මේ..
මගේ ට්‍රැවල් ෆුඩ් ඩයරියේ
නම ගියපු රෙසිපි ටිකක්!
1. දුම්බර.. කිරිආප්ප එක්ක කනමී පැණි
“පුතා.. ඔය කිරි ආප්ප. කොහොමද සුවඳ?”
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ. හැරත් ඔ්ක තනිකරම ගමේ හාල්පිටි ඈ.. ඔ්ක ඔහොම කන්න නෙවෙයි. ඉන්නකො මම භාණ්ඩයක් දෙන්න” කියලා දැම්මා.. බැලින්නම් මී පැණි!
“මාමා මී පැණි?”
නෑ පුතා. මේ කනෙයි පැණි. මහවැස්සට කලින් කැලේ ගියපු දවස් ටිකේම කනෙයි වද 7, 8ක්ම අහුවුනා. ඉතින් නිකම් ඉන්න එකේනෙ කියලා මම ගෙනැල්ලා මිරිකුවා. ආහ්.. ඒක නෙවෙයි. ඔ්කෙන් කටක් කන්ට කලින් හොඳ එකක් පුරවලා දාගන්ට. ආයෙ මුකුත් නෑ. ආප්පෙට උඩින් මෙන්න මේ ලූණු ලියපු ටිකකුත් දාගත්ත නම්..”
ඊට පස්සෙ..
කිව්වට විශ්වාස කරන්න යාලු, කටයි දෙකයි ආප්පෙ ඉවරයි. හැබැයී.. තරු පන්තියෙ හෝටලයකින් බ්‍රැන්ඩි කේක් එකක් කෑවා වගේ. පිටි රසක් නැතිම ගානයි. ඒත් පොල් කිරි රස එක්ක කනමී පැණි ගැලපිලා..
2. කලුන්දෑවේ ‘හේන් අට මාලුව’!
“ගිරීස්මෙට අහුවෙලා බෝග ඔක්කොම විනාසයි. හාල් ඉතිරිය තියාගෙන ඉන්න නිසයි මේ මිනිස්සු කන්නෙ බොන්නෙ. අනේ පුතා මං මේ හදන්න යන්නෙ මේ කාලෙට අපිට තියෙන එකම මාලුව. මේක හදලා අපි බතක් ලිපේ තියාගමු”
එකම මාලුව? මට ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද ඒ වෙද්දිත් ලිපට එපිටින් තිබ්බ ලී කොටේ උඩ එළවළු ජාති 8, 10ක්ම. තලන බටු, මඤ්ඤොක්කා, තිබ්බටු, වට්ටක්කා.. කොහෙන්දෝ දන්නෑ කුරක්කන් මිට දෙකක් විතරත්. ආයේ.. මුරුංගා, තුඹ කරවිල. ඔය අතරෙ මාමා වැව් ඉවුරට වෙන්න තණගාලෙ හැදිච්ච ලපටි මුකුණුවැන්න ටිකකුත් කඩාගෙන ආවා. ඇවිල්ලා ඉතින් අර උතුරන්න තියපු වතුර මුට්ටියට ඔක්කොම දැම්මා, හොඳට හෝදලා කරලා ලොකු කෑලි කපලා. දාලා ඒකට ලුණුත් දාලා හින්දුවා. අපිත් ලිප අයිනෙන් ඇණ තියාගෙන ඔන්න සද්ද නෑ වැඩේ බලාගෙන. ඊට පස්සේ.. එළවළු ටික ලොකු කැන්ද කොලයක් උඩට බාලා මුට්ටිය ආයෙත් ලිපට තියලා.. ඒකට දැම්මා පොල්තෙල්. දාලා රත්වීගෙන එනකොටම කරපිංචා, සුදුලූණු ටිකක් එක්ක ඉදිච්ච අමු මිරිසුයි, කොච්චි ගෙඩි 4, 5කුයි. ඒ ටිකත් බැදීගෙන එනකොට අමුතුනපහ අල්ලක් විතර දාලා, සැරට ඔ්නද කියලා අහලා මිරිස් කුඩුත් අල්ලෙන් බාගයක් විතර දැම්මා. දාලා.. අර එළවළු ටිකත් දාලා, අපි අරගෙන ගියපු පිටිකල පොල්කිරි පැකට් දෙකත් දියකරලා, හොඳහැටි කලවම් කර කර.. හිඳෙන ගානටම හැදුවා කියන්නකො අමුතුම කෑමක්. ඔක්කොමත් හරි ඒක බාද්දි සුවඳනෙ. හප්පා.. බත ඉදෙනකම් ඉන්න බෑ. යාළුවයි මායි මාමාගෙන් අහලා සනික.. කැන්දකොලේට ටිකක් බෙදාගෙන කෑවා වට්ටක්කා කෑල්ලකුයි, කොචිච් ගෙඩියක් එක්ක මඤ්ඤොක්කා ටිකකුයි. ෂැහ්.. වැඩක් නෑ දෙයියෝ..
ඇත්තටම ඒ මිනිස්සුන්ට නම් නියං කාලෙට කාලා කාලාම ඒක එපාවෙලා ඇති මේක. හැබැයි අපිට නම්.. දිව්‍ය භෝජනයක් ඈ..!
3. බින්තැන්නේ හේන් පොජ්ජේ.. කී රොටියයි, මස් ආනමයි!
“මාත්තයා දැං දර පොඩ්ඩනෙ තියෙන්නෙ. ඉතුරුවා ඔක්කොම තෙමිලනෙ. මං උරේට ගෙනාපු පොල්කටු ටික විතරයි ආයෙ. ඔය චුට්ටෙන් රොටියක් මාලුවක් උයනව නම් ඉතින් වළේ තමා.” සිද්ධිය හරියට තේරුනේ නැති වුනාට අපි 3දෙනාම කළුබණ්ඩාට සපෝට් එකක් දීගෙන වැඩේ එල්ලිලාම හිටියා. වළේ කට අල්ලක් විතර සයිස්.. පොඩියට උමඟ වගේ අඩියක් විතර දිගට. ඊට පස්සෙ අඩියෙ අඩියෙ ලොකු කොටුවක්. කොටුවෙ තියෙනවා මහපට ඇඟිල්ලක විතර දාරයක්. ඒ දාරෙ උඩින් කළු බණ්ඩා රොටි තැටිය තිබ්බට පස්සෙ තමයි අපිට වැඩේ තේරුනේ. ඇත්තටම ඒක, ඩබල් ලිපක්. යටින්ම ගින්දර. මැද්දෙ රොටි. උඩට එළවළු මාලු හදන දෙයක්. එහෙම තියලා අපිට ගිණි අවුලුවන්න දීලා කලු බණ්ඩා ගත්තා පිටි මෝලියක් අතට.
“අනලම අරගෙන ආවැයි”
“ඔව් මාත්තයා. දවල්ට කන්න කියලනෙ ගෙනාවෙ. ඒත් කොහෙද” කයියෙන් කයිය.. තැටියෙන් එකයි රොටි 3ක්ම, බිම එලපු කැන්ද කොළයකින් තියපු කළු බණ්ඩා එකක් දැම්මා තැටියට. දාලා ඒක උඩින් ලුණු වතුර ටිකකුත් අතගාලා වළේ කටෙන් තිබ්බා ලොකු මැටි ඇතිලිය. තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා, තෙල්ටික රත්වීගෙන එනකොටම කෑලිමිරිස්, ලොකුලූණු, කොච්චි, කරපිංචා, සියඹලා දැම්මා අතින්ම පොඩි කරලා. ඒ දාලා සට පට ගාලා පුපුරනකොට.. පන් මල්ලෙන් මොනවදෝ අහුරු 2, 3ක් ඇතිලියට! බැලින්නම්.. වේලපු මස්.. ආයෙ ඉතින් කියන්න ඔ්න නෑනෙ. යටිනුයි උඩිනුයි දෙකෙන්ම රස්නෙ දාලා පිපෙන්න උයපු රොටි එක්ක කොච්චි සැරට තෙලෙන් කර කරපු මස්..!