුට ඈතයි කියන්න ඒකත් හේතුවක්.