කොළඹ කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක් කියලයි කතාවට කියන්නෙ. ඒත් ගිනි ගහන කොළඹ මැද්දෙ ගත හිත නිවෙන නිස්කලංක තැන් හොයාගන්නත් බැරිකමක් නෑ. දැන් දැන් අලුතෙන් එහෙම තැන් නිර්මාණය වෙන ප්‍රමාණයත් වැඩියි. ගෝල්ෆේස් අර්බන් ෆොරෙස්ට් පාක් කියන්නෙ ඒ වගේ කොළඹ හැදුණ අලුත් ම තැන.
ඒ කොහොම වුණත් ඔය අලුතෙන් හැදෙන පාක් ඔක්කොටම කලින් අපි කොළඹ ඇවිදලා මහන්සි නිවාගන්න නොදැනීම පුරුද්දට වගේ ඇදෙන තැන තමයි ගෝල්ෆේස් එක. නැත්තං ගාලු මුවදොර පිටිය.
මූදු හුළං වැදි වැදි හැන්දෑවක් ගෙවන්න, මූදු රැල්ලෙන් කකුල් දෙක තෙත් කරගන්න, කොළඹට පායපු ඉර ගිනි බෝලයක් වෙලා බැහැගෙන යන දිහා බලන් ඉන්න, ඉස්සො වඩයක රහ බලන්න, ඔය කොයි දේටත් අපි දන්නෙම නැතුව යැවෙන්නෙ මූදට මූණ දාපු ගෝල්ෆේස් එකට. ගෝල්ෆේස් එකේදි හම්බෙන කෑමබීම හරි විශේෂයි නේ. ඒ නිසාම ගෝල්ෆේස් එක ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකේ එක පැතිකඩක්.
කොටින්ම කොළඹ ඇතුළෙ විනෝද වෙන්න වගේම සැහැල්ලු වෙන්නත් යන්න පුළුවන් හොඳම තැනක් තමා ගෝල්ෆේස් එක කියන්නෙ.
කොරෝනාව ලංකාව වහගෙන මේ මාසෙට අවුරුද්දක්. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි ලංකාව කොරෝනා ව්‍යාප්තිය නිසා පළමු වෙනි පාරට ලොක්ඩවුන් කළේ. ඒකෙන් පස්සෙ බාල මහලු හැමෝගෙම ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ ලොක්ඩවුන් එක මාස තුනක් විතර එක දිගටම තිබුණ නේ. ආයෙ ජුනි මාසෙ ඉඳන් තමයි රට ටික ටික විවෘත වුණේ. ඒ වැඩෙන් නිතර මිනිස්සු ගැවසෙන පොදු ස්ථාන වැහිලම ගියා. මිනිස්සු කොළඹට එන එක අඩු වුණා. පාරවල් පාළු වුණා.
ඡායාරූපය: dailymirror.lk
මෙන්න මේ කාලේ ගෝල්ෆේස් එක අලුත්වැඩියා කරන්න බලධාරීන් පියවර අරං තිබුණා. ඉතින් කාලයක් කාෂ්ටක වෙලා තිබුණ ගෝල්ෆේස් එක ආයෙත් කොළ පාටින් බබළන්න පටන්ගත්තා.
ආයෙත් රට සෑහෙන දුරකට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියන මේ කාලේ ගෝල්ෆේස් එකේ තත්ත්වය කොහොමද කියල බලන්න අපිට හිතුණා. ආයෙත් කාෂ්ටක පාට වැටිලා ගෝල්ෆේස් එකේ තණකොළ පිච්චිලා ගිහින් ද? කොරෝනාවට කලින් වගේම දැන් ආයෙත් ගෝල්ෆේස් එකේ සෙනඟ පිරිල ද? තාම එහෙ රහ ඉස්සො වඩේ හැදෙනවද?
මේවට උත්තර හොයාගන්න අපි පහුගිය ඉරිදා දවසක ගෝල්ෆේස් පැත්තට ඇදුණා.
ඉතින් මුකුත් වෙනස් වෙලා ද?
කිසිම වෙනසක් නෑනෙ!
දේදුනු පාට සබන් බෝල යවන උපකරණ විකුණන වෙළෙන්දො ද, මූදට උඩින් පියාඹන සරුංගල් ද, කළුවරේ දිලිසෙන ලුමිනස් පාට සෙල්ලං බඩු ද, ඉස්සො වඩේ කරත්ත ද, නානා කඩේ ද, බොම්බයි මොටයි ද, සාරවිට ද… කොරෝනාවට කලින් තිබුණ සියලු දේ ඒ විදිහටම තාමත් ගෝල්ෆේස් එකේ එහෙමම තියනවා! වසංගතය අස්සෙ වුණත්, ගෝල්ෆේස් පැත්තට ඇදෙන සෙනඟ අඩුවකුත් නෑ.
මහ සෙනඟක් තමතමන්ගෙ පවුල්වල අයත් එක්ක පික්නික් ඇවිත් ඉන්නවා අපි දැක්කා. ඉස්සො වඩේ කරත්ත වටේටයි, නානා කඩේ වටේටයිත් කට්ටිය පිරිලා. තව පිරිසක් ෆුට්බෝල් ගහනවා. අනෙක් අය බීච් එක අයිනේ හුළං වැදි වැදි කයියක් ගහගෙන සැන්දෑ සුව විඳිනවා. ඉස්සර වගේමයි…
එකම වෙනස මිනිස්සු මාස්ක් දාගෙන ඉන්න එක. හැබැයි හැමෝමත් නෙමේ. කෑම හදන සමහර වෙළෙන්දො මාස්ක් දාගෙන හිටියෙ නෑ. උයන ලිප ගාව රස්නෙ නිසා වෙන්න ඕන. ඇවිත් හිටිය සමහර මිනිස්සුත් මාස්ක් දාල හිටියෙ නෑ.
ගෝල්ෆේස් ගැන කියද්දි ඉස්සො වඩේ ගැන වෙනමම නොකිය බෑනෙ. සුප්‍රසිද්ධ ගෝල්ෆේස් ඉස්සො වඩේවල ඉස්සර තිබුණ රහ නං දැන් නැති තරං. පරිප්පු රස වෙනුවට වඩේ එකෙන් ආවෙ නිකම්ම පිටි ගතිය. හැබැයි ඉස්සර වගේම ලොකු ඉස්සො පාවිච්චි කරල තිබුණ. ඒ වගේම දැන් ඉස්සර නොතිබුණ අලුත් අලුත් වඩේ සහ හපන ජාති මේ වෙළෙන්දො ගාව තියනව.
බිම වාඩි වෙලා ඉස්සො වඩේ කනව වෙනුවට ගෝල්ෆේස් ඇවිත් පිළිවෙළකට වාඩි වෙලා කෑම වේලක් කන්න ඕන නං බ්‍රීස් බැරකුඩා පැත්තෙ යන්න පුළුවන්. හැමෝම දන්න බැරකුඩා රෙස්ටොරන්ට් එකේම ශාඛාවක් වෙන මේක සුවපහසු තැනක්. එයාලගෙ හොට් බටර් කට්ල්ෆිෂ් එකත් මරු!
අපි හිතපු විදිහටම ගෝල්ෆේස් එකේ තණකොළ නං ආයෙත් අඳුරු පාට වෙලා වේලිලා ගිහින්. ඒ වගේම කසළ බඳුන් තැන් තැන්වල තියල තිබුණත්, සුපුරුදු පරිදි අපේ ඈයෝ බිම තැන් තැන්වල කුණු දාල තිබුණා.
අවසාන වශයෙන්
ඉතින් ගෝල්ෆේස් එක තාමත් පරණ පුරුදු ගෝල්ෆේස් එකම තමයි. එක එක විදිහේ මිනිස්සු, තෙල් බේරෙන කඩ කෑම, නිල් පාට මූදු වෙරළ, හිරිගඩු පිපෙන මූදු හුළං, බැහැගෙන යන ඉර… සහ තැන් තැන්වල කුණු! වසංගතය අතරෙ වුණත් ගාලු මුවදොර පිටිය පරණ විදිහටම පණ ගැහෙනවා. ඒක සතුටට කරුණක්. කොහොම වුණත් මේ පැත්තට යනවා නං, (විශේෂයෙන් සතිඅන්තවල) විනෝද වෙන ගමන් කොරෝනා වළක්වාගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්න හොඳින් සිහියේ තියාගන්න කියලත් අපි මතක් කරන්න කැමතියි.