කොච්චර කඳු නැග්ගත්, කෑම්ප් කලත්..
මුහුදු ඇක්ටිවිටිස් එක්ක බීච් කෑම්පින්ග් එකක් කරනවා කියන්නෙ, ඒක වෙනමම අත්දැකීමක් යාළු!
ඒ නිසාමයි.. මායි යාලුවයි කතා කරලා හෙමින් සැරේ දවසක් දාගෙන, තාල රටා මාරු කර කර ලස්සනට ඉර බහින, ලංකාවෙ අපූරුම වෙරළ තීරයක්වෙන.. පාසිකුඩා, කායන්කර්නියෙ රවුමක් ගහන්න ප්ලෑන් කලේ. මොකද ඒ ගියාම.. දවල් දවසෙ මුහුදු පතුලෙ රවුමක් ගහන්න විතරක් නෙවෙයිනෙ, හවසට වෙරළට ගොඩවෙන මුහුදු රළ දිහා බලාගෙන.. හඳ මෝදු වෙනකම්ම මනෝ පාරක් ගහන්නත් පුලුවන්නෙ.
කොහොමහරි ඉතින් ඒ ප්ලෑනෙ හැටියට අපි කොළඹින් පිටත් වෙන්න දාගත්තෙ සිකුරාදාවක. රාජකාරි වැඩ එහෙමත් අහවර කරලා ඔන්න සැඳෑ අඳුරත් එක්ක පිටකොටුවෙන් ත්‍රිකුණාමල බස් එකට! ගොඩවෙලා ඉතින් දන්නැද්ද, කල්තියා අරගත්ත ෂෝටීට්ස් ටික බඩට දාගත්ත විතරයි, අනික් පැත්තට.. ඒසී. සීතලේ බරට දොයි.
ඇත්තටම උඩ ගිහින් ඇහැරුනේ කොන්දොස්තර මල්ලි දාපු තට්ටුවට.
“අයියා.. නාවල්ලාඩි හංදියෙ බඉනව නේද? යන්ඩ ඉස්සරාට”
එතකොට වෙලාව පාන්දර 4ට විතර ඇති. නිදිමරගාතෙ බැස්සට.. හද්ද කලුවරේ දෙන්නා ෆුල් අන්දුන් කුන්දුන්. යාන්තම් ඈතින් පෙනුනා ලයිට් එකක්. සනික ඇදුණා දෙන්නා පළඟැටියො දෙන්නෙක් වගේ. ගිහිල්ල බැලින්නම් නයිට් කඩයක් කියන්නකො. ඒක හොඳයි, හැබැයි කඩේ දෙන්නටම සිංහල බෑ.. බොහොම අමාරුවෙන් තමයි හස්ථ සංඥා, ඉංග්‍රීසි, සිංග්‍රීසි, දෙමළ දන්න ඔක්කොම භාෂා දාලා අඩු සීනී වැඩි කහට ටී 2ක් ඉල්ල ගත්තෙ. ඊට පස්සෙ ඒක බීලා යන්න විදියක් බැලින්නම් එක බක්කි කරත්තයක් නෑ කියන්නකො හතර මායිමේ. පස්සේ.. බොහෝම අමාරුවෙන් ආයෙත් අර භාෂා ටිකම දාලා කඩේ අයගෙ කනෙක්ෂන් එකකින් වීල් එකක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන අනේ පාන්දර 5ට විතර ඇති කායන්කර්නි ධීවර ගම්මානෙ අපේ යාළුවගෙ ගෙදරට ගොඩවෙන කොට!
ඒ ගිහිල්ලා වැටුනා වැටුනාමයි නින්දට, මොන…පැය දෙකක් නෑ. මෙන්න අපේ එකා කතාකරපි උදෙන්ම ඩයිවින්ග් යන්න..
ඊට පස්සෙ ඉතින් කියන්න ඔ්න නෑනෙ? ඇඟමැලි කඩ කඩ ඩයිවින්ග් බඩුත් ඔක්කොම ලෑස්ති කරගෙන, කායන්කර්නි වෙරළෙන් යාළුවගෙම බෝට්ටුවක දියඹට..
මුලින්ම ප්ලෑන් කලේ නම් රෙක් එකක බහින්න. ඒත් පස්සෙ හිතුනා නින්දත් නැති නිසා වැඩි ගැඹුරෙ නොගිහින් රීෆ් පැත්තෙ යන්න. හැරත් එතකොට හිතේ හැටියට කොරල් මාලු බල බල නිදහසේ ඉන්න පුලුවන්නෙ.
කිමිදුම් කට්ටලෙත් ඇඟලාගෙන මුහුදට බැස්සට පස්සෙ..
‘ඇත්තටම මුහුද යට තියෙන්නෙ වෙනමම ලෝකයක් නේද?’ මගේ හිතට, හිතම කියාගන්නවා.
පේන තෙක් මානයෙම අතුරු සිදුරු නැතුව කොරල්. පාට පාටින්, එකිනෙක වෙනස් හැඩ තොගයකින්.. ඒ විතරක් නෙවෙයි, කොරල් පරය වාසභූමිය කරගෙන ජීවත් වෙන පාට පාට මාලු.. Butterflyfish, Parrotfish, Damselfish, Lionfish, Morayeel, Wrasses..
හප්පේ.. ටැංකිය ඉවර වුනත් ගොඩට එන්න නම් හිතන්නෙම නැති ගානයි! ඒත් ඉතින් එහෙම බෑනෙ. ඒ නිසයි එයාර් ලෙවල් එකත් බලලා හෙමින් සැරේ බෝට්ටුවට කිට්ටු කලේ. අන්තිමට බෝට්ටුවට ගොඩවුනත් හරි හීනයකින් ඇහැරුනා වගේ.
හ්ම්.. ඒකත් ඉවරයි.
ගොඩබිම පේන මානය එද්දි ලොකු හුස්මක් පහල හෙලුවට මොකද යාළුවගෙ ගෙදර දවල්ට ලෑස්ති වෙලා ඇතියි කියලා හිතන කෑම වේල..!
ඊට විනාඩි 20ක් ගියේ නෑ, ඇඳුමක් දාගෙන ඉස්තෝප්පුවට ගොඩවෙද්දි දුම් ද දා මේසෙ උඩම! මූරුංගා කොළ දාලා කිරට උයපු පොඩි මාලු හොද්දයි, කඳුලු පනින සැරට හැදුනු කට්ට සම්බෝලයයි, සුදු බතුයි. ඒ අතරට යාලුවාගෙ තාත්තත් කයියට සෙට්වෙලා.. කායන්කර්නියෙ මුහුදු වැද්දො, ඉතිහාසය.. එක පෙලට, කරලියට! ඉතින් බඩ විතරක් නෙවෙයි හිතත් එක්කම ඉස්මුරුත්තාවයි.. හැරත් ඒ රසවත් කතාබහ.. ඊට පස්සෙ ප්ලේන්ටි, බුලත් විට, හවස් වෙද්දි ලඟට ආපු අරක්කු ටිකත් එක්කම පැය ගාණක් එක දිගට. ඇත්තටම පෝදා හඳ මෝදු වේගෙන එද්දි තමයි අපි අන්කල්ට සමුදීලා වෙරළට කිට්ටු කලේ.
ඒ යද්දි.. යාළුවා බාබකියු එක ලෑස්ති කරලා, ටෙන්ට් ටික ගහලා..
ෂැහ්! ඊටත් ප්ලේස් එකේ විව් එක. කිලෝමීටර ගාණක් වෙරළ එක පේලියට, රවුමට. මුහුදෙත් ඉමක් නෑ. අහස තරු වලින් පිරිලා, හඳ එළියට වැල්ල තීරයම කිරි පාටට දිස්න දෙනවා..
“අනේ මන්දා මේක නම් මාරම මාරයි”
ගිණිඅඟුරු ගොඩ උඩ දැලට වැටුණු ලොකු මාලු කූරියො දෙන්නා.. ඉස්සො, දැල්ලොත් කලවමේ.. දුමට තැම්බිලා අඟුරු රස්නෙට පිච්චෙනකොට එන සුවඳ?
‘මේවා නේටිව් ග්‍රිල්ඩ් සීෆුඩ් මල්ලි’!
සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත.
ඉතින්.. ඒ බෙහෙතත් එක්ක, අපේ හුදකලා විරාමයත්!
හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්..