මේ දවස්වල අතේ ඒ හැටි සල්ලිත් නෑනෙ. හැරත් තිබ්බා කියලා හිතේ හැටියට බොන්නයැ? බලාගෙන ඉඳිද්දි වැඩිවෙන ජීවන වියදමත් එක්ක, එහෙම බොන්න ගියොත් පුතේ කපෝතියි..
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ..
පොඩි ගාණකට, රස බයිටක් එක්ක හීනියට සූර් වෙන්න.. කියාපු රෙස්ටුරන්ට් ටිකක් ඔයාලාට කියන්න.
1. DUROI
බොරැල්ල, මරදාන පාරෙ උමං මාර්ගය පහුවෙනවත් එක්කම..
පුංචි පහට, චුට්ටක් ඇතුලට වෙන්න තියෙන අති පරණ බාර් එකක්. ඇත්තටම ඒක හදල තියෙන්නෙ ඩේලි පොඩි ෂොටක් දාන අයට. මොකද මෙයාලගෙ බයිට් ඔක්කොම යන්නෙ උපරිම රු. 700න් වගේ. පෝර්ක් රයිස් එහෙම තියෙනවා රු. 400යි. කඩල කොත්තු රු. 200යි..
ආයේ.. ඒකක් එක්ක ඉතින් බීර බෝතලයක් ගත්ත නම්..!
2. Olympic Restaurant & Bar
හයිලෙවල් එක අයිනෙම, දෙල්කඳට කිට්ටු වෙන්න. පුංචි පහේ, තට්ටු තුනේ තැනක්. යට තට්ටුවෙ බාර් එක. දෙවනි තට්ටුව රෙස්ටුරන්ට් එක. උඩම පූල් සෙල්ලම් කරන්න ප්ලේස් එක. සාමාන්‍ය ගණන් වලට යන අරක්කු, බියර් අතරට මෙයාලගෙ පුංචි මෙනුවෙ එන කොත්තු, ඩෙවිල්, ෆ්‍රයිඩ් වගේ ටිකක් ගලප ගන්න එක තමයි හොඳම වැඩේ. මොකද ඒවා කටට සැරට බයිට් එකට වගේම, බඩ කට පිරෙන්න කන්න ලොකු පිඟානක් පිරෙන්නත් එනවනෙ. අනික ගණනුත් රු. 500-800න් වගේ යන්නෙ.
3. Ceylon Anglers Club
ලේක්හවුස් එක පේන මානයෙ. හරි පොඩි තැනක්. හැබැයි ලොකුවට අඩියක් ගහන්න කියාපුම. මොකද මෙතන බයිට් තියෙනව රු. 400 ඉඳන්. ඔය බැදපු මාළු, ඩෙවිල් වර්ග එහෙම. ඒ හැරුනාම පංකාදු කඩල කොත්තුවක් එහෙමත් තියෙනව, කොච්චි මදි නොකියන්න දාලා හදපු. ඒකත් රු. 600ක් වගේ වෙන්නෙ. ඉතින් එයින් එකක් ගත්ත නම්, කාලක් එක්ක.. දෙක තුන දාද්දි සූර්!