කොරෝනා වසංගතේ පළවෙනි දෙවෙනි රැලි පහු කරලා තුන් වෙනි රැල්ලට මුහුණ දෙමින් ඉන්න මේ වෙලාව බොහොම තීරණාත්මක කාලයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. රෝගය හදාගැනීම වගේ ම පාලනය කරගැනීමත් තියෙන්නෙ අපේ අතේමයි. ඒ නිසා වගකීමෙන් වැඩ කරන එක පුරවැසියන් විදිහට අපි හැමෝගෙන්ම ඉටු විය යුතු සේවයක්.
රෝගීන් බහුලව හම්බ වෙන ඇතැම් ප්‍රදේශ හුදෙකලා කළාට තුන් වෙනි රැල්ලෙදි සමස්තයක් විදිහට රට තාමත් ලොක්ඩවුන් කරලා නෑ. ඒ නිසා ම පාසල්, උත්සව අවස්ථා එහෙම නොපැවැත්වුණාට තාමත් කාර්යාලවල කටයුතු ක්‍රියාත්මකයි. ඉතින් පාර තොටේ සෙනඟ ගැවසීමෙත් අඩුවක් නෑ. වෙනදා වගේ ම මිනිස්සු ගමන් බිමන් යන විදිහ පේන්න තියනවා. ටිකක් හරි පාරේ සෙනඟ අඩු වෙන්නෙ රෑ බෝ වෙද්දි තමයි.
ඡායාරූපය : www.huffpost.com
මෙහෙම පාරට බැස්සම තමතමන්ගෙ වාහනවල ගමන් බිමන් යන උදවියට වඩා ඉහළ අවදානමක් තියෙන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කරන අයට. ඒ කියන්නෙ බස් එකේ, කෝච්චියේ, නැත්තං ටැක්සිවල එහෙම ගමන් යන අයට. ඒ නිසා මේ අයට මේ දවස්වල වැදගත් වෙන සෞඛ්‍ය කරුණු කීපයක් සිහි කැඳවන්න ඕන කියල අපි හිතුවා.
1 මඟීන් ගණන
ඡායාරූපය : www.dailynews.lk
කොවිඩ් 19 තුන් වෙනි රැල්ල පාලනය වෙනුවෙන් අලුතෙන් පනවපු නීතිරීති මාලාවට අනුකූලව බස් එකේ සහ කෝච්චියේ මඟීන්ට ගමන් කළ හැක්කේ ආසන ගණනට විතරයි. ඒ කියන්නෙ කාටවත් හිටගෙන තෙරපි තෙරපි යන්න බෑ. ඒ වගේ ම ටැක්සි විදිහට පාවිච්චි වෙන ත්‍රීවීලර් සහ කාර්වල වරකට ගමන් කරන්න පුළුවන් මඟීන් දෙන්නෙකුට විතරයි. ඊට වඩා ලොකු ටැක්සිවල (උදා: වෑන්) ආසන ගණනට මඟීන් ගෙනියන්න පුළුවන්.
ඔබ පොදු ප්‍රවාහන රථයක රියැදුරුවරයෙක් හෝ හිමිකරුවෙක් නම්, මේ නීතිය කඩ නොකර ඔබේ වාහනය සේවයේ යොදවන්න වග බලාගන්න. ඔබ මඟියෙක් නම්, ඔබ යන එන බස්, දුම්රිය සහ කුලී රථවල මේ නීතිය ක්‍රියාත්මක වෙනවද කියල සැලකිලිමත් වෙන්න. එහෙම නොවෙන වාහනවල ගමනාගමනයේ යෙදෙන එක නීතියට පටහැනියි වගේ ම, හැමෝගෙම සෞඛ්‍යයට අන්තරාදායකයි.
2 මාස්ක්
ඡායාරූපය : www.zoomnews.in
බස් එකේ, කෝච්චියේ නඟින්න කලින් මාස්ක් එක පළඳින්න අමතක කරන්න එපා. ඒ වගේ ම රථයේ ඔබ ළඟ ඉන්න උදවිය මාස්ක් දාගෙන ඉන්නව ද කියල සැලකිල්ලෙන් ඉන්න. විශේෂයෙන් ටැක්සියකට ගොඩ වුණාම රියැදුරුවරයා මාස්ක් එකක් දාල ද කියල බලන්න. අමතක වීමකින් හෝ නොසැලකිල්ල නිසා මඟ ඇරිලා නම්, ඒ අයට ඒක කාරුණිකව මතක් කරන්න ඔබට පුළුවන්.
3 අතපත ගෑම
ඡායාරූපය : www.happymindtravels.com
බස් එකේ යද්දි ගහන බ්රේක් පාරවල්වලට නොවැටි බේරිලා ඉන්න නං අහළ පහළ තියන පොල්ලකින් අල්ලගෙන ම යන්න ඕනෙ කියල සාමාන්‍යයෙන් බස්වල යන ඕන කෙනෙක් දන්නව නෙ. හැබැයි දැන් ඉතින් හිටගෙන යන්න දෙන්නෙත් නැති එකේ බස් එකේ, කෝච්චියේ පොලුවලින් අල්ලන්නෙ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඇයි කිව්වොත්, හුඟ දෙනෙක් අතපත ගාපු තැන් හින්දා සහ ඒවා පිරිසිදු කිරීම පිළිබඳ අපිට සහතික වෙන්න බැරි හින්දා. එහෙම නැත්නම් ඔබට පුළුවන් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරද්දි ග්ලව්ස් දාගෙන යන්න. ටුක් එකට ගොඩ වෙනකොට, කැබ් එකේ දොර අරිනකොට එහෙමත් ග්ලව්ස් දාගෙන යන එක ප්‍රයෝජනයි. හැබැයි ඒ ග්ලව්ස් දාපු අතින් මූණ එහෙම අල්ලනවා නෙමෙයි ඕං.
4 මුදල්
මේ කාලේ හැකි තාක් අඩු කරගන්න අවශ්‍ය දෙයක් තමයි කාසි නෝට්ටු පාවිච්චිය. කාසි නෝට්ටු කියන්නෙ එක එක්කෙනාගේ අතින් අතට මාරු වෙවී රට වටේට යන ජාතියක් නෙ. ඉතින් විෂබීජ ගොඩක්. ටැක්සිවල යනවා නං කෑෂ්වලින් ගෙවන එක වෙනුවට ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් පාවිච්චි කරලා ගෙවීම් කරන එක තමයි හොඳ ම ක්‍රමය. හැබැයි බස් එකට කෝච්චියට කාඩ්වලින් ගෙවන්න බෑනෙ. ඒගොල්ලො කොච්චරවත් ඉල්ලන්නෙත් මාරු සල්ලි නෙ. ඒ හින්දා ටිකට් ගන්න සල්ලි දෙද්දි, ආයෙ ඉතුරු සල්ලි ඔබේ අතට නොඑන විදිහට, ඔබ ගෙවන්න නියමිත මුදල ම දීල ටිකට් එක ගන්න. නැත්නම් අර කලින් කිව්වා වගේ ග්ලව්ස් දාගෙන සල්ලි අල්ලන්න.
5 සැනිටයිසර්
ඔබ පොදු ප්‍රවාහනය පාව්ච්චි කරන හැම වෙලාවක ම, බෑග් එකේ, පර්ස් එකේ, සාක්කුවේ, කොහේ හෝ තැනක සැනිටයිසර් එකක් අරගෙන යන පුරුද්ද නම් නැති කරගන්න එපා. කොච්චර අත් සෝදන්න කිව්වත් පාරට බැස්සම පිළිවෙළින් අතපය සෝදගන්න වෙලාවක්වත් පුළුවන්කමක්වත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා පොදු රථයක හැමෝම ස්පර්ශ කරන තැනක් අල්ලන්න සිද්ධ වුණ ගමන් සැනිටයිසර් දාල අත් දෙක පිරිසුදු කරගන්න. ඒ වගේ ම ඔබ පාවිච්චි කරන සැනිටයිසර් එක, ඇල්කොහොල් බේස් වුණ, හොඳ පිළිගත් සන්නාමයක් යටතේ නිෂ්පාදිත එකක් බවටත් වග බලාගන්න. සැනිටයිසර් පාවිච්චියේ දී දැනගන්න අවශ්‍ය කරුණු ගැන මේ ලිපියෙන් වැඩිදුර කියවන්න පුළුවන්.