1. නටෙලා චිප්ස්
නිකම් ඉන්න ගමන් හප හප ඉන්න, නැත්නම් කිරිත් එක්ක උදේට කන්න, හදාගන්න.. නටෙලා චිප්ස්. ගන්න කෝර්න් පිටි කෝප්ප 2ක්. ඒකත් එක්ක කලවම් කරන්න රස පදමට ලුණු, සීනි සහ වැනිලා. කලවම් කරලා.. හොඳට බීට් කරගන්න මිශ්‍රණය තුනියට වැක්කෙරෙන ගාණට. ඊට පස්සෙ බේකින්ග් තැටියක් අරගෙන, ඒකෙ බටර් ටිකක් එහෙම ගාලා.. මිශ්‍රණය වක්කරන්න. වක්කරල පුලුවන් උපරිමයෙන්.. හැන්දක් හරි පාවිච්චි කරල තුනී කරගන්න, මිලිමීටරේටම වගේ. තුනී කරලා.. තව කෝන් පිටි කෝප්පයක් විතර අරගෙන ඒකට වතුර කෝප්ප කාලක්, ලුණු, සීනි පදමට, නටෙලා ඇති පදමට දාලා පාන් කුඩු වගේ සෙට් වෙන්න කලවම් කරගන්න. ඊට පස්සෙ ඒවා අර තුනී ලේයර් එකට උඩින් ඉහින්න. ඉහලා සෙල්සියස් 250 විනාඩි 10, 15ක් බේක් කරගන්නයි තියෙන්නෙ. අන්තිමට තැටිය එළියට අරගෙන ලේයර් එක හෙමින් සැරේ හැන්දකින් තට්ටු කරල පොඩි පොඩියට කඩාගත්ත නම් බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ තියල, ඔ්න වෙලාවට කන්න ගන්න පුලුවන්.
2. ලයිම් ටොෆි
රස්නෙට.. බොන දෙහි ගෙඩිය, නාරං ගෙඩිය නැත්නම් දොඩං, ලෙමන් ඕන එකක්! බිව්වට කමක් නෑ ලෙල්ල විසි කරන්න එපා. ගන්න ඒක. අරගෙන.. මැටි ඇතිලියක දාලා සීනි ටිකකුත් දාලා අව්වෙ ටිකක් වේල ගන්න. වේලගෙන පොඩි පොඩියට කෑලි කපලා තියාගන්නකො. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ කිරි ටොපි ටිකක් හදන්න මික්ෂර් එක ලෑස්ති කරගන්න එක තමයි. ඒ ලෑස්ති කරගනිද්දී.. කිරි ටිකක් අඩුවෙන් වුනත් කමක් නෑ, හොඳහැටි ලයිම් කෑලි එකතු කරගන්න! කරල හදල, කාලා බලන්නකෝ.. ආයෙ, ඒකත්.. තේ වෙලාවටම වාශ්පයි කියයි..!
3. මයිලෝ අයිස්ක්‍රීම්
බිත්තර.. 5ක් ගන්න. අරගෙන ඒවයෙ කහමද සුදුමද වෙන් කරගන්න. වෙන් කරගෙන.. කහමද එකට සීනි ග්‍රෑම් 50ක් දාලා හොඳට බීට් කරගන්න. බීට් වෙන අතරට ෆ්‍රෙෂ් මිල්ක් බෝතලයක් විතර ලිපේ තියන්න ඔ්න උණු වෙන්න. කිරි ටික උණු වුනාට පස්සේ.. ඒක බාලා, ඒකට එකතු කරන්න බිත්තර කහමද. එකතු කරලා.. ඒක ආයෙත් හොඳට බීට් කරලා ලිපේ තියන්න, හැබැයි දිගටම හැඳිගාන්න කැටි නොගැහෙන්න හරිද. කොහොමහරි ඒක නටාගෙන එද්දී.. බාලා නිවෙන්න තියලා.. අර සුදුමද එකට සීනි ග්‍රෑම් 50කුයි, ඇති පදමට මයිලෝයි දාලා හොඳට බීට් කරගන්න. අවසානයෙ ඔක්කොම එකට දාලා, ක්‍රීම් වෙනකම්ම බීට් කරල, ෆ්‍රීසර් එකේ තියල ගන්නයි තියෙන්නෙ.
4. පාන් පෑන් කේක්
හදිස්සියෙවත්.. ගත්ත පාන් ගෙඩිය දවස දෙක පරණ වෙද්දි, කුඩු හැලෙන ගාණට වගේ එන්න ගත්තොත් විසි කරන්න ලෑස්ති වෙන්න එපා. අරගෙන.. පුලුවන් විදියට පෙති කපල තුනීයට තලා ගන්න ලෑල්ලෙ තියල. තලාගෙන ඒකෙ ගාන්න බිත්තරයි, කිරියි, සීනියි මිශ්‍ර කරපු මිශ්‍රණයකින් ටිකක්, හොඳ හැටි පෙඟෙන්න වගේ. ඊට පස්සේ.. පෑන් එකක් රත් වෙන්න ලිපේ තියල, බටර් ටිකක් හරි අඩුම තරමෙ එළවළු තෙල් ටිකක් හරි කමක් නෑ වෙලාවෙ හැටියට, ගාලා දාගන්න අර රොටිය වගේ එක පොඩ්ඩ කර වෙන්න. හැබැයි ඒ සනිකවම, ඒකට.. කලින් හදාගත්ත පැණිපොල් ටිකකුත් මැද්දට තියා ගන්න ඕන. තියල ඉතින් කියන්න ඕන නෑනෙ නේ.. පෑන් හැන්දෙන් හතර මුල්ල මැද්දට නවල, අනිත් පැත්තත් ලාවට අල්ලල බාන්නයි තියෙන්නෙ. ඒ හැරුනාම ඉතින් ඕකට කුරුඳු කුඩු ටිකක් එහෙමත් දාන්න පුලුවන් නම් රස ඩබල් ඈ..
5. චොක්ලට් මග් කේක්
ගොඩ දෙනෙක් දන්න කියන කෑමක්. කමක් නෑ, නොදන්න අයට දැනගන්න කියන්නම්කො. වැඩේ හරිම ලේසියි. ගන්න, ලොකු මග් එකක්. අරගෙන දාන්න ඒකට පාන්පිටි කෝප්පයයි, අයිසින් සුගර් මේස හැන්දයි (රස පදමට), කුකින්ග් චොක්ලට් කෑලි 4, 5කුයි. දාලා හොඳට බීට් කරගන්න. කරගෙන.. ආයෙ දාන්න බිත්තරයකුයි, කිරි කෝප්ප කාලයි, බටර් මේස හැඳි 2යි. තියෙනව නම් ඔය චොක්ලට් චිප් අනං මනං එහෙමත් දැම්මට අවුලක් නෑ. කොහොමහරි ඒ ටිකත් දාලා හොඳට කලවම් කරලා.. අවන් ඒකේ තියෙන්න සෙල්සියස් 200-250 අතරෙ විනාඩි 5-10ක්. ඔය හදිස්සියි වගේම නම් ඉතින් බාලා අනික් පැත්තට වුනත් කන්න පුලුවන් අර ලාවා කේක් වගේ.
6. බතල පුඩිං
ඔය අතරට ඉතින් ඩෙසට් එකකුත් කියන්න එපැයි. නැත්නම් වෙජි යාළුවන්ගෙ වේල සම්පූර්ණ වෙන්නෙ නෑනෙ. ම්.. මේ බතල පුඩිම හදන්න, ඉස්සෙල්ලම ගන්න බතල ටිකක් හෝදල හීනියට ලියල. ඊට පස්සෙ ඒකට සීනියි, බටරුයි මික්ස් කරන්න (බතල 1kg, බටර් 100g, සීනි 250g). මික්ස් කරලා.. පාන් පිටි 100g අරගෙන ඒකට දාන්න ඉඟුරුයි, ලුණුයි පදමට. දාලා ඒකත් දාන්න බතල එකටම. දාලා මිටිකිරි කෝප්පයකුත් දාලා හීනියට ලියපු කජු, මුද්දරස්පලම්, රටඉඳි ඕන එකක් ඇති පදටම දාගන්න. අන්තිමට ඔක්කොම හොඳ..ට කලවම් කරලා.. අවන් එකේ බේක් කරගන්න සාමාන්‍යයෙන් සෙල්සියස් 150ට විතර පැය භාගයක්. මදි නම් ඉතින් ආයෙ දාලා ගන්න බැරියැ, නේ..